අනු දිසා හතරට ගෘහ අංග

ජුනි 28, 2024

කටාන ප්‍රදේශයේ අතහැර දැමුවා සේ පෙනෙන වත්තක් මැද කොටසක් තනා ඇති තවත් කොටසක අත්තිවාරම් දමා ඇති නිවෙසක් පිහිටා තිබේ. බටහිර වෛද්‍යවරයකුට අයත් මේ දේපළ කාලයක් තිස්සේ කිසිදු සංවර්ධනයක් සිදු නොවී පැවැති බව පැහැදිලිව පෙනිණි. ප්‍රවේශ මාර්ගයෙන් භූමිය වෙන් කෙරෙන මායිම් වැටක් නොමැති බැවින් ඉඩ පහසුව ඇති තැනකින් ඉඩමට පිවිසියෙමු. මැනීම් සිදු කිරීමට පෙරම දිශා දක්නය (කොම්පාසුව) යොදා දල වශයෙන් දිශාවන් හඳුනා ගැනීමේ දී බරපතළ දිශා දෝෂ රැසක් හඳුනාගත හැකි විය. ඒ අනුව නිරිතේ බෑවුම ප්‍රධාන ලෙස සලකා පිරමීඩ යොදා දෝෂා නිවාරණය කිරීමට තීරණය කරනු ලැබීමු.

මෙවැනි තත්ත්වයනට පොදුවේ සමාජය මුහුණ දෙන බැවින් වඩ වඩාත් බලපෑම් ඇති කරන දිශාවන් සඳහා ගැළපෙන හා නොගැළපෙන ගෘහ අංග පිළිබඳව යම් අවබෝධයක් ඇති කිරීම සාමාන්‍ය වශයෙන් හෝ දෝෂවලින් මිදී ජීවත්වීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත.

නිරිත දිශාව

ඒ අනුව පඨවි ධාතුවට අයත් නිරිත දිශාවට උචිතම ගෘහ අංගය වන්නේ ප්‍රධාන නිදන කාමරයයි. ගෘහ මූලිකයා හෙවත් නිවෙසේ වගකීම් දරා කටයුතු කරන භවතුන් එහි ජීවත්වීමෙන් පවුලේ දියුණුව හා සාර්ථකත්වය උදා කර ගත හැකියි. පඩි පෙළක් යෙදීමේ දී ද නිරිත වඩාත් උචිත වේ. ඉහළ ජල ටැංකිය පිහිටුවීම සඳහා උචිත දිශාව වන්නේද නිරිතයි. එසේම මේ ගෘහ අංග නිරිතට යෙදිය නොහැකි අවස්ථාවලදී දකුණ හෝ බස්නාහිර ඒ සඳහා යොදා ගැනීම යහපත් බවද සැලකිය යුතු වේ. නිරිත පහත්බිම්ද බරපතළ දෝෂයකි.

ගිනිකොන දිශාව

මේ දිශාවට උචිතම ගෘහ අංගය වන්නේ මුළුතැන් ගෙයයි. මුළුතැන් ගෙයිනුත් දිය හෝ වෙනත් රත්වන තාපය මුදා හරින දේ කෙසේ හෝ ගිනිකොන දිශාවට යෙදීම අතිශයින් වැදගත් වේ. නිවෙසට ඇතුළු වන පැත්තට ආසන්නව ගිනිකොන පිහිටා ඇත්තේ නම් හෝ වෙනත් හේතූන් නිසා හෝ මුළුතැන් ගෙය ගිනිකොනට යෙදීමට අපහසු වන්නේ නම් විකල්ප දිශාවක් ලෙස වයඹ ද යොදා ගත හැකියි. මෙය චීන වාස්තු විශ්වාස කරන්නන් අතර විවාදාපන්න වුවත් නූතන බටහිර විද්‍යාවට අනුව නම් ඉතා තර්කානුකූලව උචිත බව නිසැක වේ.

