ඉක්මන් ප්‍රතිපල දෙන වාස්තු ඉඟි 8ක්

ජුනි 14, 2024

 

වාස්තු ශාස්ත්‍රානුකූලව සරලව භාවිතයට ගත හැකි දේ වාස්තු ඉඟි ලෙස හඳුන්වා දිය හැකියි.

ඒවා බොහෝ විස්මිත ප්‍රතිඵල හිමි කර දෙන අවස්ථා ඇති බැවින් මෙවැනි ඉඟි පිළිබඳව අතිමහත් උද්යෝගයක් ඇතිවීම ස්වභාවයයි.

එසේ වුවත් මෙවැනි තත්ත්වවලදී උදා වන නරකම ස්වභාවයක් වන්නේ කිසිදු ශාස්ත්‍රිය හෝ තාර්කික පදනමක් නොමැතිව විවිධ පිළිවෙත් ඉදිරිපත් කරමින් හා ඒවා අන්ධානුකරණයෙන් පිළිගන්නා ආකාරය බලා ඒවායෙන් දුෂ්ට සතුටක් ලබා ගැනීමයි.

කිසිදු දෝෂයක් නොමැති ඉදිකිරීමක් වාස්තුමය ලෙස පරීක්ෂා කිරීමේදී එසේ යහපත් බව කීම තමනට ප්‍රමාණවත් නොවෙතැයි සිතා නැති දෝෂයක් හෝ මතු කිරීමට වැර දැරීම තවත් වාස්තු අපයෝජනයකි.

එසේ වුවත් සත්‍ය වශයෙන් භාවිතයට ගත හැකි වාස්තු ඉඟි රැසක් ද ශාස්ත්‍රානුකූලව දක්නට ලැබේ.

ඒවා වඩාත් මැනැවින් භාවිත කිරීමෙන් විස්මිත සාර්ථකත්වයක් ලබා ගත හැකි වෙයි.

එබැවින් එවැනි කීපයක් පිළිබඳව සැමගේ අවධානය යොමු කරවීම මේ ලිපියේ අරමුණයි.

 

ලවණ භාවිතයේ ශුභ ඵල

 

වැසිකිලිය, ගබඩා කාමරය, කුණුවලවල් ආශි‍්‍රත තැන් ආදිය නිරතුරු ඇතිවන ශක්තීන් ඇතිකරන තැන් බව නොරහසකි. එවන් තැන්වල ලුණු ප්‍රමාණයක් පීරිසියක කඳුගන්වා තැබීම අතිශය ප්‍රතිඵලදායක වෙයි. එහිදී ලුණු කුඩු වෙනුවට ලුණු කැට යොදා ගැනීම වඩාත් සාර්ථක ක්‍රමයකි. මෙයට අමතරව නිවෙස පිරිසුදු කිරීමේදී සබන් හෝ වෙනත් සේදුම් ද්‍රව්‍ය භාවිත කර සෝදා හැරීමෙන් පසු අවසානයේ ලුණු දියරකින් ද පිසදැමීමත් පෙර කී අයුරේම ලුණු භාවිතයෙන් කළ හැකි විස්මිත ප්‍රතිඵල ගෙන දෙන වාස්තු ඉඟියකි.

 

වියළිබවෙන් වියවුල් වළකමු

 

නිවෙසේ කවර දිශාගත දෝෂ පැවතියත් ඒවා වඩාත් සක්‍රිය කරමින් දුර්විපාක, වැඩිදියුණු කිරීමට බලපාන වැදගත්ම දෙය නම් ඒවායේ පවත්නා තෙත් ගතියයි. යම් තැනක් ඉතා වියළි තත්ත්වයක් ඇති කළ හැකි නම් එයින් ඒ ස්ථානයන්හි පවත්නා අශුභ ශක්තීන් නැති කර ගත හැකි වනු ඇත. යම් පමණකට හෝ තෙත් බවක් පවත්නා ස්ථානයන්හි මේ වනවිටත් දුර්විපාක විඳ ගැනීමට සිදුවීම සුලබ අත්දැකීමකි.

 

රාක්කගත භාණ්ඩ ගොඩගසා තැබීම දුර්විපාක ගෙන එයි

 

ගබඩා කාමර බරපතළ දෝෂ හට ගන්වන තැන් බව නොරහසකි. මෙයට ප්‍රධාන හේතු වන්නේ ගබඩාවේ ඇති විවිධාකකාර භාණ්ඩ නොව ඒවා ගබඩා කර ඇති අපිළිවෙළ ස්වභාවයයි. අන්තරීක්ෂ (Cosmic )ශක්තිය පහසුවෙන් ගලා යමින් පරිසරයේ නිසි පරිදි හිතකර තත්ත්වයක් ඇති කිරීමට නම් එකී පරිසරයේ අන්තරීක්ෂ ශක්තියේ සක්‍රියතාවය හේතු වන බව නිසැකයි. එසේ නොමැතිව භාණ්ඩ ගොඩගසා තැබීම නිසා බරපතළ වාස්තු වියවුල් ඇති විය හැකියි. එවිට කළ යුත්තේ බිත්තිවලට ළංව රාක්ක සකසා පරිසරයේ මධ්‍යය හොඳින් හිස්කර තැබීමයි.

