සිකුරු කුම්භ රාශි ගත වෙයි

කුජ දීප්ත යෝග (අඟහරු) උදාවෙන් ලග්න 12ටම සුබ පල
ජනවාරි 27, 2023

පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන - කන්‍යා- ධනු- මීන- රාශි හතරට ගුරු හංස යෝග බල උදාවද අඟහරු දීප්ත යෝගය ද රාහු-කේතු අර්ධ කාල සර්ප යෝගය ද ගුරු-චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය ද සුනාථා-අනථා- ධුරධුරා- වොෂීවොෂී- උභයචාරී ප්‍රබල යෝග උදාවද ආශ්‍රිතව අසිරිමත් සිකුරු තාරකාවිය කුම්භයේ මිණි කිරුළ පළඳනු ලැබීය.

කුම්භ රාශිය තුලා නවාංශකය දෙනට 3 පාදය මකර රවි අටවැනි භාගය නවම් මහේ පුර පෑලවිය පෙරදැරිව ජනවාරි 22 වැනි රිවිදින පස්වරු 03.55ට විශ්වතාරකා මන්දාකිණියෙහි අගරාජිණිය වූ සිකුරු තාරකාවිිය සෙනසුරු හිමි කුම්භ රාශිගත සංක්‍රමණයක් සිද්ධ වූයේය.

නැඟෙනහිර සිතිජයෙහි බුධ හිමි මිථුන රාශි උදාවෙහි කේතු සතුරුව පස්වැන්නෙහි ද ජන ජීවිතය ආශ්‍රිත හත්වැන්නෙහි ඥානකාරක බුධ ග්‍රහයා නිවෘතව සමව ද රවි සතුරුව චන්ද්‍රයා සමව ප්ලූටෝ සතුරුව අටවැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද සෙනසුරු ස්වකේෂ්ත්‍රව මූලත්‍රිකෝණව සිකුරු මිත්‍රශීලීව නැප්චුන් සමව නමවැන්න වූ භාග්‍යස්ථානගතව ද ස්වක්ෂේ්ත්‍ර බ්‍රහස්පති දහ වැන්න වූ කර්මස්ථාන ගතව මිථුන- කන්‍යා- ධනු- මීන රාශි සතරට සුබයෝගව හංස යෝග බලයෙන් ද රාහු සතුරුව යුරේනස් වක්‍රව සමව අයස්ථානය වූ එකොළොස්වැන්නෙහිද නිවෘත කුජ සමව 12වැන්නෙහි දීප්ත යෝග බලය රාශි දොළහටම උදා කරමින් සෞරග්‍රහ මණ්ඩලය අඟහරු හිමි මේෂ විශ්ව කේන්ද්‍ර රාශි සටහනට මෙන්ම රවි හිමි සිංහ ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍ර රාශි සටහනට ද ශුභවාදී පැතිකඩක් නිර්මාණය කරමින් මෙම ග්‍රහ සංක්‍රාණ්තිය සිද්ධ වන්නේය.

මේ අනුව කලාකාමී ක්ෂේත්‍රයන්හි ප්‍රශස්ත සාධනීය මුහුණුවරක් දිස්වනු ඇත. කලා-සංස්කෘතික දියුණුවේ නව ප්‍රගමනයක් ශ්‍රී ලංකාවේ මෙන්ම විශ්වය පුරාවට සිද්ධ වන්නේය. ප්‍රවීණ නළු නිළියන්ට මෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන්ට රාජ්‍ය මට්ටමින් ගෞරව සම්මාන ඇතුළුව දිරිදීමනා සැලැසෙන පැතිකඩක් ද නිර්මාණය වන්නේය. මෙය ගම්මාන, නගර මට්ටමින් ක්‍රියාත්මක විය හැක.

පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රයේද දියුණුවක් ඇති වනු ඇත. ඒ සඳහා මෙම ව්‍යාපාරයන්ට ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලැබීමට ඉඩ ඇත.

ජලවිදුලි අර්බුදය කඩින්කඩ මතුවිය හැක. දේශීය රාජ්‍ය යාන්ත්‍රණය සුබවාදී යෝධ සංවර්ධන රාමුවකට ග්‍රහණය වෙයි.

අවහිර බාධක දුෂ්කරතා මැඩගනිමින් තේ පොල් රබර් ආදී දේශීය ආර්ථික නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමක් සිදුවෙයි. මේ සඳහා දෙස් විදෙස් අනුග්‍රහය හිමිවෙයි. රාජ්‍ය පාලන පක්ෂය ද ජනතාවාදී ව ක්‍රියා කරනු ලබන බව පෙනේ.

