නිවෙසේ ඊසානය බලවත් කරන ක්‍රම

ජුනි 21, 2024

ගම්පහ ප්‍රදේශයට ආසන්න විශාල වත්තක් සහිත තනි තට්ටු නිවහනකි. එහි අලංකාරය තව තවත් වැඩි කරන පරිදි තණකොළ මිදුල පුරා වවා හොඳින් නඩත්තු කරන බව පෙනිණි. එසේ හෙයින් නිවෙසේ පවත්නා සරල බවට සුන්දරත්වයක් එක් කර ඇතැයි සිතේ.

ගෘහ මූලිකයා විදෙස්ගතව රැකියාවක යෙදී සිටීම නිසා ඉතා හොඳ ආදායමක් ඇති බව දන්නා අප ඔවුන්ගේ නිවෙසේ වාස්තු පරීක්ෂාවේ යෙදීමේ අරුත කුමක්දැයි සිතාගත නොහැකිව පසුවීමු.

එසේ වුවත් පැවරුණු වගකීම සලකා නිවෙසේ වාස්තු පරීක්ෂාව ආරම්භ කළෙමු. බිත්ති ඔස්සේ ඉතා නිවරැදිව මැන බැලීමෙන් පසු සැලසුම ඇඳ එහි උතුරු දිශාව සලකුණු කර ගන්නා ලදී. එහිදී උතුර පිහිටා ඇත්තේ නිවෙසේ එක් කොනකට ආසන්න වශයෙන් ඉලක්කවයි. (නිවරැදිව කියතොත් නිවසේ මුහුණත් දිශාවත් සමඟ අංශක 60ක් පමණ වන පරිදි වේ.)

ශුභවාදී පෙර නිමිති සමඟින් නිවසට ඇතුළු වූ අපට කෙමෙන් පැහැදිලි වූයේ පෙනෙනා වටපිටාවට වඩා බරපතළ වාස්තු වියවුලක් නිවෙසේ දක්නට ලැබෙන බවයි. එය නිරවුල් කර ගැනීම සඳහා දිශාවන් අට නිවරැදිව ලකුණු කර සොයා බැලීමු.

මෙහිදී අප විසින් විශේෂයෙන්ම සලකා බැලිය යුතු ඊශාන දිශාවෙහි පරාසයත් එයට ඇතුළත් වන ගෘහ අංග පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු.

ඊශානයට නොගැළපෙන හා එසේ පිහිටීමෙන් අනිවාර්යයෙන් බරපතළ දුර්විපාකවලට මුහුණදීමට වන අවස්ථාව වන්නේ ඊශානයට මුළුතැන්ගෙය පිහිටා තිබීමයි. එය වාස්තු පුරුෂයා නම් කල්පිත රූපමය ආකෘතියක් අනුව වටහා ගැනීමේ දී වාස්තු පුරුෂයාගේ හිස මත ගිනි දැල්්වීමයි. එය ඒ අනුව විපත්තිකරයි. නූතන බටහිර විද්‍යාවේ දැනුම මත පුළුල් වන නූතන වාස්තුවලට අනුව ඊශානයෙන් (සාපේක්ෂවශයෙන්) ගලා එන අන්තරීක්ෂ ශක්තිය රත්වීම නිසා විසිරී යෑමට පටන් ගැනීමයි.

ඊශානයට නොයෙදිය යුතු වැදගත් අන් ගෘහ අංගය වන්නේ වැසිකිළියයි. සාමාන්‍ය වැසිකිළි කුටිය හෝ වළ ඊශානයට යෙදීමෙන් පෙරද කී පරිදි වාස්තු පුරුෂයාගේ හිස මත අසූචි පැටවීමක් ලෙස මෙය හඳුන්වාදිය හැකියි. ඊශානයේ පිහිටුවා ඇති විසිකිළියක ඇති අශුභ ශක්තීන් ඊශාන, නිරිත රේඛාව ආසන්නයෙන් සක්‍රීයව ගලා එන අන්තරීක්ෂ ශක්තියට මුසු වීමෙන් අතිශය බරපතළ ව්‍යසන රැසකට මුහුණදීමට නිවැසියනට සිදු වනු ඇත.

