නිවස ඉදිකිරීමේ දී කාමර සැලසුම් කිරීම

නොවැම්බර් 12, 2021
  • යොවුන් දියණියගෙ නිදන කාමරයට උතුර සහ වයඹ හොඳයි
  • නිදන කාමරය වාලම්පුරියක් කරගන්න
  • නිවසක් පූජනීය නිවසක් කර ගැනීමට ඉඩ ඇත්තේ ඔබේ මනස තුළය.

නව නිවෙසක් ඉදිකිරීමට ප්‍රථම සැලසුම් කළයුතු බොහෝ දේ තිබේ. නිවෙසේ සිටින සාමාජිකයන්ගේ ප්‍රමාණය මත නිදන කාමර පිළිබඳව තීරණය කළ යුතු ය. දියණියන් සිටින නිවෙසක නම් ඇයගේ කාමරයට යාබද නාන කාමරයක් තිබීම ඉතාම නුවණැති ක්‍රියාවකි.

අද ඔබේ දියණිය බිළිඳියක් වුවත් හෙට දිනයේ ඇය තරුණියකි. ඇය මල්වර වීමත් සමඟ හිතුමතයේ හැසිරුණු කෙළිලොල් වියට සමුදිය යුතුය. සහෝදරයන් මෙන්ම පියා සමඟ තිබූ බැඳීම්වලට පවා යම් සීමා පැනවෙන්නේ නිරායාසයෙනි. යුවතියක වන ඇයට සුවිශේෂී පුද්ගලිකත්වයක් තිබේ. නිවෙසක් ඉදිකිරීමේ දී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ එබැවිනි.

නිවෙසේ වයඹ දිසාව උතුර හා බස්නාහිර දෙදිසාවන්ට මැදිව තිබේ. බටහිර හා වයඹ අතර පැතිකඩක් නිර්මාණය වුවත් උතුර හා වයඹ දිසාව වැඩි භූමි පරාසයක් ඉඩකඩ විවෘතව අත්නම් නව විවාහක අය සඳහා හොඳින් ගැළපෙනු ඇත.

මෙය රතිගෙය ද පුෂ්ප රේණු කවචයක් ලෙස ද හැඳින්වේ. උතුරෙන් විශ්වයට ඇදෙන කාන්දුවන චුම්භකය දෝලනය වන කලාපයකි. විවිධ ධාන්‍ය වර්ග මෙන් ඖෂධ වර්ග තැන්පත් කරන ස්ථානය ලෙස ද පැරැණි අය භාවිත කරන ලදී.

තරුණ වියේ දියණියන්ට වයඹ දිසානුගත කාමරය බෙහෙවින්ම ගැළපෙනු ඇත. තව ද බස්නාහිර පැත්තේ සන්ධ්‍යා කාලයේ දී හිරු රැස් වැටීමේ දී ඒවා මිනිස් සිරුරට එතරම් සුබදායක නොවන අතර සමහර අවස්ථාවල ප්‍රධාන දොරටු තැබීමේ දී බස්නාහිර උපයෝගී නොකර ගත් බැව් වාස්තු පර්යේෂණවලදී හෙළි වී ඇත්තේ ය.

අපේ දේශීය වාස්තු විද්‍යා ක්‍රමවේදයේදී ගැමියන් ඔවුන් සතු දැනුම අත්හදා බලා ප්‍රයෝජනයට ගත් බැව් ඇත්තකි. නිවෙසකට අත්තිවාරම දමා කලට වේලාවට නිවස ගොඩනඟා ගැනීමට ප්‍රමාද වන්නේ නම් වයඹ දිසාවේ අත්තිවාරම දමා ඇති කොටසේ කළු පැහැති එළදෙනකු පැටියකු (කිරිබොන) සිටින දෙනක් නම් වඩාත් යහපත් වේ. තණකොළ, පුන්නක්කු, වතුර ආදිය දෙමින් දින 7ක් පමණ කාලයක් රාත්‍රියේ ගාල් කොට තැබීමෙන් එම අත්තිවාරම් දමන ලද නිවෙස ඉතාම කඩිනමින් නිමකර ගැනීමට හැකි බැව් ජන විශ්වාසයකි.

