චන්ද්‍රයාගෙන් යෙදෙන ග්‍රහයෝග

ජූලි 21, 2023

සඳු වූ කල්හි ලෞකික ජීවිතය සුඛිත මුදිත කරන ග්‍රහයෙකි. ඒ අනුව ලග්න කේන්දරයක අනෙක් ග්‍රහයන් කොතරම් ප්‍රබල වුවත් සඳු ග්‍රහයා දුර්වල නම් එකී බලවත් ග්‍රහයන්ගේ ශුභ පල කේන්දර හිමියාට ලැබෙන්නේ නැත. මන්ද යත් අන්‍යය ග්‍රහයන්ගෙන් ලග්න කේන්දරයට ලැබෙන බලය බෙදා හරින සඳු දුර්වල වී ඇති හෙයිනි.

 

එහෙයින් ලග්න කේන්දරයක සඳු බලවත් කරන මෙන්ම දුර්වල කරන ග්‍රහයෝග පිළිබඳව දැන සිටීම සාර්ථක පලාපල කථනයක් සඳහා මහෝපකාරී වන්නේ ය. ඒ අනුව පහත දක්වා ඇත්තේ සඳු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන පැන නඟින ශුභ මෙන්ම අශුභ යෝග පිළිබඳව කෙටි විස්තරයකි.

කුලීර යෝගය

සඳු ග්‍රහයා කටක රැසෙහි ස්වක්ෂේත්‍ර බලය ලැබීමෙන් කුලීර යෝගය පැන නඟියි. මෙකී යෝගයෙහි පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන් කර ඇත්තේ කුලීර යෝග ධාරියා මුදු මොළොක් ගතිගුණයෙන් යුත් වහා සිත් උණුවන චංචල ගති ඇති කෘෂිකර්ම සහ ජලය සම්බන්ධ කටයුතුවලින් ධනය ලබන ස්ත්‍රී පක්ෂයෙන් ආධාර උපකාර ලබන ගුණයහපත් පුද්ගලයකු බවයි.

සස යෝගය

චන්ද්‍රයා තම උච්ච රාශිවන වෘෂභ රාශි ගතවීමෙන් සස යෝගය පැන නඟියි. මෙකී යෝගයේ පල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි දක්වා ඇත්තේ මෙකී යෝගයෙන් උපන් ජන්මියා මවට බෙහෙවින්ම ඇලුම් කරන බවත් මවුගෙන් සහ මවු පාර්ශ්වයෙ නෑදෑයින් උදවු උපකාර ලබන බවත්, කර්මාන්ත ආදී කටයුතුවලින් දියුණුවක් ලබන ඔහු ස්ථිරසාර ගතිගුªණයෙන් හෙබි අයෙකු වෙයි.

සුනඵා යෝගය

රවි හැර වෙනත් ග්‍රහයෙක් හෝ ග්‍රහයන් කිහිපදෙනෙක් සඳුගෙන්

2 වැන්නේ යෙදීමෙන් සුනඵා යෝගය පැන නගියි. සුනඵා යෝගයෙහි පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගයෙන් උපන් ජන්මියාට තමා විසින් උපයා ගත් දේපළ වස්තුවක් ඇති බවත්, ඔහු පාලකයෙක් හා සමාන කළ හැකි තත්ත්වයකට පත්වන බවත් තම මනස ගුරු කොට ක්‍රියාවෙහි යෙදෙන මෙකී යෝගධාරියා බුද්ධිමත් ධනවත් නිවහල් පුද්ගලයකු වන බවත් යන පලවිපාකයන් ය.

සුනඵා යෝගයට සම්බන්ධ වන ග්‍රහයා අනුව මෙකී යෝගයෙන් ලැබෙන පලවිපාක විවිධ වේ. ඒ පිළිබඳව යමක් කෙටියෙන් විග්‍රහ කළහොත්,

සුනඵා යෝගයට කුජ ග්‍රහයාගේ සම්බන්ධයක් වේ නම් හෙතෙම නපුරුය. බලවත්ය. බිය නොහඳුනයි වහා කිපෙන කෙනකි. ධනවත් වේ.

