ඔබේ අංකය 3 නම්...

ජුනි 2, 2023

 

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 2 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු.

 

යම් පුද්ගලයෙකු වසරේ ඕනෑම මාසයක 3,12,21,30 යන දිනයන්හි එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 3 ය. පෞද්ගලික අංක 3 හිමියන්ට හිමිවන්නේ ගුරුගේ බලය හෙවත් බ්‍රහස්පතිගේ බලයයි. අංක 3 අංක විද්‍යාව මෙන්ම ඡ්‍යොතිෂය තුළ ද වැදගත් කාර්යභාරයක් ඉටුකරන අංකයකි.

 

අංක 1 පුද්ගලයන් මෙන් තීරණාත්මක ලෙස ජීවිතයේ ඉහළ නැඟීමේ ආශාවෙන් යුක්ත පුද්ගලයන් ලෙස අංක 3 අය හැඳින්විය හැකිය. ඔවුන් කිසිවෙකුට දෙවැනි වීමට කැමති නැති සේම එවැනි ස්ථානවල රැඳෙන්නේද නැත.

මොවුන්ගේ අරමුණ ලෝකයේ හිණි පෙත්තට නැඟීමය. පිරිස් පාලනයට ඉතාමත් කැමැති හෙයින් පාලන බලය ලබා ගැනිමට උත්සාහ කරයි. මොවුන් ගන්නා තීරණයකට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැහැදීමක් නැත. ඔවුන් ගන්නා තිරණ නිවැරදියැයි විශ්වාසයක් පවති. එසේ වුවද එම තීන්දු තීරණ වරදින අවස්ථාද නැතිවාම නොවේ. නීති ගරුක බව ඉතාමත් හොඳ ලක්ෂණයක් වන අතර නියෝග ඉටුකිරීමෙහිලා ඉතාමත් සාර්ථක වේ. නමුත් එම නිසා අන් අයගේද නීතිගරුක බව සහ නියෝග පිළිපැදීම බලාපොරොත්තු වේ. ඔවුන් ඉපදී ඇත්තේ පෙබරවාරි 19 සිට මාර්තු 20 හෝ නොවැම්බර් 21 සිට දෙසැම්බර් 20 අතර දී නම් ඉහත කී තත්ත්වයන් වඩාත් ප්‍රබල වනු ඇත.

පෞද්ගලික අංක 3 න් උපන් පුද්ගලයන් නිර්මාණශීලි බුද්ධිමත් දක්ෂතා බහුල පුද්ගලයන් වීම විශේෂ ලක්ෂණයක් වේ. නිතරම ප්‍රීතිමත්ව සිටීමට කැමතිය. එම නිසා ප්‍රසන්න පරිසරයක් අපේක්ෂා කරනු ලැබේ. වැදගත් පුද්ගලයන් ඇසුරු කරන්නේ තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම වෘත්තීය කටයුතුවලට රුකුලක් ඔවුන්ගෙන් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. යහපත් මිතුරන් රැසක් ඔහුට ඇතිවන අතර සමාජයේ ජනප්‍රිය වීමට ඔවුන්ගේ ආකර්ෂණීය පෙනුම පෞරුෂත්වය බෙහෙවින් රුකුලක් වේ. පෞද්ගලික ස්වාධීනත්වය අපේක්ෂා කරන සැහැල්ලු හදවතක් හිමිය. සර්ව සුබවාදියෙකි. සරල ජීවිතයකට ප්‍රිය කරයි. ඉක්මනින් කෝප නොගන්නා අතර නමුත් තමාගේ ආත්මගරුත්වයට හානියක් සිදුවන්නේ නම් තදින් කෝප වෙයි.

