ඔබේ නම ඔබට සුබද?

ජුනි 16, 2023

“ජය භූමිය” නන් අයුරින් සංකේතවත් වන අතර, සිංහල උමා ඡ්‍යොතිෂය තුළ එය අක්ෂර කලාවේ සූක්ෂමය සමඟ බැඳේ. එහෙත් අප කතා කරනුයේ පොදු දළ සිද්ධාන්තයන්ය. ක, ග අකුරු ගිනිකොන දිග බලවත් යැයි අපි පැවසීමු. එසේම තවදුරටත් ක, ග අකුරු බලවත් වන කාලසීමාවන්ද අපි ඉදිරිපත් කළෙමු.

මෙසේ සියලු අක්ෂරවල බලය පවත්නා දිශාවට සහ කාලය දළ වශයෙන් සොයා ගන්නා ආකාරය පැවසීමු. ඒ සඳහා විවිධ ක්‍රම සහ සංකල්ප වේ. ඔබගේ නාමය කමල් නම් ඔබට හිමි දිශාව ගිනිකොනය. එහෙත් කමල් යන නාමය ගතහොත් එහි නෛසර්ගික සුබ දිශාව උතුර වේ. ඒ කමල් යන නමට ඇත් යෝනිය හිමි වීම නිසාවෙනි. ඔබට කුතුහලයක් ඇතිවිය හැකිය. එකක් කමල් යන නාමය ඇත් යෝනිය යැයි කීවේ කෙසේද යන්නයි. අනෙක ක ගිනිකොන බව පෙර ලිපිවල පැවසූ හෙයින් මෙහි විසංවාදයක් වේය යන්නයි.

එහෙත් ශාස්ත්‍රීය වශයෙන් ගැඹුරින් විමසන විට එහි ගැටලුවක් නොවන අතර මුල අකුරේ බලයට වඩා භාවිත නමෙහි අක්ෂර බලය ප්‍රබල වනු ඇත. මෙහිද ප්‍රභේද රැසක් වන බව මෙම විෂය හදාරන විට ඔබට පෙනී යනු ඇත. කෙසේ නමුත් සමස්ත පාඨක ජනතාවටම පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි එම ක්‍රමය මෙසේ දිග හරිමු.

ඕනෑම නමක අක්ෂර තිබේ. මේ අක්ෂර ස්වර සහ ව්‍යංජන එක්ව සැකැසී ඇත. කමල් යන නමෙහි ක හැදෙනුයේ ක් + අ = ක වශයෙනි. මෙසේ ම් + අ = ම වේ. ල් අකුර තනිව පෙනී සිටී. රාධවාන් වැනි නමක් ගතහොත් ර් + ආ = රා වේ. මෙහි මාත්‍රා වශයෙන් ගනිතොත් ර් + අ + අ = රා වන්නේ නමුත් ගුරුළුවේදී මාත්‍රා ගැන එසේ අවධානය යොමු නොකෙරේ. ධ් + අ ධ වේ. ව් + ආ = වා වේ. න් අකුර තනිව සිටී. ඒ අනුව ක් + අ + ම්+ අ + ල් කමල් වශයෙන් ද ර් + අ + ධ් + අ+ ව් + අ+ න් රාධවාන් වශයෙන් ද ස්වර සහ ව්‍යාංජන වෙන් කරමින් ලිවිය හැකිය. පුද්ගලයෙකුගේ නමක් තුළ ඇති ස්වර ඔහුගේ ආත්මය ලෙසත් ව්‍යාංජන ශරීරය ලෙසත් ස්වර ශාස්ත්‍රයෙහි උගන්වනු ලැබේ.

අප මෙහි කතා කරන ක්‍රමයේ දී ස්වර සහ ව්‍යාංජන සඳහා අගයන් පවරා දෙනු ලැබේ. එම අගයන් කා හටත් පහසුවෙන් තෝරා බේරා ගැනීමේ පහසුව සඳහා මෙසේ සටහන් කරන්නෙමු.