සුනඵා යෝගයට බුධ ග්‍රහයා සම්බන්ධ වී ඇත්නම් ඔහු තර්කානුකූල චින්තන ශක්තියකින් හෙබි, කථාවෙහි දක්ෂ, උගත්, අන්‍යයන් කථාවෙන් අවනත කර ගත හැකි බුද්ධිමතෙකි. ගුරු ග්‍රහයා සුනථා යෝගයට සම්බන්ධ වී ඇත්නම්, ඔහු හෝ ඇය සෑම අංශයක් පිළිබඳ දැනුමක් ඇති යහපත් පවුලකට ප්‍රධානියා වන අතර කීර්තිමත් පුද්ගලයකු වන්නේ ය.

සඳුගෙන් දෙවැන්නෙහි සිකුරු වී නම් ඔහු හෝ ඇය කලාකාමී, සංගීතය පි‍්‍රය කරන, කාමුක, සුඛෝපභෝගී, ගේ දොර යාන වාහන ඇති පුරුෂයෙක් නම් රූමත් ස්ත්‍රීන් ඇසුරු කරන, ස්ත්‍රියක් නම් රූමත් කඩවසම් පුරුෂයින් ඇසුරු කරන ධනවත් කෙනකු වන්නේ ය. සුනඵා යෝගයට සෙනසුරු ග්‍රහයාගේ සම්බන්ධයක් වේ නම් සහ සුනඵා යෝගයට සම්බන්ධ සෙනසුරු සඳුගෙන් දෙවැන්නෙහි ස්ථාන බලයෙන් යුතුව සිටියි නම්, හෙතෙම ඉඩකඩම් හිමි පොළොව සම්බන්ධ කටයුතුවලින් ධනය ලබන ශූර වීර පුද්ගලයකු වන්නේ ය.

අනඵා යෝගය

අනඵා යෝගය නිර්මාණය වන්නේ රවි හැර අන් ග්‍රහයෙක් සඳුගෙන් 12 වැන්නෙහි සිටීමෙනි. මෙකී යෝගයේ පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ පත පොතෙහි සඳහන් ව ඇත්තේ මෙකී යෝගධාරියා මනා රූප සම්පත්තියෙන් යුත් කීර්ති නාමයක් හිමි ආචාර සම්පන්න ආත්ම ගරුත්වයෙන් යුතු පුද්ගලයකු වීම සහ මනාව ඇඳ පැලඳීමට සහ ඉඳුරන් පිනවීමට කැමැති නිරුත්සායෙන් උපයාගත් ධනයෙන් යුත් අයකුවීම යන පලවිපාකයන්ය.

මෙකී අනඵා යෝගය සඳුගෙන් 12 වැන්නේ පිහිටා ඇති ග්‍රහයා අනුව පලවිපාක විවිධ වේ. ඒ අනුව සඳුගෙන් 12 වැන්නෙහි කුජ ජන්මියා අහංකාර, රණකාමී කෝප සහගත නිර්භීත පුද්ගලයකු වන්නේ ය. සඳුගෙන් 12 වැන්නෙහි බුධ වේ නම් ඔහු චිත්‍ර කර්මාන්තයට කලාවට හෝ සාහිත්‍යයට හපන්කමක් ඇති උගත් කථාවෙහි දක්ෂ ප්‍රසිද්ධ රාජ්‍ය ගෞරවයක් ලබන කෙනකු වන්නේ ය. සඳුගේ 12 හි ගුරු නම් ඔහු බුද්ධිමත්ය. තමා කරන කියන කටයුතු ගැන උනන්දුවෙන් සිටින හෙතෙම, තම අවශ්‍යතාවන් දැන හැඳින කටයුතු කරන අවංක, රජයෙන් ගෞරවය ලබන ඔහු, ධනය සහ උසස් සමාජ තත්ත්වයක් ලබන පුද්ගලයකු වන්නේ ය. සඳු කෙරෙන් 12 වැන්නෙහි සිකුරු නම් ඔහු යෞවනියන්ගේ සිත් දිනාගන්නා සුඛෝපභෝගි යාන වාහන ගේදොර ඇති සැපවත් ජීවිතයක් ගත කරන පුද්ගලයකු වන්නේ ය.

