දේපළ අහිමි කළ සැලසුමක වරද

අප්‍රේල් 19, 2024

 

සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව වාස්තු විග්‍රහයකට යා නොහැකි තරම් බරපතළ මේ ඉදිකිරීමට අදාළ සැලසුම අපි අයිතිකරුගෙන් ඉල්ලා සිටියෙමු.

ගැටලුව මැනැවින් පැහැදිලි වන සැලසුමක් එහි විය. පර්චස් පණහක් පමණ වූ භූමියක තනා ඇති මේ නිවස අවශ්‍ය පරිදි දිශා ගැන්විය හැකිව තිබියදී එහි සැලසුම් සකස් කර ඇත්තේ මූලික දෝෂ රැසක් ඇතුළත් වන පරිදි ය. අපගේ සේවාලාභී අයිතිකරුවා විසින් පැහැදිලි කළ පරිදි ඉදි කිරීම සඳහා වැය වූ මුදල, ඒ ඉදිකිරීමට අදාළ නියමිත පිරිවැය මෙන් කීප ගුණයක් වූ බව පෙනිණි. එපමණක් නොව මේ ඉදිකිරීම ආරම්භ කිරීමත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාරවල බිඳ වැටීමද ඇරඹී ඇති බව කාලවකවානු සැසඳීමේදී නිශ්චිත කර ගත හැකි විය. මේ තත්ත්වය වටහා නොගෙන මේ විවරණය සිදු කළ යුතු නොහේ.

උක්ත සැලසුමට අනුව ඊශාන, නැඟෙනහිර, ගිනිකොන දිශා වැසී යන පරිදි මේ තෙමහල් නිවස ගොඩනැඟී තිබේ. එයට ප්‍රතිවිරුද්ධ බස්නාහිර හා වයඹ වැඩි කොටසක් වැසී තිබිණි. නිරිතට වන්නට ලොරියක් නවත්වා තිබුණූ අතර, එයට ඉහළින් කොන්ක්‍රීට් තට්ටුවකින් වහලය යොදා තිබිණි.

මේ තත්ත්වය සිද්ධාන්ත අනුව පැහැදිලි කිරීමෙන් අවබෝධ නොවෙතැයි හැඟුණු බැවින් මේ ඉදිකිරීමට බලපාන වාස්තු වියවුල වටහා දීම සඳහා “ලීවර් (ලෙවර්) ඇන්ටනාව නම් මෙවලම යොදා ගනු ලැබිණි. එවිට පවත්නා ශක්ති උෂ්ණතාව සේවාලාභියාට මැනැවින් පැහැදිලි විය. අප විසින් දෝෂයන් විසින් හට ගනු ලබන දුර්විපාක පැහැදිලි කිරීමේදී ඒ සියල්ලටම පූර්ණ එකඟතාව පළ විය. එයට අමතරව නිරිතේ පිහිටීම අනුව ණය බරින් පීඩා විඳින තත්ත්වය පැහැදිලි කිරීමේදි මෙසේ කළ අලුත් ඉදිකිරීම විකුණා ණය පියවා ගැනීමේ තත්ත්වයට වැටී ඇති බව ඔහු අපට ඉතා කනගාටුවෙන් පැහැදිලි කරනු ලැබීය. මේ ඉඩමේ බෑවුම මඳක් වයඹ දිශාවට පැවතීමේ එතරම් ගැටලුවක් නැතත් ඉඩමට ප්‍රවේශ වන තැන පිහිටි දැවැන්ත ගේට්ටුවද එතැනින්ම පිහිටා තිබීම පාළුවට පත්වන නිවෙසක ලකුණු පළ කරන බව කිව යුතුයි.

මේ දෝෂයන්ට අමතරව මුළුතැන්ගෙය, වැසිකිළි ආදියේද පිහිටීම අයහපත් මුත් තවමත් එකී ගෘහ අංග භාවිතයට ගෙන නොමැති බැවින් ඒවායෙන් ඇති වීමට නියමිත දුර්විපාක තවමත් ලැබී නැති බවත් පැහැදිලි කර දෙනු ලැබිණි. යම් හේතුවක් මත හදිසියේ හෝ මේ නිවස භාවිතයට ගන්නේ නම් ඒ දෝෂයන්ගේ බලපෑම වළක්වා ගැනීම අත්‍යාවශ්‍ය බවද මෙහිදී අවධාරණය කරනු ලැබීමු.

මේ තත්ත්වයනට පිළියම් කිරීම පිළිබඳව අයිතිකරුගේ අවධානය එතරම් යොමු නොවන බවක් පෙනිණි. එයට හේතුව වී ඇත්තේ මේ නිවෙස හැකි ඉක්මනින්ම විකුණා දමා පවත්නා ණය බරෙන් නිදහස්වීම කෙරෙහි තීරණයක් ගෙන තිබීම බව අපට පසුව පැහැදිලි විය. එබැවින් විසඳුම් යෝජනා පිළිබඳ එතරම් විස්තර කිරීමක් අවශ්‍ය නොවීය.

මෙහිදී ඉදිකිරීම සැලසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියා මෙතරම් වියවුලක් ඇති කරනු ලැබුයේ ඇයි දැයි අපට මහත් ප්‍රහේලිකාවක් පැවතිණි. පසුව පැහැදිලි වූයේ වයඹ ගේට්ටුවෙන් ඇතුළුව නිවෙස දෙස බැලීමේදී පවත්නා දැවැන්ත බව හා විස්මිත බව අරමුණූ කොටගෙන මෙකී දිශා ගැන්වීම සිදු කර ඇති බවයි. මෙසේ දිශා පිළිබඳ කිසිදු සැලකීමක් නොකොට සාලය පිහිටි නැඟෙනහිර කොටස මායිම් තාප්පයට ළංකොට තැබීමෙන් උදෑසන ආලෝකය ස්වභාවිකව නිවසට ඇතුළු වන අතර සවස් කාලයේදී මිස නිවසේ ඇතුළත අවශ්‍ය ආලෝකය ඇතුළත්ව නොපවතින බව තහවුරු කොට පැහැදිලි කර දිය හැකියි. මෙය ස්වභාවික ආලෝක සැපයීම මෙන්ම අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්තිය නිවසට ඇතුළුවීම ලෙසද හඳුන්වාදිය හැකි බැවින් නූතන වාස්තු විද්‍යාව යන්තමින් හෝ දන්නා අයකුට පවත්නා පුළුල් වාස්තු වියවුල වටහා ගැනීමට අපහසු නොවේ.

දේපළ විකුණා දැමීමක් දක්වා යන ආකාර වූ වාස්තු අවුල් ළඟා කර ගත් මේ සැලසුම සකස් කිරීම සඳහා පමණක් ලක්ෂ දහයකට වඩා වැය කොට වර්ග අඩි 8000ක් පමණ වූ නිවසක් තනා ගත් අපගේ සේවාලාභියා තවමත් ණය බරින් පීඩා විඳිමින් කටයුතු කරන බව දැකීම කනගාටුදායක තත්ත්වයකි. මෙයින් ඉදිරියටත් ඥානාන්විතව මේ අර්බුදය ජය නොගතහොත් දේපළ අහිමි වීමත් ව්‍යාපාර බිඳ වැටීමත්, ණය බරින් පීඩා විඳීමට සිදුවීමත් කිසිසේත් මඟහැරිය නොහැකි වනු ඇත.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.