ඇසළ පොහොයේ වැදගත්කම

ජූලි 23, 2021

ප්‍ර: අපේ හාමුදුරුවනේ ඇසළ පොහොය දිනයත් වටිනාම පොහොය දිනයක් නේද?

පි: ඔව් ලෝකවාසි බෞද්ධ ජනතාවට ඉතාම සුවිශේෂී පොහොය දිනයක් මේ ඇසළ පොහොය.

ප්‍ර: මේ වටිනා පොහොය දිනයේ සිදු වූ විශේෂ සිදුවීම් සිහිකළොත් එහෙම?

පි: ඔව්, මේ පොහොය දිනයේ විශේෂ සිදුවීම් ගණනාවක්ම සිදුවී තිබෙන බව පේනවා. එක සිදුවීමක් තමයි මහා බෝසතුන් වහන්සේ සසර ගැන කලකිරී ගිහිගෙයින් නික්ම යාම. මහ බෝසතුන් වහන්සේ දෙව්ලොවින් චුතව මව් කුසක ඉපදීම. සම්බුදු පියාණන් වහන්සේ බ්‍රහ්ම ආරාධනාවෙන් පසුව සුවිශේෂී වූ ශ්‍රී සද්ධර්මයෙන් බරණැස ඉසිපතනයේ මිගදායේ පස්වග තවුසන්ට දේශනා කිරීම. ශාසනයේ ඉතාමත්ව වැදගත් වූ විනය කර්මයක් වන භික්ෂූන් වහන්සේලා වස් විසීම. මේ සුවිශේෂී වූ දිනයේ සිදුවූ වෙනත් සිදුවීම් බොහෝමයක් තියෙනවා. ඒ හැම එකක්ම සඳහන් කිරීමට ගියොත් මේ ලිපිය තවත් දීර්ඝ වෙනවා.

 

ප්‍ර: ඔව් අපේ හාමුදුරුවනේ මෙම ඇසළ පොහොය දිනයෙන් උදාවන වස් විසීම සහ වස් තුන්මසක් ගත කොට කඨින චීවර පූජා කිරීම වටිනා ශාසනික පුන්‍ය ක්‍රියාවක් නේද?

පි: ඔව් ශාසනයෙහි පැවැත්මට අදාල ඉතාම සුවිශේෂී වූ පින්කමක් තමයි වස් විසීම සහ ඉන් තෙමසකට පසුව සිදුවන කඨින චීවර පූජාව.

 

ප්‍ර: පින්කම් අතර වටිනාම පින්කමක් වශයෙන් සැලකෙන්නේ ද මෙම කඨින චීවර පින්කම බව මම අසා තිබෙනවා.

පි: ඔව් ඒක එහෙම තමයි. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා අටමහා කුසල් වශයෙන් මහා කුසල් 08ක් එයින් ප්‍රධානම කුසලය වන්නේ මේ කඨින මහා පිංකමයි. කඨින චීවර දානයයි. ප්‍ර: මම අසා තිබෙනවා මෙය වස් වසා වැඩ සිටින අපේ හාමුදුරුවන්ටත් ඒ වගේම ඒ කටයුතු වල යෙදෙන දායක කාරකාදී පිංවතුන් වන ගිහි පිංවතුන්ටත් දෙපාර්ශවයටම මහානුභාව සම්පන්න ආනිසංස මෙම පිංකමෙන් උදාවන බව පි: ඔව් මෙය මේ දෙපාර්ශවයටම එක හා සමාන ආනිසංස ලැබෙන වටිනා කුසලයක් නිසා උභය සන්වත්තනික පින්කමක් වශයෙන් මෙය හදුන්වනවා.

 

ප්‍ර: එසේ වටිනාම පින්කමක් නිසා වෙන්න ඇති අපේ රජවරු පවා මේ මහා පින්කමට සම්බන්ධ වී කටයුතු කර තිබෙන්නේ

පි: ඔව් පොළොන්නරුවේ විසූ මහා පරාක්‍රමබාහු රජතුමා බුද්ධ ශාසනයේ වැඩ සිටිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා සිහිකොට කඨින පිංකම් 80ක් සිද්ධකර තිබෙන බවට කෝට්ටේ විසූ පැරකුම්බා රජතුමා පුරාණයේ පැවති රුහුණු මායා පිහිටි වශයෙන් වැඩ සිටිය භික්ෂුන්ට කඨින පූජා තුන් දහස් හාරසිය තිස් දෙකක් සිදු කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බොහෝ රජවරු මේ අයුරින් එදා කඨින මහා පින්කමට සම්බන්ධ වී තිබෙනවා.

ප්‍ර: අපේ කාන්තා පක්ෂයත් මේ වටිනා පින්කම්වලට දායක වී ඇති බවට මා අසා තිබෙනවා.

පි: ඔව් රජවරු මෙන්ම රජ බිසෝවරු ද සැදැහැති උපාසක මාතාවන්ද දානපතිනියන් ද මෙම පිංකමෙහි වටිනාකම මැනවින් අවබෝධ කරගෙන මෙම පින්කමට සම්බන්ධ වී තිබෙනවා.

ප්‍ර: අපේ හාමුදුරුවන්ට මතකනම් එවැනි අවස්ථාවන් සිහිපත් කළොත්

පි: බුදුන් දවස සිටි මාතික උපාසිකාව විශාල ධනයක් තිබුණු කෙනෙක් නොවේ. නමුත් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් මැනවින් පිහිටා තිබුණු කෙනෙක්. ඇය ඇගේ ගමෙහි භික්ෂුන් වහන්සේලා හැට නමකට අලුතින් සකස්කර ගත්ත කුටි 60ක වස් සිටුවා වැඩ හිදුවා මහා කඨින පින්කමක් කරගෙන තිබෙනවා. මාතික උපාසිකා අම්මාගේ වස් විසීම වශයෙන් එය ඉපැරණි නිදර්ශන වල සදහන් වෙනවා.