සඳුගෙන් 12 වැන්නෙහි සෙනසුරු නම් ඔහුගේ වචනය වැඩි දෙනකු පි‍්‍රය කරන නිසා ඔහු පිරිසකට හෝ සමූහයකට නායකයකු වන්නේ ය. එසේම පිනට ලැදි ඔහු ඇතැම් විට අයහපත් ස්ත්‍රියක් සමඟ සම්බන්ධවීමට ඉඩ තිබේ. එහෙම වන්නේ සඳුගෙන් 12 වැන්නේ සිටින සෙනසුරු ස්ථාන බලයෙන් දුර්වල වී ඇත්නම් හෝ පාපීන්ගේ දෘෂ්ටියට ලක්ව ඇත්නම් පමණි.

ධුරාධුර යෝගය

චන්ද්‍රයාගෙන් දෙපස රවි හැර අන්‍ය ග්‍රහයන් යෙදුණු විට ධුරාධුර යෝගය යෙදෙයි. මෙකී යෝගයේ පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගධාරියා ක්‍රමානුකූල දියුණුවක් ලබන සමෘද්ධි සම්පන්න, ධනය, වාහන යන මේවාට හිමිකම් කියන විශ්වාසදායක, සතුටින් කාලය ගත කරන යහපත් අදහස් ආකල්ප ඇති පුද්ගලයකු වන බවයි.

මෙකී ධුරාධුර යෝගයේ දී සඳු ග්‍රහයා දෙපස යෙදෙන ග්‍රහයන් අනුව ප්‍රතිඵල විවිධාකාර වේ. ඒ අනුව

සඳුගෙන් දෙපස කුජ, බුධ නම් සහ ඔහු ස්ථාන බලයෙන් පිරිහී ඇත්නම් හෝ නැති නම් පාප පීඩිත නම්, ජන්මියා කපටියෙකි. පවට බඳුය. අනුන්ගේ දොස් සොයයි, ධනයට කෑදරය, ළඳුන්ගේ පහස සොයයි. මෙකී සඳුගෙන් දෙපස තැන්පත් කුජ, බුධ පාප පීඩිත නොවී ස්ථාන බලයෙන් යුතුව සිටියි නම් හෙතෙම වැඩට දක්ෂය. උගතෙකි, විශේෂයෙන් ගණිතයට දක්ෂ පුද්ගලයකු වේ.

සඳුගෙන් දෙපස කුජ, සිකුරු නම් ඔහු හෝ ඇය රඟපෑමට දක්ෂය. ඒ අනුව ඔහු හෝ ඇයට එකී කුජ, සිකුරු බලවත් දක්ෂ නළුවෙක් හෝ නිළියක් විය හැකිය. එමෙන් එවැන්නන් සමාජශීලිය, කාමුක, විනෝදකාමීය. එහෙයින් සඳු හෝ ලග්නාධිපතිට බලවත් බුධ හෝ ගුරුගේ දෘෂ්ටියක් නොමැති නම් මෙවැන්නෝ නොමඟට යොමු වෙති.

සඳු ග්‍රහයාගේ දෙපසින් ඥානකාර ග්‍රහයන් වන බුධ සහ ගුරු යෙදී ඇත්නම් එවැන්නන් තැන්පත්ය. ආගමානුකූලව ජීවත් වන ඥානවන්ත පුද්ගලයෝ වෙති. එමෙන්ම මෙවැන්නන් බුද්ධිමත් බැවින් කිසියම් විෂයක් පිළිබඳව හසළ දැනුමක් ඇති අයවලුන් වෙති. මෙම පුද්ගලයන්හට අන්‍යයන්ගේ අවධානය යොමු වන බුද්ධිමත් කතා විලාශයක් ඇත.

සඳුගෙන් දෙපස බුධ, සිකුරු යන ග්‍රහයන් බලවත්ව යෙදී ඇත්නම් එවැන්නත් සංගීතයට, කවියට, නැටුමට දක්ෂ සිත්ගන්නා සුලු ප්‍රසන්න පෙනුමකින් යුත් සෞම්‍ය කතා විලාශයක් ඇති පුද්ගලයන් වෙති.