අත්තිවාරම් කපා එදිනම පාගා අවසන් කරනුයේ අත්තිවාරමේ ගුප්තමය ආරක්ෂාව උදෙසාය. සමහර විට අවස්ථාවාදී ඊර්ෂ්‍යා සහගත සිතිවිලි ඇති පුද්ගලයන් විසින් අණවින, හදි හූනියම්, භූමි පාළු ආදිය කරන නිසා ය. අපේ පියවි ඇසට නොපෙනෙන බලවේගයන් මේ විශ්වය තුළ දෝලනය වන්නට කොතෙකුත් ඉඩ ඇත.

අත්තිවාරමේ සහ ඉඩමේ අටකොන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ද ඇදුරන් ලවා කරන බව ද පෙනේ. අද එවැනි දියුණු තාක්ෂණයේ ඉහළම තැනට පත්වී ඇතත් එවැනි ගුප්ත කටයුතු කරන බවද තොරතුරු පැතිර යමින් පවතී.

උතුර, වයඹ ආශි‍්‍රතව නිවසේ කාමරය ගොඩනැඟීමේ දී බස්නාහිර දිසාවට සවස් කාලය තුළ දී බසින හිරු රැස්වල කිරණ කාන්දුවීමේදී දැනෙන තාපය අධික නිසා මැටි හා දැව ඇසුරු කොටගෙන පැරැණි අය වරිච්චි හා තාප්ප මැටියෙන් ගොඩනඟා පස් සමඟ හුඹස් මැටි මෙන්ම දහයියා අළු මිශ්‍රකොට අත්බදාම යොදා ඒ මත කිරිමැටි ආලේප කරන ලදී.

නමුත් අද වන විට ඉපැරැණි මැටි ශිල්ප ක්‍රමය අනුගමනය කිරීමට නොහැකිය. සිමෙන්ති කපරාරුව මත කෘත්‍රිම වර්ණාලේප කරනු ලැබේ. විශේෂයෙන්ම වයඹ දිසාවේ කාමරය ඇතුළත උෂ්ණ වර්ණ වෙනුවට සමවර්ණ පාවිච්චි වීම ඉතාම යහපත් වන්නේය. කාමරය ඇතුළත කාමරය හරහා බාල්කයක් වැටී ඇත්නම් නිදන ඇඳන් දික් අතට හෝ හරස් අතට තැබීම අසුබ වන්නේ ඒ හරහා කාන්දුවන ශක්තීන් ඝෘජුව සිරුරට ඇතුළු වන බැවිනි. බාල්කයක් හරහට විශේෂයෙන්ම කාන්තාවකගේ උදරය හරහා උඩින් එල්ල වන්නේ නම් ඇයට කලකදී ගර්භාෂගත ව්‍යාධිවලට ලක්වීමට ඇති ඉඩ වැඩිය. සිවිලිමකින් ආවරණය වී ඇත්නම් තරමක් ආරක්ෂා වේ.

වයඹ කාමරයේ උතුරට නිදන ඇඳේ හිස දමා නිදා ගැනීම අයහපත් වේ. උතුරට හිස දමා නිදා ගැනීමෙන් වැළකිය යුතුයි. චුම්භක ශක්තීන් ඇද ගැනීමේ බලය අධික වන්නේ ය. ඊශාන දිසාවේ අල්මාරිය, සුවඳ විලවුන්, ජල බඳුන් ආදිය තැබීම යහපත් ය.

තරුණ කාන්තාවක් වයඹ දිසාවේ කාමරය සිය කුටිය ලෙස පරිහරණයේ දී තම රුව රැක ගැනීමත් වඩවා ගැනීමත් ලස්සන වීම සඳහා ස්වයං රූපලාවණ්‍ය කටයුතුවල නිතර යෙදෙන්නේ නම් ඊසාන පැත්තේ එවැනි ක්‍රියාකාරකම්වලට වඩාත් යෝග්‍ය වේ.