වයඹ දිශාව

මෙයට උචිතම ගෘහ අංග වන්නේ අමුත්තන්ගේ නිදන කාමරයි. එසේම නිවෙසට බද්ධව යම් අලෙවි මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු නම් එයටද උචිතම දිශාව වයඹ දිශාවයි. එසේම විශේෂයෙන් සැළකිය යුතු කරුණක් වන්නේ පාසල් යන වයසේ පසු වන දියණිය කිසි විටෙක වයඹ දිශාවෙහි නිදන කාමරයක රැඳවීම නොකළ යුතු වේ. එසේ කළහොත් ඇයගේ විවාහය ඉක්මන් වී අනාගතය අසාර්ථක වනු ඇත. වයඹ දිශාවේ භූමිය හෝ නිවෙසේ පොළොව අන් කොටස්වලට වඩා උසින් පිහිටුවීමද උචිත නොවේ.

ඊශාන දිශාව

ඊශාන දිශාවට උචිත ගෘහ අංගයන් වනුයේ ප්‍රධාන දොරටුව, සාලය, පෝටිකෝව, වැරැන්ඩාව ආදියයි. එහි ජනේල ආදී කවුළුද හැකිතාක් යෙදීම අවශ්‍යම වෙයි. මිදුලේ උපරිම ඉඩක් ඊශානයට තැබීම අතිශයින් ශුභ ප්‍රතිඵල හිමිකර දෙයි. එසේම ළිඳක් තටාකයක් වැනි පොළොව මට්ටමට පහළින් පිහිටි ජල ධාරකයන් ඊශානයේ තිබීමෙන් වැඩි වැඩියෙන් ශුභ ශක්තීන් නිවෙසට ඇතුළත් වන බැවින් ඉතා සක්‍රීය, සාර්ථක ජීවිතයක් උදා වනු ඇත. මිදුලේ පොදුවේ ගහකොළවලින් වදුලක්, වැඩි සෙවණක් ඇතිවීමට ඉඩ දිය යුතු දිශාවක් නොවන ඊශානයේ ඇති ගස් එතරම් ඉහළට යෑම වැළකිය යුතුයි. ඊශානයේ පිහිටි මිදුලේ තණකොළ සිටුවීමෙන් ඇතිවන තෙත් පොළොව ඉතා යහපත් පසුබිමක් නිවැසියාට හිමිකර දෙයි. අප විසින් ඉහතින් දක්වා ඇති විවිධ දිශාගත වාස්තු පිළිවෙත් හුදු විශ්වාසයන් ලෙස භාවිතයට ගැනීම ප්‍රමාණවත් නොවේ. වත්මන් තාර්කික හේතු අපේක්ෂිත නව සමාජයට මේවායෙන් ඇතිවන අවසන් ශක්තිමය වටපිටාවේ ස්වරූපය ගැන ද යම් අවබෝධයක් ඇතිකර ගැනීමද ඒ අනුව අවශ්‍ය වෙයි.

පොළොව වටා පැතිරී ඇති අන්තරීක්ෂ ශක්තිය පොළොවේ කරකැවීම (භ්‍රමණය) නිසා පොළොව වෙත එන ශක්ති ප්‍රවාහයක් ලෙස (සාපේක්ෂ වශයෙන්) දැනෙන්නට පටන් ගනී. මෙය සාමාන්‍ය ගැමිවහරක්ව ස්ථාපිත වී ඇති ඊශානයෙන් ගලා එන විශ්ව ශක්තියක් ලෙස වටහාගෙන තිබීම වැදගත් වේ.

මේ අන්තරීක්ෂ ශක්තිය කෙලින් (සරල රේඛීයව) අප වෙත ඇදී ඒමෙන් අපගේ ශක්ති ශරීරය හෙවත් ඕරාව වඩ වඩාත් බලගැන්වෙනවා සේම එකී ශක්තිය වක්‍ර වෙමින් හෝ කැළඹෙමින් අප වෙත ළඟා වීමෙන් ධාරාවේ ශක්ති හානිවීම් ඇති වේ. ඒ අනුව ඊශානයෙන් වැඩි අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් නිවෙසට ඇතුළුවීමටත් ඒවා සරල රේඛීයව නිවෙස හරහා ගමන් කිරීමටත් එමඟින් නිවෙසේ ගබඩා වන ශක්ති ප්‍රමාණය උපරිම වීමත් සිදුවීමෙන් නිවැසියන්ගේ ජීවිතවල සාර්ථකත්වය ඇති කරවීම ඉහත වාස්තු පිළිවෙත් භාවිතයෙන් සිදුවේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.