අංක 3 පුද්ගලයන් තමා ඕනෑම ක්‍ෂේත්‍රයක ඉහළට ගමන් කරයි. අලුත් අලුත් දේ ඉගෙන ගැනීමටත් ඒවායින් ප්‍රයෝජනයක් ගැනීමටත් ඔවුන් ඉතාම දක්ෂයි. තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන නිසා ජීවිතේ අභියෝග ජය ගැනීමට හැකි වේ. තමාගේ ප්‍රශ්නයක් ඕනෑම කෙනෙක් සමඟ සාකච්ජා කර ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීමේ දක්ෂතාවය ඔවුන් සතුයි. බොහෝ දුරට හමුදාවල ඉහළ තනතුරුවල රැඳෙන්නේ මොවුන්ය. විශ්වාසය රකිමින් වගකීම් ගත යුතු තැන්වල ස්වකැමැත්තෙන් වගකීම් ගනිමින් වැඩ කටයුතු කරගෙන යයි. තවද හෘද සාක්ෂියට එකඟව තම රාජකාරිය ඉටු කරයි. පෞද්ගලික අංක 3 හිමි අය අනවශ්‍ය ප්‍රශ්නවලට පැටළෙන්න කැමති නැත. නමුත් වාද විවාදයකට ගියොත් පරාජය භාරගන්නේ නැත. ඔවුන් නිවැරැදියි බව ඔප්පු කරන තුරුම වාද විවාදය අත හරින්නේ නැත.

අනුන්ගේ කටයුතුවලදි කැපවී වැඩ කටයුතු කරයි. අනුන්ට උපකාර කරන අතර ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවේ. නමුත් ඔවුන්ට හිමිවන උගත් මිතුරන්ගෙන් අවශ්‍ය අවස්ථාවේ උපකාරය නොමඳව ලැබෙයි.

ඕනෑම නුහුරු කටයුක්තක් සාර්ථකව කිරීමට හැකියාව ඇති අංක 3 හිමියෝ කලා වාණිජ විද්‍යා ක්‍රීඩා විෂයන්හි දක්ෂතා දක්වති. එමෙන්ම චිත්‍ර කර්මය, සංගීතය, නැටුම් යන විෂයන්හි එකකට හෝ කැමතිය. ස්වභාව සෞන්දර්යයට කැමති අතර තමන් සිටින ස්ථානය අලංකාරව තබා ගැනීමට උනන්දු වෙති. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට අංක 3 පිහිටීම ඉතාම සාර්ථක වීමට හේතු වේ. පෞද්ගලික අංක 3 හිමි දරුවෝ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ප්‍රබල අධිෂ්ඨානයකින් ක්‍රියා කරති. ප්‍රබල ආත්ම විශ්වාසයක් ඇති බැවින් අනාගතයේ අරමුණු කරා පියවර තැබීම ඉතාම පහසුය. කාර්යන් අතපසු නොකර ක්‍රමානුකූලව ක්‍රියාක්මක කිරීමේ ගුණය ඇත. කුමන බාධා ආවත් ඒවායින් අධෛර්යයට පත් නොවී තව තවත් ප්‍රාණවත්ව කටයුතු කරන අතර ඕනෑම වගකීමක් විශ්වාසවන්තව ලබාදිය හැකි පුද්ගලයන් අංක 3න් බිහි වේ.

මෙම පුද්ගලයන්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉතාමත්ම ඉහළ තත්ත්වයක පවති. නමුත් රක්ත වාතය, උගුරේ සහ කන්වල ආබාධ, මේදය අධික වීමෙන් ඇතිවන ආබාධ, පීනස, චර්මාබාධ වැනි රෝග තත්ත්වයන් පොදුවේ. ප්‍රමාණය ඉක්මවා වෙහෙස වීම නිසා ස්නායු දුර්වලතාවලට ලක්විය හැකිය. විවේකය ඉතා අවශ්‍ය පුද්ගලයන්ය. ආහාර දිරවීම පිළිබඳව යම් යම් ගැටලු මතුවිය හැකිය.

පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ළමා කාලය සාපේක්ෂව දුෂ්කරය. බොහෝවිට කුඩා කල මාපියන්ගේ අවධානය මේ පුද්ගලයන්ට යොමුවන්නේ අල්ප වශයෙනි. අංක 3 හිමි ආදර වන්තයන් හිත හොඳ අවංක පුද්ගලයන්ය. එහෙත් තමන්ට ආදරය කරන අය බොරුවක් හෝ වංචාවක් කළොත් සමාව බලාපොරොත්තු විය නොහැකිය.