 

නැවතුණ නිවෙසට කලු ඉටි රෙද්දක්

 

ඉදිකිරීම් නැවතී ගිය නිවෙසක් සඳහා කළ යුතු විධිමත් වාස්තු පිළියම් ඇරඹීමට පෙර නිවෙසේ නිරිත දිශාවේ ඇති කවුළු හා සියලු විවරයන් වැසෙන පරිදි කලු ඉටි රෙද්දක් දැමිය යුතු වේ. අන්තරීක්ෂ (Cosmic) ශක්තිය නිවෙසින් බැහැර වීම වළකන මේ ක්‍රමය සඳහා වෙනස් ඕනෑම ආකාරයකින් නිරිත අවහිර කිරීමත් උචිතයි. නිවෙසේ ඉදිකිරීම් යළි පටන් ගත් පසුත් නිවෙසේ නිරිත දිග බිත්ති පුරා කවුළු උළුවහු පිහිටුවා නිමා කිරීම ඇරඹීම යහපත් වේ.

 

කරදරයක් එළවා දමමු

 

බරපතළ ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ අනවශ්‍ය බාහිර පුද්ගලයන් නිවෙසේ රඳවා ගැනීමට සිදුවීම කරදරයකි. එයින් මිදීමට අවශ්‍ය නම් එවැනි අමුත්තන් සඳහා වයඹ කොටසේ සයනය පැනවීම සිදු කිරීම මැනවි. නොබෝ දිනකින් ඔවුන් ඉවත්ව යනු නිසැකයි. එසේම විවාහ අපේක්ෂක කාන්තාවන් ද වයඹේ රැඳවීමෙන් ඉක්මන් විවාහ අවස්ථාද ඔවුනට උදාවනු ඇත.

 

සුවඳවත් කිරීමෙන් පහත් ආත්ම දුරලමු

 

විවිධ හේතුන් නිසා නිවාසවල රැඳී සිටින පහත් ආත්මවලින් වන බාධාවීම්වල අත්දැකිම් සහිත භවතුන් විසින් ඊශාන, උතුර, නැඟෙනහිර ප්‍රමුඛව රාත්‍රියට පිපී සුවඳ දෙන මල් ඇති ඵල රෝපණය අතිශයින් ඵලදායි වේ. එතරම් යහ ප්‍රතිඵල ගෙන නොආවත් හඳුන්කූරු වැනි දේවලින් හෝ කෘත්‍රිමව නිවෙස සුවඳවත් කොට දැමීමත් යහපත් වේ. රෝගීන්ගේ කාමර ආසන්නයේ මෙවැනි හඳුන්කූරු ගැසීම හෝ සුවඳ දුම් ඇල්ලීම සාර්ථක ප්‍රතිඵල ගෙන එයි.

 

වැසිකිළි දොර හා පියන් වසමු

 

දෝෂ සහිත හෝ රහිත කවර දිශාවකට වැසිකිලියක් පිහිටා තිබුණ ද එහි දොර හැමවිටම වසා (එහි කවුළුව විවෘතව තබා) තැබිය යුතු වේ. වල වැසිකිළියක් වෙනුවට කොමෝඩුවක් සහිතව වැසිකිළිය තනා ඇත්නම් එහි පියනද වසා තැබීමෙන් පවත්නා දෝෂ තත්ත්ව අවම වේ.

 

පිරමිඩ යොදමු

 

වාස්තු දෝෂ නිවාරණය සඳහා විධිමත්ව තනා අලෙවියට තබා ඇති පිරිමිඩ මිලදී ගැනීමට පෙර පැති සමාන ත්‍රිකෝණ හතරක් යා කරමින් අතින් තනාගත් පිරමීඩ නිවෙසේ සක්‍රිය විවිධ තැන්වල පිහිටුවා ගන්න. මේ පිරිමිඩ තැනීමට කඩදාසි ප්ලාස්ටික් වැනි ඕනෑම දෙයක් යොදා ගත්ත ද යකඩ භාවිත නොකිරීමට වගබලා ගන්න. රෝගීන් සඳහා බීමට ගන්නා ජලය බඳුනක යොදා මෙවැනි සරල පිරමිඩයකින් වසා බීමට ගන්න. මෙවැනි සරල පිළිවෙත් ඔබගේ ජීවිතය වඩා යහපත් නැමියාවකට පත් කරනු ඇත.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.