අ, එ, ක, ද, ධ අකුරුවල අගය 6 කි. ඉ, න, ප, ය, ව අකුරු සඳහා අගය 4 කි. උ, ර, ක, ච, ඡ අක්ෂර අගය 7. ඔ, ග, ඩ, ම, ස සඳහා අගය 3 ට, ල, භ, ඥ සඳහා අගය 2 කි. ගංගානි වැනි තැනක බිංදුව සඳහා 2 කි. මෙම ක්‍රමය හැදෑරීමට හෝ භාවිත කිරීමට වැර දරන්නේ නම් මෙම අකුරු සහ සංඛ්‍යා පිළිබඳ අදහසක් මැනැවින් තිබිය යුතුය. එය අවබෝධ කරගත් ඔබ ඊළඟට කළ යුත්තේ ලිපියෙහි පෙර කී පරිදි ඔබේ නමෙහි ස්වර සහ ව්‍යාංජන වෙන්කොට ඒ ඒ අකුරු සඳහා අගයන් තවරා ඒවා එකිනෙකට එකතු කර අටෙන් බෙදා ඉතිරිය සොයා බැලීමයි.

කමල් යන නමෙහි ක් + අ + ම් + අ + ල් 6+6+3+6+2 =23 වේ. 23/8 ඵලය 2 ඉතිරිය 7කි. රාධවාන් ර්+ ආ+ධ්+ අ+ ව්+ අ + න් 7+6+6+6+4+6+4 39 යි 39/8 ඵලය 4 ඉතිරි 7 කි. මෙසේ ඔබේ යාළුවාගේ, බිරිඳගේ, මවගේ නම් ගැන බලන්න. ඉතිරි වන සංඛ්‍යාව ඔබේ ජය භූමිය නිවේදනය කරනු ඇත. ඉතිරි වනුයේ,

1 ක් නම් භූමිය ගුරුළු යෝනියි - නැඟෙනහිර

2 ක් නම් භූමිය බළල් යෝනියි - ගිනිකොනය

3 ක් නම් භූමිය සිංහ යෝනියි - දකුණු දිගය

4 ක් නම් භූමිය දිවි යෝනිය වේ- නිරිතටය

5 ක් නම් භූමිය නයාටය යෝනියි - බටහිරයි

6 ක් නම් භූමිය මී යොනියයි - වයඹයි

7 ක් නම් භූමිය ඇත් යොනයි - උතුරු දිශාවයි

0 ක් නම් භූමිය මුවාට හිමිය - ඊසානය බලයි

දැන් මේ ඔබට කියන ලද්දේ ඔබේ භාවිත නම අනුව ඔබේ ජය භූමිය සොයා ගන්නා ආකාරයයි. එය පෙර කියන ලද ජය දිශාවට වඩා ප්‍රබලය. සාර්ථකය. මෙසේ ජය භූමි සංකල්පය අතිශය ගැඹුරු වූවකි. එකක් අභිබවා එකක් ඉදිරියට එන අපූර්ව ගණිත ක්‍රමයකි. වඩාත්ම වැදගත් වනුයේ එහි උදා කාලයයි. ඔබගේ අරමුණු ඉටුකර ගැනීමේ දී ජය දිශාව විමසන්නාක් මෙන්ම ඔබේ නම හිමි යෝනිය අධිපති ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ සිටින තත්ත්වයද විමසිය හැකි බව, විමසිය යුතු බව සිංහල උමා ඡ්‍යොතිෂ න්‍යායට අනුව පෙනී යයි.