 

ප්‍ර: එහෙමනම් මෙම උපාසක අම්මා කඨින සිවුරු 60ක් ම පූජා කර ගත්තා ඇති නේද?

පි: අන්න එතන තමා තියන ප්‍රශ්නය. යම් ස්ථානයක භික්ෂුන් වහන්සේලා කොපමණ වස් සිටුවාගත්තත් කඨින චීවරයන් වශයෙන් සිවුරක් පූජා කරගන්නට හැකි වන්නේ එක භික්ෂුවකට පමණයි.

ප්‍ර: ඒ භික්ෂුන් වහන්සේ තෝරාගන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ

පි: ඒක වැදගත් ප්‍රශ්නයක්. ඒ අවස්ථාවේදී වැඩ සිටින සියලු දෙනා වහන්සේ මෙම චීවරය සඟසතු කරනවා. ඉන් පසුව එම ස්වාමීන්වහන්සේලා සුදුසු හිමිනමක් ඒ සදහා තෝරා ගන්නවා. එයත් ශාසනයෙහි පවතින සුවිශේෂී අවස්ථාවක්.

 

ප්‍ර: අපේ හාමුදුරුවනේ මෙවර මේ සුවිශේෂී පින්කම හා බැඳුන පොහොය යෙදෙන්නේ කවදා ද? භික්ෂුන් වහන්සේ වස් වසන්නේ කුමන දිනයකද?

පි: එයත් ඉතා වටිනා ප්‍රශ්නයක්. මෙම ඇසළ පොහොය පවතින දිනයේදී භික්ෂුන් වහන්සේලා විනය කර්ම සිදු කොට ඇසළ පුරපසළොස්වකින් පසුව උදාවන ඇසළ මස පුර දියවක තිථිය ගෙවී යාමට පෙර වස් විසීම සිදු කරනවා. මේ අනුව මෙවර මෙම ජූලි මස 23වන සිකුරාදා දින ඇසළ පුරපසළොස්වක පොහොය පවතිනවා. ඉන්පසු දින එනම් 24වන දින පුර දියවක තිථිය ගෙවී යාමට මත්තෙන් වස් විසීම සිදු වෙනවා.

ප්‍ර: මෙවර මේ වස් විසීම සහ කඨින චීවර පූජා පිංකම් සිදුකළ හැකිද?

පි: ඔව් අපිට පෙනෙනවා මේ දිනවල පැතිර පවතින වසංගත රෝග පිළිබඳව එයට අනුගතව සිහි නුවණින් යුතුව අපේ බෞද්ධ ජනතාව ඒකරාශි වීම් හැකිතාක් දුරට සීමා කොට ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී මේ උතුම් පුන්‍ය ක්‍රියාවට අපට සම්බන්ධ විය හැකියි.

 

ප්‍ර: ප්‍රතිපත්ති පූජාව වශයෙන් අපේ හාමුදුරුවෝ සදහන් කරන්නේ කුමක්ද?

පි: ඔව් දැන් අපේ රට ගැන හිතුවොත් පසුගිය කාලසීමාව මේ වස් විසීම සහ කඨින පිංකම් ඉතා චමත්කාරය. ආමිෂ පූජා වැඩි වැඩියෙන් එකතු කරගෙන සිදුකළා. වැසි සළුව පවා පෙරහැරින් වැඩම කළා. විචිත්‍ර පෙරහැරවල් පැවැත්වුවා. කුඩා දරු දැරියන් ද කලාකරුවන් ද එතුළින් වින්දනයක් ලැබුවා. කඨින චීවර දානමය පුණ්‍ය ක්‍රියාවලිය එවැනිම විචිත්‍ර ගණනාවක් එකතු කරගෙන සිදුකළා. ඒ අතරතුර වස් තුන් මාසය තුළ ද විවිධාකාර පුණ්‍ය උත්සව කටයුතු යොදාගත්තා. අපි මෙවර ඒ සියල්ලන්ම පවතින වසංගත උවදුරට අනුගතව නතර කළ යුතුයි. එවිට අප බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පූජා වර්ධනය වීමත් වසංගත රෝගයට අනුගතව මේ මහා කුසලයට යොමු වීමත් හැකිවෙනවා.

 

ප්‍ර: යම් විදියකින් අපේ හාමුදුරුවනේ පවතින රෝගි තත්වයන් යටතේ වස් වසා වැඩ සිටින විහාරස්ථානය ආශ්‍රිත දායක ගම්වල මේ වසංගත රෝගය එයට හරස් වුණොත්

පි: ඔව් එහෙම වුණොත් එම මහා පින්කම් කුසල කර්ම නතර කිරීමට පුලුවන්. යුද බිය පවතින අවස්ථාවලද දරුණු සාගත පවතින අවස්ථා වලදී එයට සමගාමීව කටයුතු කිරීමට බුදු පියාණන් වහන්සේගේ බුදු දහමෙන් අවස්ථා සලසා තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරමු දෙවියන් පවා සතුටු වන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වන මෙම මාහැඟි පින්කම් වසංගත රෝගයට අනුගතව බෞද්ධයින් වන අපි අපිම සංචරණ සීමා පණවා ගනිමින් ඉදිරි වස් කාලසීමාවේ දී අපට කටයුතු කර ගැනීමට හැකි වේවා කියා.

 

උඩදුම්බර මිනිපේ අධිකරණ සංඝනායක කළිකාල ජ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පූජ්‍ය

කුඹල්ගමුවේ ධම්මාලංකාර නාහිමි

 

සටහන:

හර්ෂණී විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.