ජල බඳුනකට (වීදුරුවකට) සුදුහඳුන් ස්වල්පයක් මිශ්‍රකර ඊසාන පැත්තේ තබා උදේ මුහුණ සේදීමත්, මුහුණේ කුරුලෑ නැති කර ගැනීමට සියඹලා ඇටයක් සවස වතුර බඳුනකට දමා ඊසාන දිසාවේ තබා උදේ රැගෙන දෙහි ඇඹුලින් ගලගා කුරුලෑව වටේ ආලේප කිරීමෙන් කුරුලෑව මිරිකී යනු ඇත. මෙයට පාදක වනුයේ ඊසාන දිසාවෙන් ලැබෙන ශක්තිය බැව් සොයාගෙන තිබේ. (ඖෂධ සංයෝජනයේ දැක්වේ)

මුහුණ ලස්සන වීමට ඊසාන දිග ළිං (ඖෂධ මිශ්‍ර) ජලය ශාක පත්‍ර හා පුෂ්ප සංයෝගී ජල ස්නානයන්ය. කාමරයේ නැඟෙනහිර දිසාවේ (පැත්තේ) සියලුම වටිනා වස්තු ලෝහමය (රන්, රිදී) මුතු, මැණික් ආදිය තැන්පත් කර තැබීමට යෝග්‍ය වන්නේ ය. කණ්ණාඩි මේසයක් තමා නිදන ඇඳට සෘජුව (කෙළින්ම) පෙනෙන ආකාරයට තැබීම සුදුසු නැත. එයින් පරාවර්තනය වන කිරණ අසුබ තත්ත්වයක් පවතී. වයඹ නිදන කාමරය ඇතුළත නිරිත පැත්තේ සේයාරූ, ඡායාරූප, ඇල්බමය මනෝ විද්‍යාත්මක පොත්පත්, සඟරා පෙම් සබඳතා පවත්වන ප්‍රතිවිරුද්ධ අයගේ සේ්යාරූ, ලිපි, ලේඛන, හඬපටි ආදිය තැබීමට සුදුසු යැයි සලකනු ලබන්නේ වයඹ දිසාවේ කාමරයේ නිරිත පැත්තේ ය.

කාමරයේ නිරිත දිසාවේ සිට තම ආදරවන්තයාට අමතන්නේ එකී දිසාවේ සිට නම් ප්‍රේමය ආදරය තව තවත් රසවත් වේ. ගිනිකොන නම් ලැබෙන ප්‍රතිචාරයන් උණුසුම් තත්ත්වයට පත්වේ. සමහර විට ඔබේ දුරකතන ඇමැතුමට ගිනිකොනින් ලැබෙන ප්‍රතිචාරය මානසික පීඩනය ආතතියකට ද ලක්විය හැකි ය. අපට අවට ඇති අවකාශයේ සෑම තැනම එකම ශක්ති බලයක් දෝලනය නොවේ. භූමිගත මාර්ග, ගුවන් මාර්ග, මුහුදු මාර්ග මෙන්ම අප අවට අවකාශයේ ද සුබ අසුබ අපට අහිතකර තත්ත්වයන් හටගනී. නිවසක් ගොඩනඟන විටදී නිවසේ ඇතුළත ඒ ඒ කාමරවල පැතිරෙන පිටතින් කාන්දුවන බලශක්තිය විවිධ හැඩතල ගනී.

මුළු නිවසම (අග්නිකාරකීය) ගිනි ගන්නා තත්ත්වයට පත් කර ගැනීමටත් පූජනීය නිවසක් කර ගැනීම ඇත්තේ ඔබේ මනස තුළය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහව, පළිගැනීම ආදී ගිනි පුළිඟු ගේ තුළ දල්වා එය තව තවත් බුර බුරා නඟින ගිනිදැල් ඇවිලීමට පිටතින් වායුව මිශ්‍ර කරන්නේ නම් කොතරම් සුබදායක ධනාත්මක පැතිකඩක් හරහා නිවෙස ගොඩනඟා ගැනීමක් කළත් එය කම්මලේ මයින හමක් වනු ඇත.

අපි මෙතෙක් කතාබහේ යෙදුණේ නිවෙසේ පිහිටි උතුර හා ඇසුරේ පවතින වයඹ දිසාවේ කාමරය ගැනයි. චුම්භකය වටා ඇදෙන වයඹ ඇසුරු කොට ගොඩනඟා ඇති කාමරය ඇතුළත පවුලේ අන් අයටත් වඩා තරුණ දියණියන් සිය ලැඟුම් කුටියක් කර ගැනීමෙන් ලස්සන රූමතියක් වීමේ ඉඩකඩ විවෘත වන්නේය.

