හෙට සිදුවන ගුරු මාරුව රටට යහපත්ද?

අප්‍රේල් 21, 2023

 

2023 අපේ‍්‍රල් 22 ශනි දින අලුයම 5.13ට ගුරු හෙවත් බ්‍රහස්පති මේෂ රාශියට පිවිසෙයි. අස්විද, බෙරණ සහ කැති නැකැතේ පළමු පාදය පසු කරමින් 2024 මැයි 01 දක්වා මේෂ රාශියේ ගමන් කරයි.

 

ගුරු සූර්යයාට පමණක් කුඩා වන අතර, නැකැත් තරුවලට පිටින් ගමන් කරයි. රශ්මිය පැවැත්වීමේදී ද ඉරුට පමණක් දෙවැනි වේ. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වේ. ගුරු උසට වඩා මහත ඇති ග්‍රහයෙකි. එනිසා ගුරු ලග්නයේ සිටින විට උපදින අය බොහෝ මහත් වේ. හැම දෙයක්ම පතුරවන විශාල කරවන ග්‍රහයා ගුරු වෙයි. පුරාතනයේ සිටම ගුරු ග්‍රහයා “ගුරු” නමින් හඳුන්වයි. මිනිසාගේ දියුණුවට උසස් වීමට සියලු යහපත් දේට ගුරු බලවත් වෙයි. ගුරු කටක රාශියේ සිටියදී උපන් අය ඉහළම දියුණු තත්ත්වයට පත් කරයි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කටක ලග්නයේ ගුරුය.

අනුකම්පාව, සෞම්‍ය ගතිය මෙන්ම ඥානය, විශ්වාසවන්ත බව ගුරුගෙන් ලැබෙන දේවල්ය. නීති ගරුක බව, උසස් ඉගෙනීම් වාසනාව, නීරෝගිකම, වැඩිහිටියන්ට ගරු කිරීම, ධනය, ප්‍රසිද්ධිය ලැබීමද ගුරු නිසා ඇති වෙයි. පුත්‍රකාරක මෙන්ම ධනකාරකද වෙයි. ආගමික ස්ථාන විද්‍යා ස්ථාන භාණ්ඩාරවලට අධිපති වෙයි. ගුරු දෙවැන්නේ සිටි විට ඥාන යෝග උදා කරයි. චන්ද්‍රයාට දොළහේ බුධද චන්ද්‍රයාට දෙවැන්නේ ගුරුද යෙදුන විට ඥාන යෝග වේ. බුධ විසින් ගුරු දැකීමද ඥාන යෝගයකි.

ශරීරයේ මහත්වන ගතියට කැමැත්ත මස්පිඬු පෙණහැල්ලේ ජලය රැඳීම රක්ත ධාවනයට ගුරු අධිපති වෙයි. ගුරු නරක් වීමෙන් ඕනෑවට වඩා මහත්වීම, ලේ විෂවීම, මොලේ තදවීම, පෙණහලු රෝග, විදුරුමස් දියවීම, පීනස, සෙංගමාලය, දියවැඩියාව, සන්නිපාත උණ ආදිය ඇතිවේ.

අශ්වයන්ට, ගොනුන්ට, ඇතුන්ට, මුවන්ට සහ ගෘහවාසී සතුන්ටද අධිපති වේ. මොණර ආදි ලස්සන කුරුල්ලන්ටද අධිපති වන අතර, කොස් වැනි අරටුව ඇති පලදරන වටිනා ගස් වලටද අධිපති වේ. ධනු-මීන රාශි ගුරුට අයත්වන අතර, කටක රාශියේ දී උච්ච වේ. මකර රාශියේදී නීච වේ. කටක, ධනු, මීන රාශිවල කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව සිටි විට හංස යෝගය නම් පංච මහා පුරුෂ යෝගය උදා කරයි. කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණ නොවී, ගුරු, කටක රාශියේ සිටි විට ජය සිඳු යෝගයද ධනු වේදී ගුරුහංස යෝගයද මීනයේදී භූමිඵල යෝගයද උදා කරයි. ගුරු මාරුව රටට යහපත් වේ.

යහපත් ලෙස වැසි පල ලැබේ. ජනතාවට යහපත සෙත ශාන්තිය උදාවේ.ආහාරපාන සුලභ වේ.