විවාහය සඳහා සහකරුවා හෝ සහකාරිය පෞද්ගලික අංක 3, 6, 9 හිමි අයෙක් නම් ඉතාම සුදුසුයි. නමුත් පෞද්ගලික අංක 4, 8 හිමි සහකරුවෙක් හෝ සහකාරියක් වුවහොත් විවාහය අසාර්ථකය. ජීවන සහකරුවා හෝ සහකාරියගේ අදහස්වලට වඩා තමන්ගේ අදහස් නිවැරැදියි කියන මතයේ එල්බගෙන සිටි. එය විවාහ ජීවිතයේ සාර්ථකත්වයට බලපෑමක් විය හැකිය. මේ පුද්ගලයින් විවාහයේදී බාහිර රූපයට ඇලුම් කිරීමේ ස්වභාවයක් දක්නට ලැබේ.

කලා ක්‍ෂේත්‍රයේ රැකියාවක් බොහෝ දුරට ලැබේ. එයට අමතරව නීතිය, කාර්මික, විශේෂයෙන් රෙදිපිළි වෙළෙඳාම ගෙදරින් බැහැරව කරනු ලබන රැකියා අලෙවි නියෝජිත බැංකු හෝ ගණකාධිකරණය, ලේඛකයන් ආදී රැකියාවන්ටද මෙම පුද්ගලයෝ සුදුසු වෙති. උදාහරණයක් ලෙස ජෝර්ජ් මෝර්ටිමර් පුල්මන් ඇමරිකානු ඉංජිනේරුවකු සහ කාර්මිකයෙකි. ඔහු පුල්මන් මෝටර් රථය නිර්මාණ කළේය. උපත 1803 මාර්තු 03 ය. චාල්ස් ඩාවින් නම් වූ ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයා 1809 පෙබරවාරි මස 12 දින උපත ලබන ලදි. ජෝසප් රඩ්යාඩ් කිප්ලිං ඉංග්‍රීසි නවකතා කරුවකු, කෙටිකතා රචකයකු, කවියකු සහ මාධ්‍යවේදියෙකි. ඔහු උපත ලැබුවේ 1865 දෙසැම්බර් 30 දීය.

පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ එක් දුර්වලතාවයක් ලෙස අන්‍යයන්ට උපදෙස් දීමට යෑමේදි කරදරයට සේම හතුරන්ද ඇති කර ගැනීම දැක්විය හැකිය. තමා පිළිබඳව පමණට වඩා තමා විසින්ම ප්‍රචාරය කිරීම හා පුරසාරම් දෙඩීමද තවත් දුර්වලතාවයකි. තවද විවේකයක් නොලබා කටයුතු කිරීම තවත් එක් කාරණයකි. කෙටි කාලීන ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් දීර්ඝ කාලීන ප්‍රතිලාභ අහිමි වී යාමට ඉඩ තිබේ.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 3 ට යෙදෙන 03, 12, 21, 30 දිනයන්ය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා පෙබරවාරි 19 සිට මාර්තු 20 හෝ නොවැම්බර් 21 සිට දෙසැම්බර් 20 අතර කාලය තෝරා ගැනීම සුදුසුය. මිතුරන් ලෙස පෞද්ගලික අංක 3, 6, 9, 5 පුද්ගලයින් ද සුදුසු වේ. නමුත් පෞද්ගලික අංක 4,8 හිමි අය මිතුරුකමට සුදුසු නොවේ. ජීවිතයේ සාර්ථකත්වය සඳහා දම් පැහැය වයලට් පැහැය භාවිතා කිරීම සුදුසුය. මේ වර්ණවලින් සැදුම්ලත් ඇඳුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිත කරන්නේ නම් මැනවි. අංක 3 හි විකල්ප අංකය අංක 9 වේ. ඔවුන්ගේ වාසනාවන්ත මැණික් ගල් ඇමතිස්ට්ය. මෙම ගල් කැබැල්ලක් සමෙහි ගෑවෙන සේ පැලඳීමෙන් මහඟු ප්‍රතිඵල අත්වේ.

(ලබන සතියේ පෞද්ගලික අංක 4 හිමි අයගේ ජීවන තොරතුරු කතා කරමු.)

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.