සමස්ත නිවෙස පිරමීඩයක හැඩැති ජීවයෙන් යුක්ත ක්ෂේම භූමියකි. එදා මැටි හෝ අද වැලි මිශ්‍ර සිමෙන්ති ආධාර කර ගැනීමෙන් ගොඩනඟන ලද නිවෙසක් තුළ යහපත් සිතිවිලිවලින් පිරිපුන්ව ජීවත් වන්නේ නම් වාස්තුවේදය තුළ ඇති යම් යම් සුළු දෝෂ පවා මඟහරවා ගත හැකි බැව් අත්දැකීමෙන් සනිටුහන් කරන මහා පව්වලට උත්තරීතර සෘෂි දැනුමක් වූ වාස්තු විද්‍යාව පළි නැත.

නිදන කාමරය වාලම්පුරියක් කරගන්න

ජීවිත කාලයේ එකම ක්‍රියාවක් උදෙසා වැඩිම කාලයක් ගත කරන්නේ කුමකට ද? යන පැනය කවුරුන් හෝ ඔබෙන් අසා තිබේද? අසා ඇතත් පිළිතුර එක් වරම සිතට නැඟෙන්නේ නැත. ඔබ, අප සියලු දෙනාම ජීවිත කාලයෙන් වැඩිම කාලයක් ගත කරනුයේ නිදා ගැනීම සඳහාය.

සුව නින්දකට අලංකාරය නිදන කාමරයක සුවපහසු යහනක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ජීවිතයේ වැඩිම කාලයක් ගත කරන නිදන කාමරය සකස් විය යුත්තේ කෙලෙස ද කියා ඡ්‍යෝතිෂමය ප්‍රවේශයකින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ ය.

මනුෂ්‍යයකු ජීවත් වන කාල පරාසය තුළ තුනෙන් දෙකක පමණ කාලය ගෙවනුයේ නිදන කාමරය තුළය. ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම හිතකර වාතාවරණයක් නිවසේ නිදන කාමරය තුළ තිබීම අනිවාර්ය වේ. එදා ගැමියන් තම නිවසේ නිරිත දිසාවේ නිදන කාමරය සකසාගෙන තිබිණි. ඊසාන මරු නොසිටින ඉතාම සුබවාදී දිසාවක් වන අතර එහි ප්‍රතිවිරුද්ධ පැත්ත නිරිත පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පිරිපුන්ය.

බොහෝ දුරට නිරිතදිග ඇසුරු කරගෙන කෙරෙන විවාහයත් සමඟ කෙනකුගේ ජීවිතය ඉතාමත්ම යහපත් තත්ත්වයක පවතින බවත් සඳහන් වන්නේ ය. අපේ පැරණි ගැමියා තුන්කල් දක්නා ඉසිවරයෙක් බඳුය. හරි හැටි දිසාවන් හඳුනාගෙන තිබුණු බැව් ඉතාමත්ම පැහැදිලිය. ඒ ගැන ඕනෑ තරම් සාධක තිබේ.

විවාහයෙන් පසු අඹු සැමි යුවළගේ පරම සම්පත දරුවන්ය. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච මහා සම්පත්තිය දායාද කොට දරුවකු මෙලොවට බිහි වන්නේ නිරිත දිසාවෙන් බැව් ඔවුන් දැන සිටියහ.

සුළු ප්‍රමාණයේ වචන හුවමාරු නොවන අඹු සැමියන් සෙවීම දුෂ්කර වන අතර නිරිත දිසාවේ ඔවුන් නිරන්තරයෙන්ම ලැඟුම් ගෙන රාත්‍රිය ගත කරන්නේ නම් ඊශාන දිසාවෙන් කාන්දුවන ජීවකිරණ බලශක්තිය උපදවනු නියතයි. වෙනත් පැති වුවත් එතරම් හානිකර නොවන අතර ගිනිකොණ (අග්නිකාරක) දිසාව නිදන කාමරයක් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් අඹු - සැමි ආරවුල්වල කෙළවරක් නැත.