පාප ධුරාධුර යෝගය

සඳුගෙන් දෙපස සහජ පාපීන් වන කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් නීච, සතුරු, අස්ත යනාදී වශයෙන් දුර්වලව යෙදුණු කල පාප ධුරාධුර යෝගය යෙදෙයි. මෙකී පාප ධුරාධුර යෝගය ජන්මියා අයහපතට යොමු කරවන ග්‍රහ යෝගයකි. මෙවැනි පාප ධුරාධුර යෝගයෙන් උපන් ජන්මීන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතය, ගණිකා වෘත්තිය, සූදුව, සොරකම, මිනී මැරීම වැනි පාප ක්‍රියාවන්ට යොමුව ජීවිතය අඳුරු කර ගනිති.

කේමද්‍රැම යෝගය

චන්ද්‍රයා දෙපස කිසිදු ග්‍රහයෙක් නොසිටීමෙන් කේමද්‍රැම යෝගය පැන නගියි. මෙයත් සඳු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන යෙදෙන අශුභ යෝග විශේෂයකි. ඒ අනුව මෙකී යෝගයේ පලවිපාක වශයෙන් පෞරාණික ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන්ව ඇත්තේ එවැන්නන් දිළිඳු වන බවත් අඩුලුහුඬුකම් බාධක මාධ්‍යයේ ඉතා දුකසේ දිවි ගෙවන බවත් උපන් බිමෙන් බැහැරවීමට සිදුවන බවත්, අනුන්ට ගැතිව නැතහොත් බැල මෙහෙවර කරමින් දිවි ගෙවීමට සිදුවන මෙවැන්නන් හට පුත්‍ර සහ ධන සම්පත් හිඟ බවත්, උගතුන්ට, නැණවතුන්ට, සිල්වතුන්ට අපහාස කරන සොර මැරකම්, වංචා සටකපටකම් කරන අපවිත්‍ර අශෝභන ගති සිරිත් ඇති පුද්ගලයන් වන බවය. එය එසේ වුවද ලග්න කේන්දරයේ කේමද්‍රැම යෝගය භංග කරන ග්‍රහ පිහිටීම් වේ නම් කේමද්‍රැම යෝගයේ අශුභපල භංග වී ශුභපල ලැබෙන්නේ ඒ අනුවයි. ලග්න කේන්දරයක කේමද්‍රැම යෝගය භංගවන ක්‍රම 4 කි. ඒවා පිළිවෙළින් මෙසේ ය.

1.චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍ර ස්ථානයක හෝ කේන්ද්‍ර ස්ථාන වැඩි ගණනක ග්‍රහයන් සිටි විට කේමද්‍රැම යෝගය භංග වන්නේ ය.

2. ලග්නයෙන් කේන්ද්‍රස්ථාන එකක හෝ වැඩි ගණනක ග්‍රහයින් තැන්පත්ව ඇති විට (4 වැන්නෙහි අනිවාර්යයෙන්ම ග්‍රහයෙක් සිටිය යුතුය) කේමද්‍රැම යෝගය භංග වන්නේ ය.

3.නවාංශක කේන්දරයේ චන්ද්‍රයා පිහිටි නවාංශකය රාශි කේන්දරයේ යම් රාශියකට සම්බන්ධ වන්නේ ද එම රාශියෙන් 2 සහ 12 වැනි භාවවල කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ග්‍රහයන්ගෙන් යම් ග්‍රහයන් දෙදෙනෙක් යෙදීමෙන් ධුරා ධුර යෝගය යෙදෙන බැවින් ලග්න කේන්දරයට අනුව සඳුගෙන් ධුර ධුරා යෝගයක් යෙදී නොමැති නමුත් විග්‍රහ කළ පරිදි චන්ද්‍රයා පිහිටි නවාංශකය කේන්ද්‍රකොට ගෙන රාශි කේන්දරයේ ධුරා ධුර යෝගයක් යෙදී ඇත්නම් ලග්න කේන්දරයේ යෙදුණු කේමද්‍රැම යෝගය භංග වී ජන්මියාට ශුභ පල උදා කරන්නේ ය.

4. ඒ හැර උච්ච, ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ යනාදී බලයක් යුත් ග්‍රහයන් කිහිප දෙනකුගේ දෘෂ්ටියට සඳු ග්‍රහයා ලක් වීමෙන් කේමද්‍රැම යෝගය භංග වන බවට මතයක් ද ඇත.

