යුග දිවියේ යහපැවැත්මට මහෝපකාරී වන 55 වැනි නවාංශකාධිපති

පෙබරවාරි 10, 2023

 

වර්තමාන සමාජයේ බොහෝ දෙනා කලට වේලාවට විවාහ වුවත් එම යුග ජීවිත ඉතා කෙටි කලකින් කෙළවර වෙති. එයට හේතුව නම් ලග්න කේන්දරයේ ලග්න නවාංශකාධිපති සහ 55 වැනි නවාංශකාධිපති දුර්වල වීමයි. ඒ අනුව ලග්න කේන්දරයක 7 අධිපතින් 7 වැන්නාධිපති තැන්පත් නවාංශකාධිපතීන් බලවත්ව ඇත්නම් සහ විවාහ කාරක සිකුරුත් යහපත්ව පිහිටා ඇත්නම් කලට වේලාවට යහපත් විවාහයක් සිදු වන නමුත් ලග්න නවාංශකාධිපති සහ 55 වැනි නවාංශකාධිපති දුර්වල නම් එම විවාහය කෙටි කලකින් කෙළවර වන්නේ ය.

ලග්න කේන්දරයක නවාංශකාධිපති කවුරුන් දැයි යන්න ඡ්‍යෝතිෂ්‍ය පිළිබඳ සුළු දැනුමක් ඇති අය දන්නා නමුත් ලග්න කේන්දරයක 55 වැනි නවාංශකාධිපතියා කවුරුන් දැයි යන්න බොහෝ දෙනා නොදනිති. ඒ අනුව ලග්න කේන්දරයක 55 වැනි නවාංශකාධිපතියා සොයා ගන්නේ මෙසේ ය. උපන් ලග්නයට හිමි වන නවාංශක අංකයට සමාන නවාංශක ප්‍රමාණයක් 7 වැන්න කේන්ද්‍ර කොට ගැන ගැනීමෙන් 55 වැනි නවාංශකය ලැබෙන්නේ ය. මෙය තවදුරටත් උදාහරණයක් මඟින් පැහැදිලි කළහොත් කෙනෙක් මේෂ ලග්නයෙන් වෘශ්චික නවාංශකයෙන් උපත ලබා ඇතැයි සිතමු.

එවිට ඔහු උපත ලබා ඇත්තේ මේෂ රාශියට හිමි නවාංශක 9 යෙන් 8 වැන්නට අයත් වෘශ්චික නවාංශකයෙනි. ඒ අනුව ඔහුගේ උපන් ලග්නයට අනුව 55 වැනි නවාංශකාධිපති වන්නේ 7 වැන්න වූ තුලා රාශියේ සිටි නවාංශක 8 ගැන්න විට හමුවන වෘෂභ නවාංශකයේ අධිපති සිකුරු ය. ඒ අනුව ලග්න කේන්දරයක මෙලෙස සොයා ගනු ලබන 55 වැනි නවාංශකාධිපතියා ලග්න කේන්දරයේ 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්ථානයක නීච, අස්ත, සතුරු නොවී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පෝෂිතව සිටියද එය විවාහ ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම ස්ථිරසාර පැවැත්මට හේතු භූතවන කරුණක් වන්නේ ය. ඇතැම් විට මෙකී 55 වැනි නවාංශකාධිපති 6, 8, 12 යන දුෂ්ටභාව ගතව සිටිය හැකි ය. එසේ දුෂ්ට භාව ගත 55 වැනි නවාංශකාධිපති සිටින්නේ විපරිත රාජයෝග බලයකින් යුතුව ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් පෝෂිතව නම් එය අනපේක්ෂිත ලෙස විවාහයක් සිදු වීමටත් එය සාර්ථක වීමටත් දිගුකල් පැවතීමටත් හේතු වන්නේ ය.

මෙහි සඳහන් නොකළ 2, 3, 11 යන භාවයක මෙකී 55 වැනි නවාංශකාධිපති බලවත්ව මහා පරිවර්තන යෝග, මිශ්‍ර පරිවර්තන යෝග හෝ එකී භාවයක මිත්‍ර, ස්වක්ෂේත්‍ර, මුල, ත්‍රිකෝණ, උච්ච යනාදී ස්ථාන බලයකින් පිහිටා ඇත්නම් එය ධනබලය සහිත ඥාති සම්බන්ධතාවක් ඇති සාර්ථක, ස්ථිරසාර විවාහයක් වීමට හේතු භූතවන කරුණක් වන්නේ ය.

මීට පරිබාහිරව එනම් මෙහි 55 වැනි නවාංශකාධිපති යටකී භාවයක නීච, සතුරු, අස්ත, හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇත්නම් එය විවාහය කඩාකප්පල් වීමට හේතු භූත වන බලයක් වන්නේ ය. දැන් අපි මෙම 55 වැනි නවාංශකාධිපති දුර්වලවීම හේතු කොටගෙන විවාහය අසාර්ථක වූ ජන්මියකුගේ කේන්දර සටහනක් පරීක්ෂාකර බලමු.

උපත 1967 ජුලි 11 වැනි බදාදා අලුයම 12.40ට කොළඹදී වෘෂභ නවාංශකයෙන් මා නැකතේ 2 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් කේතු මහ දශාව ඉදිරියට වර්ෂ 00 මාස 11 යි දින 17 ක් ශේෂව තිබුණි.

ඉහත මේෂ ලග්න හිමියාගේ විවාහය දරුවෙක් ලැබීමෙන් පසු අවුරුදු කිහිපයක් ඇතුළත දී බිඳ වැටුණි. ඒ පිළිබඳව ඉහත කේන්දරයට අනුව කරුණු විමසා බලන කළ 55 වැනි නවාංශකාධිපති අඟහරු තම මූඪ රාශිය වන තුලාවේ සතුරු රාහු සහ කේතුගෙන් පීඩා වීමත්, එමෙන්ම 5 වැන්නේ සතුරු සිකුරු සමඟ යෝග වූ සඳුගේ පූර්ණ දෘෂ්ටියෙන්ද මෙකී 55 වැනි නවාංශකාධිපති පීඩා වීමද එම 55 වැනි නවාංශකාධිපති තවදුරටත් ලග්න කේන්දරයට අනුව 22 වැනි දෙර්කාණාධිපති වීමෙන් 55 වැනි නවාංශකාධිපති කුජ දැඩි ලෙස පාප පීඩාවීම ඉහත කේන්දර හිමියාගේ යුග ජීවිතය අසාර්ථක වීමට හේතු වනු ඇත. උච්ච යෝග කාරක ගුරුගේ කේන්ද්‍රීය දෘෂ්ටිය 55 වැනි නවාංශකාධිපතිට ලැබුණද ගුරු නවාංශකගත කේන්දරයේ පාප පීඩිත 22 වැනි දෙර්කාණාධිපති කුජ කුජගේ නවාංශකයක පිහිටා ඇති හෙයින් ගුරු පාප පීඩිතය. එහෙයින් ගුරුට 55 වැනි නවාංශකාධිපතිගේ පාප බලය මර්දනය කළ නොහැකි ය. ඒ සමඟ ලග්න නවාංශකාධිපති සිකුරු 5 වැන්නේ සතුරුව පිහිටා ඇත. ඒ අනුව එකී දුර්වල ග්‍රහ පිහිටීම් දෙක යුග ජීවිතයේ ස්ථිර පැවැත්මට බාධා ඇති කළ හෙයින් ඉහත මේෂ ලග්න හිමියාගේ යුග ජීවිතය කෙටි කලක් ඇතුළත දී බිඳ වැටුණි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.