සමහරවිට උපදින දරුවන් පවා යම් යම් රෝග කාරක තත්ත්වයන්ට පත්වන බැව් බොහෝ වාස්තු විද්‍යා පර්යේෂණවලදී හෙළිවී තිබේ. මේ පිළිබඳව එතරම් තැකීමක් නොකළත් බොහෝ පැරැණි ගැමි නිවාස හිමියන් එදා බල්ලා ඉස්තෝප්පුවේ නිදන තැන හාන්සි පුටුවක දිගා වී සිටියේ කොන්දෙ අමාරුව නොසෑදෙන නිසා යැයි ගැමි කතාවක් තිබේ. භූගතව දිවෙන ජල රේඛා හසු නොවන තැන බල්ලා ඉවෙන් දනී. ඌ නිදා ගන්නේ එවැනි තැනකය. භූගතව විහිදී ඇති මර්මස්ථාන සතුන් හොඳින් හඳුනන බව පැහැදිලිය. මාවවුලන් ස්ථාන මාරු කිරීම, මෙරු ඉඟිලීමත්, කණකොකා හඬා යෑම, කක්කුට්ටන් නියරේ ගුල්වලින් එළියට ඒම වැනි සතුන්ගේ විවිධ ඉරියව් ‘අනාවැකි’ පවසන ඉඟි තේමාවන්ය.

නිදන කාමරය තුළ උපක්‍රමශීලීව ඇඳන් වෙනස් කිරීමෙන් ද යහපත් ක්‍රමවේදයක් සකසා ගත හැකිය. නිදන ඇඳට ඝෘජුව කණ්ණාඩි මේසය තැබීම ඉතාම අසුබයි. සමහර විවාහක කාන්තාවන් සිය සිරුරේ හැඩතල හා රිද්ම රටාවට වසඟ වී ස්වයං මෝහනය සඳහා කණ්ණාඩි නිදන ඇඳට පෙනෙන සේ තබා ගනී. එය එතරම් සුබවාදී නොවේ. සේයා ප්‍රතිබිම්බක පරාවර්තනය සිරුරට අහිතකර වන්නේය.

පරිගණක මෙන්ම ජංගම දුරකත ක්‍රියාවිරහිත නොකර තමා නිදන කොට්ටය අසල තැබීම ද අහිතකර වේ. ක්‍රමවත්ව, අලංකාරව, කලාත්මකව නිදන කාමරය සකස් කර ගැනීමෙන් සුවබර නින්දකට හේතුකාරක වේ.

තවද නිදන කාමරයේ ආකර්ෂණීය බව අඹු - සැමි ප්‍රේමය කෙරෙහි බලපාන අතරම ආදරණීය ඇසුරකට, එකතුවකට තෝතැන්නක් වේ.

නව විවාහක යුවළකගේ නිදන කාමරය ලා නිල් හෝ ලා කොළ පැහැයෙන් වර්ණාලේප කොට සිඟිත්තකුගේ චිත්‍රයක් ඇස ගැසෙන සේ එල්ලා තැබීම සුවිශේෂයි. නිදන කාමරය තුළ පාම්ස් ශාක වර්ග, උල් සහ ත්‍රිකෝණ හැඩැති පත්‍ර සහිත පැළෑටි තැබීම අහිතකරවේ. රවුම් පත්‍ර යහපත්, එහෙත් රාත්‍රී කාලයට ඉවත් කළ යුතුමය නිදන කාමරය කුණු කන්දල්වලින් පිරුණු අපායක් නොකර දෙව්ලොවක් කර ගන්න. සිරිකත ලැඟුම් ගන්නා නිදන කාමරය නිවසේ වාලම්පුරිය වේ.

නිරිතදිග නිදන කාමරයේ මිනිත්තු දහයක්වත් භාවනායෝගීව සිට පංචමහා සම්පත්තියෙන් යුක්ත දරු සම්පතක් ලැබේවායි චිත්ත තරංග එක්රැස් කර ගැනීම දරුවන් ලැබීමට ප්‍රමාද වන අඹු සැමියන්ට අගනා ගුරුකමක් වනු ඇත.

ඡ්‍යෝතිෂ සහ වාස්තුවිද්‍යාවේදී, දේශබන්ධු,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.