චන්ද්‍ර අධි යෝගය

චන්ද්‍රයා කෙරෙන් 6, 7, 8 යන භාවවල බුධ, ගුරු, ශුක්‍ර යන නෛසර්ගික ශුභ ග්‍රහයන් යෙදීමෙන් චන්ද්‍රාධියෝගය පැන නගියි. එමෙන්ම සඳු ග්‍රහයාගෙන් 6, 7, 8 යන රාශිවලින් රාශි දෙකක යටකී නෛසර්ගික ශුභ ග්‍රහයන්ගෙන් ග්‍රහයන් දෙදෙනෙක් යෙදීමෙන්ද අර්ධ චන්ද්‍රාධි යෝගයක් පැන නගින අතර, එම යෝග පූර්ණ චන්ද්‍රාධි යෝගය තරම් බලවත් නොවුවත් සැලකිය යුතු ශුභ පලයක් කේන්ර හිමියාට ලබා දෙන හෙයින් පලාපල කථනයෙහි අර්ධ චන්ද්‍රාධි යෝගය ගැන ද ඡ්‍යොතිෂඥයින් තම අවධානය යොමු කළ යුතු ය. මන්දයත් අර්ධ චන්ද්‍රාධි යෝගයද සාර්ථක පලාපල කථනයක් සඳහා මහෝපකාරීවන ග්‍රහයෝග විශේෂයක් වන නිසාය. එමෙන් මෙකී යෝගයෙන් උසස් ශුභ පලයක් භුක්ති විඳීමට නම් කොන්දේසි කිහිපයක් ඉටුවිය යුතුය. එම කොන්දේසි නම්, රවි ග්‍රහයා සඳුගෙන් 7 වැන්නේ නොවීම සහ යට සඳහන් කළ නෛසර්ගික ශුභ ග්‍රහයන් පිළිවෙළින් මෙසේ පිහිටිය යුතුªය. එනම් සඳුගෙන් හයෙහි බුධ සිටිය යුතු අතර, සඳුගෙන් 7 හි ගුරුද සඳුගෙන් 8 වැන්නෙහි සිකුරුද සිටිය යුතුය. තවද මෙකී චන්ද්‍රාධි යෝගයට සම්බන්ධ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් අස්ත, නීච, සතුරු යනාදි වශයෙන් දුර්වලව නොසිටිය යුතුය. ඒ අනුව යටකී කොන්දේසිවලින් පූර්ණව ශුභව පිහිටියා වූ චන්ද්‍රාධියෝගයෙහි පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවල සඳහන් වන්නේ එකී යෝගයෙන් උපන් ජන්මියා නීරෝගි බවත් අතුරු අන්තරා අඩුව, දිගු කල් ජීවත් වන බවත් උගත් අයකු වන බවත් ආඥාදායකයකු, අධිපතියකු, අමාත්‍යවරයකු හෝ පළාතකට පාලකයෙක් වන බව හාි සතුරන් පරාජයට පමුණුවන ඔහු සමෘද්ධිමත් පී‍්‍රතිමත් දිවියක් ගත කරන බවත්ය.

පාප චන්ද්‍රාධි යෝගය

සඳු ග්‍රහයා කෙරෙන් 6, 7, 8 යන භාවවල නෛසර්ගික පාපීන් වන රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩිදෙනෙක් පිහිටීමෙන් පාප චන්ද්‍රාධියෝගය පැන නඟියි. මෙය අශුභ පල දෙන ග්‍රහයෝග විශේෂයකි. මෙකී චන්ද්‍රාධි යෝගයෙන් උපන් ජන්මීන් යහපතට වඩා අයහපතින් ප්‍රසිද්ධිය ලබන්නෝ වෙති. ඒ අනුව පතල නායකයන්, ත්‍රස්තවාදී නායකයන් නම ගිය අපරාධකාරයන්, නීති විරෝධි කටයුතුවලින් ධනය උපදවන ව්‍යාපාරිකයින් මෙකී පාප චන්ද්‍රාධි යෝගයෙන් ජන්ම ලාභය ලබා ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.