ධනු – මීන ලග්න දෙකට ඉතාමත්ම සුබයි. ජයග්‍රහණද අත්වේ. මේෂ, මිථුන, මකරවලටද සුබයි. ඉතිරි ලග්නවලට සමපලදායක වේ.

ගුරු මාරුව ලග්නවලට බලපාන අයුරු

මේෂ

 මේෂයේ නවවැන්න සහ දොළොස්වැන්න අධිපති ගුරු ලග්නයට පැමිණීම සුබයි. දිග් බලයෙන් යුතුව ලග්නයේ ගමන් කරන ගුරු සියලු දෝෂ භංග කර යහපත උදාකරයි. භාග්‍යස්ථානය අධිපති ගුරු උසස් අධ්‍යාපනය, රැකියාව, ධනය, බලය ආදී සිය ජීවිතයේ වැදගත් කරුණු බොහොමයක් සාර්ථක කරන බව පෙන්වයි. තම සිත තුළද අනුකම්පාව, දයාව, කරුණාව යහපත් සිතුවිලි ඇති කරයි. හිතවත්කම් වර්ධනය කරගෙන අන් අයගෙන් උදව් උපකාරද ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇති කරයි. ලෙඩ රෝග අනතුරු පීඩාවලින් ආරක්ෂා වෙයි. ඉතා හොඳින් නිවැරැදි ලෙස කටයුතු කළ හැක. පරාර්ථකාමී ගති නිසා හිමිහිට දියුණුව ඇති වේ. දියුණුවට අවහිර කරන අයද ඇතිවේ. සෙම් අමාරු හිසේ අමාරු ඇති කරයි. නිෂ්ඵල ගමන් බිමන්ද යෙදිය හැක. ණය වීම සහ නඩු හබ ඇති කර ගැනීම සුදුසු නොවේ. දියුණුවට අවහිරකම් කරන අයගෙන් ප්‍රවේශම් විය යුතුය. බෝධි පූජා පැවැත්වීම සුබයි.

වෘෂභ

වෘෂභ ලග්නයේ අට සහ එකොළොස් වැනි අධිපති ගුරු දොළොස්වැන්නට පැමිණෙයි. අට අධිපතියා, දොළහේ යෙදීමෙන් ‘සරලා’ යෝගයද යෙදෙයි. සතුරු කරදර මර්දනය කරමින් කටයුතු කළ හැක. ආගමික මෙන්ම ආධ්‍යාත්මික අංශවලටද සිත යොමු විය හැක. සුළු දේවල් ලොකුවට සිතීම නිසා හිතට කරදර ඇතිවේ. පවුලේ අය සමඟ සම්බන්ධය අඩුවීමට ඉඩ තිබේ. වියදම් වැඩිවේ. ආර්ථික අපහසුතා ඇතිවීමට ඉඩ තිබේ. ගමන්බිමන් වලින් නඩුහබවලින් වැළකී සිටීම යහපත් වේ. සහකරු හෝ සහකාරියට රෝග පීඩා යෙදිය හැක. බෝධි පූජා පවත්වා ශක්‍ර දෙවියන්ට පින් දීම සුබය.

 

මිථුන

 

මිථුන ලග්නයේ හත්වැන්න සහ දසවැන්න හෙවත් කර්මස්ථානය හිමි ගුරු අයස්ථානයට පැමිණෙයි. ධනය, බලය මෙන්ම උරුම හිමිකම්ද ලැබේ. අවිවාහක අයට මංගල යෝගද උදාවේ. මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැක. පවුලේ අය සමඟ කරන කටයුතුවලින් දියුණුව ඇති කරයි. දේපළ උරුම හිමිකම්ද ලැබේ. කල්‍යාණ මිත්‍රයන්ගේ දියුණුව යහපත් ලෙස ආධාර උපකාර ලැබේ. නිදහස් ව්‍යාපාර කටයුතුද සාර්ථක ලෙස දියුණු කර ගත හැක. මංගල කටයුතු වලදී දැනුමින්, බුද්ධියෙන් මෙන්ම ධනයෙන් යුතු වැදගත් සහකාරියක් ලැබිය හැක.