 

මේෂ

ආකූල ව්‍යාකූල භාවය මැඩ ගනිමින් රැකියා ආදායම් මාර්ග සාර්ථක කරගනු ලබයි. ලැබීම් අංශය සුබවාදීවන අතර බොහෝ දුරට තම සිතැඟියාවන් සාර්ථකව ඉටුකර ගැනීමට අවස්ථාව උදාවෙයි.

වෘෂභ

වාසනාව ගලා එනු ලබන සුවිශේෂී ග්‍රහ මාරුවකි. රැකියා ආදායම් මාර්ග සාර්ථක වෙයි. සුබවාදී කාලයකි. සිතන පතන දේ ඉටුවේ. ඉදිරිය සාර්ථක වේ.

මිථුන

පෙර පින් පලදෙන විජයග්‍රාහී ග්‍රහ මාරුවකි. සමාරම්භකව පැවති වැඩ කටයුතු විජයග්‍රහණයකින් අවසන් කරගත හැක. ධනය හා අනෙකුත් ලැබීම් අතින් යහපත් වේ.

කටක

තමාගේ කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ගැනීමෙන් පවුලේ සමගිය සමාදානය වැඩිදියුණු කරගත හැක. යටපත්ව පැවති කරුණුකාරණා සිතුම් පැතුම් සාර්ථකත්වයට පත් කරයි. මෙම කටයුතු කළමනාකරණය සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුය.

සිංහ

සහසම්බන්ධතා, විවාහ කටයුතු සාර්ථක කෙරේ. දිගු කාලීනව යටපත්ව තිබූ අරමුණු සඵල කරයි. දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. ඉදිරි අනාගතය සඳහා සුබවාදී අරමුණු ක්‍රියාවට නැංවේ. වඩාත් සුබ පල ලැබෙන කාලයකි.

කන්‍යා

රැකියා අදායම් මාර්ගය ඉතා සාර්ථක වේ. වාසනාවන්ත කාලයකි. ප්‍රශස්ත ග්‍රහ මාරුවකි. විවාහ කටයුතු සබඳතා සාර්ථක කරයි. අවහිර බාධක දුරු කෙරේ. නව ගමන් මඟකට යොමු වේ.

තුලා

ගෘහ ජීවිතය සාමකාමී වෙයි. දූ දරු සබඳතා පවුලේ දියුණුව තීව්‍ර වෙයි. සෞභාග්‍යමත් කාලයකි. සංචාරක කටයුතු වලින් ධන සම්පත් ගලයි. මූල්‍යමය කටයුතු සාර්ථකයි. අවහිර බාධක මඟ හැරී යයි.

 

වෘශ්චික

සබඳතා, විවාහ කටයුතු සාර්ථක වෙයි. සිකුරුගේ බැල්ම වැටෙන කාලයකි. දූ දරුවන්ගේ අනාගත අරමුණු සඵල කෙරේ. තම අභිමතාර්ථයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නේ සිකුරුගේ බැල්මෙනි. සංසාර පින මතු කෙරෙන කාලයකි.

ධනු

වික්‍රම ස්ථානගත ශනි යෝග බලයෙන් සබඳතා විවාහ කටයුතු අති සාර්ථක වෙයි. ආර්ථිකය ගෘහ ජීවිතය සාර්ථක වේ. යහපත්ය. සිතුම් පැතුම් ඉටුවන කාලයකි. ශාස්ත්‍රීය කටයුතුවලින් විජයග්‍රහණය හිමිවේ. තම අරමුණු සාර්ථක කෙරේ. දිගුකාලීන අරමුණු සඵල කෙරෙන භාග්‍යමත් කාල පරාසයකි.

මකර

දිගුකාලීනව පැවැතියා වූ අර්බුද ගැටලු, ප්‍රශ්න නිරාකරණය වෙමින් ඉදිරියට යා හැකි කාලයකි. තැන්පත් දේපළ වස්තුව ධනය වර්ධනය වේ. සතුරු එදිරිවාදිකම් තුරන් වෙයි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි.

 

කුම්භ

ශ්‍රී ලංකා නිදහස් කේන්ද්‍රයට මෙන්ම කුම්භ ලග්න හිමියන්ට භාග්‍යමත් කාලපරිච්ඡේදයක ඇරඹුම වෙයි. සියලු ආකාර ලැබීම්, සිතැඟියාවන් සහතික කරන ජයග්‍රහණය ලැබෙන කාලයකි.

මීන

සියලු බාධක අවහිර දුෂ්කරතා මැඩ ගනිමින් පෙරමුණ බලා ගමන් කරයි. සමාජයේ උසස් ඵල දරයි. දූරදර්ශීව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සුවිශේෂී ජයග්‍රහණ ලද හැකි කාලයකි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.