ඔබගේ නම ගුරුළු යෝනියට හිමි නම්, එය හිමි වනුයේ ඉරුටය ඉටු ග්‍රහයා හඳහනේ දුර්වල වී නම් කේන්ද්‍රයෙහි සුබ යෝග කෙතරම් තිබුණත් ඒවා ඵල දීමෙහිදී ඉදිරියට නොඑනුයේ නාමය යෝනිය හිමි ග්‍රහයා දුර්වල වීම නිසාවෙනි. නාම යෝනිය හිමි ග්‍රහයාගේ භූමිකාව ඔබගේ හඳහන, කේන්ද්‍රය සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ විවෘත කිරීමට තරම් ශක්තිමත් වන බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. එසේම නොපිළිගන්නා කරුණකි. නොපිළිගැනීමට හේතුව නොදන්නාකමය.

ඔබේ නම සහ කේන්දරය අතර ඇති සම්බන්ධතාවය අති මහත් බව අවබෝධ වීමට නම් එය උගත යුතුය. හෝ එහි විපාක අත්විඳිය යුතුය. ඔබේ හඳහනට අනුව ඔබේ නාම යෝනිය හිමි ග්‍රහයා බලවත්ව සිටියේ නම්, ඔහු සෙසු ග්‍රහ දෝෂ යටපත් කරමින් ඔබට යහපත් ඵල උදාකරන්නට වැර දරනු ඇත. සිංහල උමා ඡ්‍යොතිෂයට අනුව හඳහන විමසන විට විශේෂයෙන් නම පිළිබඳ නමෙහි අක්ෂර පිළිබඳව සැලකිලිමත් වෙයි. ඉදින් ගුරුළු යෝනිය ඔබේ නමට හිමි වී නම් ඒ අධිපතියා සූර්යයා බව පෙර සටහන් කරන ලදි. සෙසු යෝනි හිමි ග්‍රහාධිපතිත්වය මෙසේ ය.

බළල් යෝනිය හිමි ඔබගේ නාමයට අධිපති වනුයේ සිකුරාය. සිංහ යෝනියට අධිපතියා අඟහරුවාදාය. දිවි යෝනිය හිමි වනුයේ රාහුටය. නාග යෝනිය සෙනසුරුට හිමි වන අතර, මීයා සඳු ග්‍රහයාගේ ගලනයට යටත් වේ. ඇතා බුධට හිමි වන අතර, මුව යෝනිය බ්‍රහස්පති ග්‍රහ තෙමේගේ අධිපතිත්වයට යටත්ය.

මෙහිදී ද පෙර කියන ලද තොරතුරු අනුව විසංවාදයක් වේ. ඒ බළලා සහ මීයා පිළිබඳවය. ගුරුළා ඉරිදා උදාවන නිසා ගුරුළු යෝනිය රවිට හිමි කර දී තිබේ. අඟහරුවාදාට සිංහයා උදාවීම නිසා සිංහ යෝනිය අඟහරුට හිමි කර දී තිබේ. මෙසේ පෙර සඳුදා බළල් යෝනිය උදාවන්නේ යැයි කීයේ නමුත් ඊට සිකුරා හිමි කර දී තිබෙනු දැකිය හැකිය. සිකුරාදාට ද එසේය. එදින උදාවනුයේ මීයාය. එහෙත් මී යෝනිය සඳුට හිමිකර දී ඇත. ඉදින් ආධුනික කාලයේ සිට අපටද මෙය මහත් ගැටලුවක් වූයේ නමුදු උදාව එකක් බවත්, අධිපති ග්‍රහ සංකල්පය තවත් එකක් බවත් තේරුම් ගැනීමට අපට බොහෝ කාලයක් ගත විණි.