 

කටක

 

ලග්නයේ හයවැන්න සහ නවවැන්න අධිපති ගුරු දසවැන්නට පැමිණෙයි. එතරම් අසුබ නැත. කරන කියන රැකියා කටයුතුවලට සුබපල ඇති කරයි. උසස් අය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. මංගල කටයුතු උදාවේ. රැකියාවලට සතුරු කරදරවල බලපෑම්ද ඇති වුවත් ඒවා මර්දනය කර ගැනීමට ශක්තිය හා බලය පවතී. ගේ දොර දියුණුව ඇතිවේ. ප්‍රධානත්වයක් ලැබීමටද වාසනාව උදාවන බව පෙනී යයි. දොස් නොඅසන ලෙස කටයුතු කිරීමට හැකියාව උදාවේ. ප්‍රසිද්ධියද ඇතිවේ.

 

සිංහ

 

සිංහ ලග්නයේ පස්වැන්න සහ අටවැන්න හිමි ගුරු නව වැන්නට පැමිණෙයි. බාධා මධ්‍යයේ සිය කටයුතු සාර්ථක කර ගැනීමට සිදුවිය හැක. උරුම හිමිකම් ලැබීමේ භාග්‍ය උදාවේ. ඉගෙනීම් කටයුතුවල නිරත අය උනන්දුවෙන් කටයුතු කළ යුතුය. රැවටීම් මුලාවීම්වලින් වැළකිය යුතුය. බලාපොරොත්තු නොවූ ලෙස යම් යම් අවස්ථාවලදී නොසිතූ ලෙස තමා කරන කියන කටයුතු සාර්ථක වීමටද ඉඩ තිබේ. වැඩිහිටියන් සමඟ තිබෙන සම්බන්ධය අඩු වීමටද ඉඩ තිබේ.

 

කන්‍යා

 

කන්‍යා ලග්නයේ හතරවැන්න සහ හත්වැන්න අධිපති ගුරු අටවැන්නට පැමිණෙයි. කේන්ද්‍රයක තුන හය, අට ගුරුට අසුබ ස්ථාන වෙයි. ඒ අනුව කරදර බාධා අසහන ඇති කරයි. ඉඩකඩම් දේපළවල පළ ප්‍රයෝජන , ලැබීම් අඩුවීමට ඉඩ තිබේ. රහස්‍ය කටයුතුවලට දක්ෂතා ඇතිවේ. වකුගඩු ආශි‍්‍රත උෂ්ණ රෝග පීඩා යෙදීමට ඉඩ තිබේ. ශරීර සනීපය දුර්වල විය හැකි අතර, මානසික පීඩාද යෙදිය හැක. සීමාව ඉක්මවා හොඳ හෝ නරක දේවල්වලට ඇබ්බැහි වීමටද ඉඩ තිබේ. හවුලේ කරන කටයුතුවලින් පාඩු ඇතිවීමටද ඉඩ තිබේ. බෝධි පූජා තුනක් පවත්වන්න.

 

තුලා

 

තුලා ලග්නයේ තුන්වැන්න සහ හයවැන්න අධිපති ගුරු හත්වැන්නට පැමිණෙයි. තුලාවට ගුරු එතරම් සුබ ග්‍රහයෙක් නොවේ. මධ්‍යස්ථ ප්‍රතිඵල ලැබේ. වගකීම් සහගතව කටයුතු කිරීමට මෙන්ම වගකීම් භාර ගැනීමටද යහපත් වේ. එම කටයුතු යහපත් ලෙස කළ හැක. විශ්වාසවන්තව කටයුතු කළ හැක. හිතවත් අයගෙන් ඇසුරු කරන අයගෙන් උදව් උපකාර ලැබිය හැකි අතර, හවුලේ කරන කටයුතුවලින්ද සෑහෙන දුරට ප්‍රතිඵල ලැබිය හැකි වේ. සහකරුට හෝ සහකාරියට රෝග පීඩා ඇති විය හැක. විරුද්ධවාදිකම්වලට මුහුණ පෑමට සිදු විය හැක. සහෝදරයන් සමඟ කිට්ටු ආශ්‍රය අඩු විය හැක. මුත්‍රා ආශි‍්‍රත හෝ උදරගත රෝග පීඩා යෙදිය හැක.

