සිංහ ලග්නය හිමි කාන්තාව

ජූලි 29, 2022

රාශි චක්‍රයේ පස්වන රාශිය ලෙස හඳුන්වන සිංහ රාශිය පුරුෂ රාශියක් ලෙස හඳුන්වන අතර රවි ග්‍රහයා අධිපති ග්‍රහයා වේ.

එඩිතර කාර්යය සූර ආත්ම ශක්තියෙන් යුතු අය වන අතර දියුණු වීමේ දැඩි ආශාවක් නිතර සිතේ ඇති කරයි. පරාජය පිළිගැනීමට සූදානම් අයකු ද නොවේ. සිංහ ලග්නයෙන් ඉපදී මේෂ, වෘෂභ හෝ මිථුන නවාංශකයක් හිමිව උපන් අය සත්‍යවාදී අය වන අතර වගකීම් ඉසිලීමට කැමැති අය වෙති. උත්සාහයෙන් ධනය රැස් කර ගනී. ත්‍යාගශීලිය.

ඕනෑම දේකට වහා කලබල වන ගතියක් පෙන්නුම් කරන අතර තීක්ෂණව යමක් සිතාමතා තේරුම් ගැනීමට අපහසු අය වෙයි. වැඩිමහල් සහෝදරාදීන්ගෙන් ලැබෙන ප්‍රයෝජන අඩු වන අතර ඇතැම් විට පවුලේ වැඩිමලා වීමටද පුළුවන. මෙම අයගේ 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා ගුරු ග්‍රහයා වන බැවින් ගුරු 7 වැන්නේ නම් විවාහය සම්බන්ධ කරදර ඇති කරයි. ආගමෙන් හෝ ජාතියෙන් සම්මත කුලයෙන් හෝ වෙනස් අයකු හා විවාහ වීමට සිදුවනු ඇත. වැඩිහිටියන්ගේ විරෝධය මැද හිතුවක්කාර යුගදිවියකට පත් වීමට ද ඉඩ ඇත. හතර වැන්නේ ගුරු සිටීනම් සිතේ අසහනයෙන් ගේ දොර වාසය සිදුකරයි. සමාජ ආශ්‍රයට එතරම් රුචිකත්වයක් ඇති නොකරයි. ගුරු මහ දශා අතුරු දශා කාලයන්හිදී රැකියාව පිළිබඳව කරදර ඇති වීමටද ඉඩ තිබේ.

ගුරු 10 වැන්නේ නම් කොතරම් උසස් සමාජ ආශ්‍රයක් තිබුණත් ඉගෙනීමට හා වෘත්තීය සුදූසුකම් තිබුණත් රැකියාවක් ලබා ගැනීමට සිදුවන්නේ ඉතා අමාරුවෙනි. එසේ ලබා ගත් රැකියාවද හිතට තෘප්තිමත් බවක් ඇති නොකරයි. රැකියාවක් ලබා ගැනීමට විශාල උත්සාහයක් දරන අතර රැකියාවේ කටයුතුවලට විවිධ ගැටලුදායක තත්ත්වයක් ඇති කරයි.

ගුරු මහ දශා අතුරු දශා මෙන්ම බ්‍රහස්පතින්දා දිනය ද ශුභ කටයුතු වලට යහපත් නොවේ. මෙම අයට කුජ මහ දශා අතුරු දශා සුබ ඵල ගෙන දෙයි.

සිංහ ලග්නයෙන් හා කටක හෝ කන්‍යා නවාංශකයකින් උපන් අයට ගුරු ග්‍රහයා අසුබ ඵල නොදෙයි. එහෙත් සඳු අසුබ ඵල දෙන ග්‍රහයා වේ. ගුරු 10 වැන්නේ හෝ 11 වැන්නේ සිටී නම් එය ඉතාම යහපත් වේ. ‍උසස් ගතිගුණ වලින් යුතු යහපත් අයකු වෙයි. ගුරු 6,8,12 නම් එතරම් යහපත් නොවනු ඇත.

සිංහ ලග්නය වී කටක, සිංහ, කන්‍යා නවාංශකයකින් උපන් අයට ආත්ම ශක්තිය අඩුවන අතර සිතේ භය ගතිය හා චංචල ගතිය බල පවත්වයි. ගැඔුරු දේ අවබෝධ කර ගැනීමේ ශක්තිය අඩුවේ. කාන්තාවන්ට ඔසප් පිළිබඳ අඩුවැඩිවීම් බලපායි. ප්‍රථම ඔසප් වීම හෙවත් වැඩිවිය පැමිණීම නිසි වයසේදී සිදුනොවීමට ද ඉඩ ඇත. අපස්මාරය, බෙල්ල මහත් වීම, පණු රෝග, දරුණු බඩේ කැක්කුම්, වලිප්පුව වැනි රෝග සෑදීම පහසුය. ඒරාෂ්ටක කාලයන් හා සෙනසුරු හෝ සඳු අතුරු දශා කාලයන් මෙම අයට විශේෂයෙන් අපලයි.

සඳු 7 වැන්නේ සිටීම විවාහයට බාධා ගෙන දෙන අතර අයතා පෙම් සබඳතා ඇති වීමටත් විවාහ වූ අය පීනස වැනි රෝගයන්ගෙන් පෙළෙන අයකු වීමටත් හේතුයි. සිංහ ලග්නයේ තෙවන කොටස වශයෙන් හැඳින්වෙන තුලා, වෘශ්චික,ධනු යන නවාංශකයකින් උපන් අය නිතර ශරීරයේ දාහ ගතියක් පෙන්නුම් කරන අතර පිරිස් අතර නායකත්වයක් හා පාලන බලය පැමිණියත් ක්‍රියා කිරීමේ හැකියාව අඩු අය වනු ඇත‍. හදිසි අනතුරු වලට මෙන්ම බරපතල තුවාල වලටත් ලක්විය හැකිය. ආ ගිය තැන සුළු කරුණක් නිසා කලකෝලහල ඇති කර ගනී. සමාජ රෝග බෝවීම පහසු වන අතර සර්ප දෂ්ටනයෙන්, ගින්දරෙන්, විදුලිය, අකුණු සැර වැදීමෙන් පීඩා ඇති විය හැකිය.

කුජ 22 වැනි දෙර්ණාධිපති වීම නිසා අසුබ ඵල දෙන අතර අඟහරුවාදා දිනය අසුබයි. කුජ මහ දශා අතුරු දශා කාලයන් අසුබ පල දෙන කාලයන් වනු ඇත.

ජ්‍යෙතිෂවේදිනී

ගීතිකා සමරතුංග

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.