සත්‍ය වශයෙන්ම ඉරිදාට ගුරුළා උදාවන බව පොදු පිළිගැනීමයි. ඒ අනුව ඉරිදා උදේ 06.00 සිට 09.00 දක්වා ගුරුළාගේ උදා කාලය ලෙස දක්වා තිබේ. ඒ නෛසර්ගික උදාව වේ. ආයතන ප්‍රධානියෙකු ආයතනයක නිසි ස්ථානයක සිටිනු ඇත. එහෙත් ඔහු කිසිවිටක එකම මාර්ගයකින් එකකට ප්‍රවිෂ්ට නොවනු ඇත. සමහර විටක විවිධ මාර්ග ඔස්සේ පැමිණියද ඇත්තේ එක් දොරටුවක් පමණක් නම් ඔහු එතනින් ප්‍රවිශ්ට වූයේ නමුදු ඔහුගේ දෘෂ්ටිය වෙනස් විය හැකිය. මෙසේ මෙම විෂයෙහි දැක්ම භාවිතය වෙනස්ය. එහෙත් ප්‍රතිඵලය විශ්වසනීය වේ.

මුලින් පෙර කී පරිදි රවි, කිවි, කුජ, රාහු, ශනි, සඳු, බුධ, ගුªරු ගුරුළු සංහාර ක්‍රමයේ දී ගුරුළා ද අට දෙනාට හිමි වේ. පෙර හඳහන තවදුරටත් විමසන්නේ නම් මීයාට වයඹ දිග අයිති වේ. මීයා උදාවන්නේ වයඹ දිගිනි. සතියේ සෑම දිනකම බළලාට හිමි වනුයේ ගිනිකොනයි. ඔහු සඳුදාට ගිනිකොනින් උදාවනු ඇත. මෙම ශාස්ත්‍රය අතිශය ගැඹුරුය. එහෙයින් සාමාන්‍ය ශුභ චේතනා සහිතව කරුණු කාරණා සිදු කිරීම සඳහා මෙය භාවිත කිරීමේ දී වරදක් වූයේ නමුත් අතපසු වීමක් වූයේ නමුත් අවැඩක් සිදු නොවේ. එහෙත් නිශ්චිත ඉලක්කයක්, නිශ්චිත පරිදි ඉටුකරගැනීම සඳහා නම් එය මැනැවින් නිසි භූමිය රැගෙන සිදු කළ යුතුය.

දැන් පෙර කියනලද පරිද්දෙන්ම ඔබේ නාම යෝනිය සිංහයා වී නම් අඟහරුවා ඔබේ හඳහනෙහි සිටි තත්ත්වය විමසිය යුතු ය. අඟහරුවා ඔබේ හඳහනේ නීච, අස්න, ශත්‍රැ ආදී දුර්වලතාවයන්ගෙන් යුක්තව ඔබේ නාම යෝනිය ද සිංහ වී නම් ඔබට බොහෝ ජීවන ගැටලු මුණගැසෙනු ඇත. ඉදින් ඔබ අඟහරු සඳහා ශාන්තිකර්ම, පුණ්‍ය කර්ම සිදු කළ යුතුව ඇත. එසේ වී ඔබේ නිවසේ දොරටුව දකුණට යොදා ඇත්නම් එම නිවසට වාසනාව කොහෙන් නම් ගලා ඒවි දැයි සිතිය යුතු ය.

ඉදින් ඔබ ඔබගේ ජය භූමිය විමසන විට ව්‍යතිරේක රාශියක් පවතින බව පෙනෙනුයේ ගැඹුරට යන විටය. ඔබට කජු බීජයක් නොගෙන කජු අතු කැබැල්ලක් මහ පොළවේ පැළ කළ හැකි ද? කොස් එසේ කළ හැකිද හරියට සිංහල උමා ඡ්‍යොතිෂ නැකතක් ගතහොත් එය සිදුකළ හැකිය. ඒ කජු හෝ කොස් හෝ වේවා එම ද්‍රව්‍යයෙහි නාම යෝනි හිමි ග්‍රහයාට බලවත් කිරීමෙනි. ඉදින් ඔබේ පුද්ගලික ජීවන ගමනෙහි එන අධ්‍යාපනික, වෘත්තීය හෝ වෙනත් ගැටලු සඳහා ජය භූමිය ඔබට උපකාර කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.