ප්‍රධාන නිදන කාමරය ඊශානයෙහි පිහිටනු ලැබීම දෝෂයක් වන අතර බරපතළ දුර්විපාක ගෘහ මූලිකයනට අත්වුවත් අධ්‍යයන සමයේ පසුවන දූ දරුවන් ඉතා යහපත් ප්‍රතිඵල හිමිකර දෙන බව පිළිගෙන තිබේ. මෙය ඉතා නිරවුල්ව විග්‍රහ කර ගැනීමට සාම්ප්‍රදායික වාස්තු සිද්ධාන්තවලට වඩා නූතන වාස්තු මූල ධර්ම ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ අනුව පෙරත් ප්‍රකාශ කළ පරිදි සාපේක්ෂ වශයෙන් ඊශානයේ සිට නිරිත දිශාවට සිදුවන අන්තරීක්ෂ ශක්ති ගලා යෑම නිසා එකී ශක්තිය ආරම්භයේ සිටවන ගබඩා වන්නේ නිරිතෙහි බැවින් අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව වැඩිවනුයේ නිරිත දිශාවේ ය. එබැවින් නිරිත දිශාවෙහි ජීවත් වන්නෙකුගේ ශක්ති ශරීරය වඩා බලවත් වන බවත් ඒ අනුව පුද්ගලයා වඩාත් බලවත් වන බවත් පැහැදිලි කළ හැකියි. එබැවින් පවුලේ බර දරන වගකීම් පැවරී ඇති පුද්ගලයන් නිරිතේ කටයුතු කිරීමෙන් පවුලේ යහපත උදාවේ. අන් භවතුන්ගේ බලවත්කම ඇති වීමෙන්, ඒ අයගේ අත්දැකීම් අඩු බව නිසා ගන්නා අයහපත් තීරණ පොදුවේ පවුලට නරක ප්‍රතිඵල උදාවිය හැකියි.

පැරැණි ඇත් අස් ආදී රිය භාවිතය වෙනුවට එන්ජිමක්, මෝටර්, බැටරි ආදිය සහිත විද්‍යුත් මෙවලම් භාවිතයක් අද වාහනවලට ඇතුළත් වන බව අමුතුවෙන් කිය යුතු නැත. එවැනි විද්‍යුත් හා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර හටගත් ස්ථානවලින් අප පෙර කී අන්තරීක්ෂ ශක්තියට විවිධ බාධා කිරීම් ඇති කරන බව ඉතා පැහැදිලියි. එබැවින් නූතන රථවාහන පිහිටුවන ගරාජයයක් නිවසේ ඊශානයේ තැබීම උචිත නොවේ. එසේ කිරීමෙන් නිවෙසට ළඟාවන අන්තරීක්ෂ ශක්තිය වියවුල්ව යා හැකියි.

පඩි පෙළක් වැනි ගෘහාංග බරැති මෙවලම්ද ඊශානයට යෙදීමෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය ඒවාට උරා ගැනීම නිසා එම ගලා එන ශක්තියෙන් නිවෙසේ අභ්‍යන්තරයට හා අන් ගෘහ අංශවලට ද ලැබෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක් වීම පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුව තිබේ.

මේ දෝෂයන් ඉවත් කොට ගෙන එසේම ඊශානයට සාලය, වන්දනා කරන ස්ථාන, පෝටිකොව ආදී විවෘත දේ පිහිටුවීම අතිශයින්ම ඵලදායි බව පැහැදිලිව කිය හැකියි. ළිඳ වැනි අංගයන් ඊශානයට එකතු කිරීමෙන් ඉහළින් ඉවතට ගලායෑමට නියමිතව පැවැති ශක්තිය පවා පහළ ගෙනැවිත් නිවැසියනට හිමි කර දීම සිදුවේ.

මේ අනුව අපට පැහැදිලි වන්නේ ඊශාන දිශාව හොඳින් වාස්තු සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් සහිතව සකස් කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.