සාර්ලිස් මාස්ටර්ගෙ පින්සලට නොදෙවෙනි කට

ජුනි 16, 2023

එක්දාස් අටසිය අසූවේ ජුනි 25 සිකුරාදා දහවල් 2.17 දකුණේ අම්බලන්ගොඩ ආඳාදොළ උපත ලත් සාර්ලිස් කුඩා දරුවාගේ මාපියන්ගේ වෑයම වූයේ වෙදකම ඉගැන්වීමයි. එහෙත් ඔහු පාසල් ගොස් එන විටදී ගමේ පන්සල වෙත ඉබේම ඇදී ගියේ විහාරගෙයි චිත්‍ර අඳින හැටි බැලීමේ ආසාවෙනි. සෑම දිනකම පාසලට ගොස් ආපසු ගෙදර එන්නේ හැන්දෑවෙයි. මොහුගේ පියා මේ ගැන විපරම් කර බලන විට දරුවා හැමදාම පන්සලේ නැවතී සිත්තරුන් අඳින බිතුසිතුවම් බැලීමට හුරුවී සිටි බව දුටුවේය.

කල්යත්ම පාසල් ඉගෙනීම පසෙක තබා චිත්‍ර ඇදුරන් සමඟ එක්වී බිත්තිවල චිත්‍ර ඇඳීමට හුරු විය. වෙදකම් ඉගෙනීම පසෙක තබා චිත්‍ර ශිල්පය ඉගෙන ගනිමින් සිය මුළු කාලයම චිත්‍ර ඇඳීමට පටන් ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පියකු වී විහාරවල බිතුසිතුවම් ඇදීමේ නිරත විය. ලංකාවේ විවිධ පළාත්වල විහාර චිත්‍ර නිර්මාණකරණයේ යෙදිණි. මාලිගාකන්දෙ විද්‍යෝදය මහ විහාරයේ බුදුවීමේ චිත්‍රය බැලූ ලොකු හාමුදුරුවෝ සාර්ලිස් බුදුහාමුදුරුවො බුදුවෙන කොට දෙවුර වසාගෙන හිටියෙ නෑනෙ. මේ චිත්‍රය වැරැදි යැයි කියන විට දුන් පිළිතුර වූයේ ලොකු හාමුදුරුවනේ ඔය උතුරු ඉන්දියාවේ ගයාව පැත්තේ හරිම සීතලයිනෙ. සිදුහත් කුමරු බුදුවෙන කොට උදේ පාන්දර හරිම සීතල හින්දා දෙවුර වහගන්න ඇති. අනික මං ඒ වෙලාවෙ එතන හිටියෙත් නෑනේ යනුවෙනි. හාමුදුරුවනේ බුදුකෙනෙක් ආයෙ බුදුවෙන්න ඕනෑ නෑනෙ නේද?

හාමුදුරුවො නිහඬ වූ සේක. සුප්‍රකට නීතිවේදියකු වූ හර්බට් මහතා ඇසූ ප්‍රශ්නයකි. ඈ මිස්ට සාර්ලිස් ඔබ අඳින චිත්‍රවල කල් යන කොට සායම් යනවා නේද? එයට පිළිතුර වූයේ ඒක හරි මහත්තයගෙත් කල් යන කොට සායම් යාවි යන්නය. සාර්ලිස් මාස්ටර් සීවලී හාමුදුරුවෝ පාත්‍රයට අත දාගෙන හැම වෙලාවෙම දන් වළඳනවා හරිම කෑදරකමක්නෙ යැයි කියූ විට සැතපෙන පිළිමෙ ඇඹුවට හැම වෙලේම බුදුහාමුදුරුවන්ට නිදි මතත් නෑනේ යැයි එකවරම කියා තිබේ.

තවත් අයකුට ඇසූ පැන මෙසේ විය. මිස්ට සාර්ලිස් ඔය පොඩි ළමයි බොරුකීමෙන් වැළකෙමි, හොරකමින් වැළකෙමි. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙමි. සුරාපානයෙන් වැළකෙමි. ඇයි මේ ළමයින්ට නොකරන දේවල් උගන්වන්නේ. ඒ කාලේ ඔබතුමා ඕක බුදුහාමුදුරුවන්ගෙන් අහන්න තිබුණනෙ. මාස්ටර් පැවසුවේය. තවත් පණ්ඩිතයෙක් ඈ සාර්ලිස් එදා සිදුහත් කුමාරයා නොකියනෙ ගියේ බුදුවෙන්ඩ. ඒක හරිද? පිළිතුර කවුද මහත්තයෝ ඔය වගෙ ගමනක් යනකොට තමන්ගෙ බිරිඳට කියන්නෙ. මේ තව කෙනෙකුගේ පැනයට පිළිතුරකි. විවාහය කල් යනකොට රහ අඩුවෙනවනේ. ඉතින් මහත්තයෝ උක් ගහේ අග ඉඳන් කෑව නම් හරිනෙ.

සාර්ලිස් මාස්ටර්ගේ කටින් රස කතා ඉබේටම පිටවෙනවා. අපි අසා ඇත්තෙමු. ඒකටම ගැළපෙන ග්‍රහ පිහිටීමකුත් යෙදී තිබුණි. ඔහු උපහාසාත්මක කතාවලට හරිම රුසියෙකි. එයට හේතුව ඔහුගේ වේලාපත්කඩයේ රවි සිකුරු නවයේ සිටීමය.

 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.