 

වෘශ්චික

 

වෘශ්චික රාශියේ දෙවැන්න සහ පස්වැන්න අධිපති ගුරු හයවැන්නට පැමිණෙයි. හයවැන්න සතුරු සහ රෝගස්ථානයයි. එතරම් සුබ නැත. උදරගත උෂ්ණරෝග පීඩා පිත් අමාරු, ඇස් වල අමාරු ඇතිවීමට ඉඩ තිබේ. වියදම වැඩි වීමටද සතුරු කරදර ඇතිවීමටද ඉඩ තිබේ. කතාව නිසා සතුරු කරදර යෙදීමටද හැකියාව පවතී. දරුවන් සතුරු වීමටද ඉඩ තිබේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා ඇති විය හැක. උපතේදී කුජ බලවත්ව සිටී නම් අපල අඩුවේ. සතුරන් නිසා ධනය වියදම් වීමටත් ධනය ලැබීමටත් ඉඩ තිබේ.

 

ධනු

 

ධනු ලග්නයේ ලග්නාධිපති සහ හතරවැන්න අධිපති ගුරුය. එම ගුරු පස්වැන්නට පැමිණෙයි. එය සුබයි. ගුරු ත්‍රිකෝණගතය. ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇතිවේ. දැනුම, බුද්ධිය යොදවා කරන කටයුතු ඉතාමත් සාර්ථක වේ.

ගමන් බිමන්ද යෙදේ. ඥාතින් සමඟ සුහදව කටයුතු කළ හැක. වෙළඳ ආදී ව්‍යාපාර කටයුතුවලටද සුබයි. හිතට සතුට, සහනය ලැබේ. සතුරු කරදර රෝග පීඩා අඩුය. ඉගෙනීම් වලටද ඉතා යහපත්ය. ඉතිහාස අංශයෙන් දැනුම ලබාගැනීමටද කැමැත්ත ඇතිවේ.

 

මකර

 

මකර ලග්නයේ දොළොස්වැන්න සහ තුන්වැන්න අධිපති ගුරු හතර වැන්නට පැමිණෙයි. හොඳ අත්ගුණයකින් යුතුව වැඩකටයුතු ආරම්භ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේ. පදිංචි ස්ථානය පලදෙන අතර, අලංකාර දියුණුවද ඇති කරයි. ඉගෙනීමේ නියුතු අයටද ඉතා සුබයි. ආගමික අංශවලටද ලැදිවේ. ඉඩකඩම් වගා කටයුතු වැවිලි අංශවල රැකියා ආදියද දියුණුවට පත්වේ. ගමන් බිමන් නිසා විවේකය අඩුවීමට ඉඩ තිබේ. දේපළ පිළිබඳ නඩුහබ ඇතිවීමටද ඉඩ තිබේ.

 

කුම්භ

 

කුම්භ ලග්නයේ දෙවැන්න සහ එකොළොස්වැන්න අධිපති ගුරු තුන්වැන්නට පැමිණෙයි. තුන්වැන්න ගුරුට අසුබම ස්ථානයක් වෙයි. ශරීර සනීපයට බාධා ඇති කරයි. උෂ්ණ රෝග පීඩා නිසා කරදර බාධා ඇතිවිය හැක. ධනය මෙන්ම උරුම හිමිකම් ලැබීමට ඉඩ ඇතත් ඒවායින් ඵල ප්‍රයෝජන ලැබීම අසීරු තත්වයට පත්වීමට ඉඩ තිබේ. මසුරුකම්ද ඇතිවේ. අනතුරු පීඩා බහුලයි. ක්‍රමානුකූලව කටයුතු කර අවහිරයකින් තොරව ආදායම් ලැබීමටද මං පෙත් විවර වෙයි. සමාජයටද හිතවත් වේ. කන්වල අමාරු ඇතිවීමටද ඉඩ තිබේ.

 

මීන

 

ලග්නාධිපති සහ කර්මස්ථානය වන දසවැනි අධිපති ගුරු දෙවැන්නට පැමිණෙයි. දෙවැන්න ධනස්ථානයයි. කර්මස්ථාන අධිපති ධනස්ථානගතවීම ඉතා සුබයි. කරන හැම දෙයකින්ම සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. පලදීම යහපත්ය. රැකියා කටයුතු දියුණුූවේ. රැකියා මාරු වුවත් වෙනස් වුවත් එය දියුණුවට ඉතා සුබදායක වේ. සාධාරණ ලෙස කටයුතු කරයි. බිය සැක නැතිව කටයුතු කළ හැක. වුවමනා වූවිට කෙසේ හෝ මුදල් ලැබේ. උගුරේ සෙම් දෝෂ පීඩා යෙදිය හැක.

 

 

කලාභූෂණ ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

සෝමපාල විජේසූරිය

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.