ඔබේ දෙතොල් හෙළිකරන රහස්

ජූලි 15, 2022

අනාදිමත් කාලයක සිට මිනිසාගේ සැලකිල්ලට යොමුවූ තවත් අංශයකි දේහ ලක්ෂණ විද්‍යාව. කෙනෙකු දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ ශරීර අංග පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගේ චරිතය පිළිබඳ දැන ගැනීමට ඒ මඟින් හැකියාව ඇත. යම් අයෙකුගේ මුහුණ දෙස බැලූ පමණින් කෙනෙකුගේ අවධානය නිතැතින්ම යොමුවන තවත් ශරීර අවයවයකි තොල්පෙති.

පැරණි කවීහු මෙන්ම වත්මන් කවීහු ද ස්ත්‍රින්ගේ තොල්පෙති නොයෙක් දේවලට උපමා කළහ. වරෙක කාන්තාවන්ගේ තොල්පෙති නාදලුවලට උපමා කර ඇති අතර තවත් වරෙක වදමල්වලට සමාන කළහ. මධ්‍යම ප්‍රමාණයේ නාදලු වැනි රක්තවර්ණ තොල්පෙති යුග්මයෙන් සුවිනීත ලලනාවක් හඳුන්වාදෙයි. එවන් ස්ත්‍රිය ලෞකික සම්පත් ලැබීමේ පින්බල ඇත්තියකි. ඇය රාගාධික වූවත් තම ඉඳුරන් පාලනය කර ගැනීමේ ඇති හැකියාව නිසා තම ආත්ම ගෞරවය කෙලෙසා නොගනී. ඍජු ප්‍රතිපත්තියක් ඇති ඇය මනුෂ්‍යත්වය හඳුනාගෙන කටයුතු කරන්නීය.

කළු පැහැති තොල්වලින් හෝ එල්ලා වැටෙන යටි තොල්වලින් පෙන්නුම් කරන්නේ ගැහැනියකගේ ඇති අවාසනාවන්තභාවයයි. එවන් ස්ත්‍රින් විවාහයට සුදුසු නොවන බව පැරණි පඬිරවරුන් ප්‍රකාශ කර ඇත. කළු පැහැති තොල්වල තැනින් තැන සුදු පැහැති පැල්ලම් වැටී ඇත්තේ නම් ඒවා හඳුන්වනුයේ කබර තොල් යනුවෙනි. කබර තොල් ද සුබ නොවේ. එය අනේකවිධ ශාරීරික මානසික රෝග පීඩා ලබාදෙන පිහිටීමක් බව විශ්වාස කරති.

ස්ත්‍රියකගේ උඩු තොලේ උපන් ලපයක් දිස්වේ නම් ඇය කේලාම්කාරියක් ලෙස සඳහන් කර ඇත. මෙය අප කීර්තියට පාත්‍රවීමේ ලකුණක් වශයෙන් ද විග්‍රහ කිරීමට පුළුවන. යටි තොලේ පිහිටි උපන් ලපයෙන් දේශ සංචාරයෙහි යෙදෙන කාන්තාවක් හඳුන්වා දෙයි. එවන් වනිතාව විදේශගත සැමියෙකුට බිරිඳ වන බවද කියති. මෙවුන්දම් සේවනයෙහි අසීමිත ආශාවක් ඇති කාන්තාවන්ගේ තොල්වල ඉන්නන් හෝ කැළලක් පිහිටන බව සැලකේ. රතුපාටට හුරු තොල් ගැහැනියකට මෙන්ම පිරිමියෙකුට ද සුබ පලදෙන පිහිටීමකි. අන්‍යයන්ගේ ගරු බුහුමන් ලබන එවන්නෝ ජීවිතය දෙස සර්ව ශුභවාදි ලෙස බලන්නෝය. පිට පෙරළුන ආකාර තොල් ඇති පුද්ගලයන් ඔබ ඇසුරට පත්වුවහොත් ප්‍රවේශම් විය යුතුය. මිතුරන් ලෙස පෙනී සිට හතුරුකම් කරන එවැනි අය විශ්වාසය තැබිය හැකි අය නොවේ. පැළී ගිය ආකාර ලොකු ඉරිවැටුණු තොල්පෙතිවලින් හිතුවක්කාර අයෙක් පෙන්නුම් කරයි. හරි හෝ වැරදි හෝ තමන්ගේම මතයේම පිහිටා අවිචාරවත්ව කටයුතු කරන ඔවුහු අවිනිශ්චිත අනාගතයක් උරුම කර ගනී.

එල්ලා වැටෙන විශාල යටි තොලද විනාශකාරි පිහිටීමකි. කාමාතුරයන් වන ඔවුහු තම ආසාවන් මුදුන්පත් කර ගැනීමේදී තිරිසනුන් මෙන් සැහැසි වන්නාහ. ස්ත්‍රී දූෂණ, බහු භාර්යා සේවනය වැනි දුසිරිත්වල යෙදුණු පුද්ලගලයින් වැඩි දෙනකුට එවැනි තොල් පිහිටා ඇති බව අනාවරණය වි ඇත.

තොල් මත සියුම් ඉරි වැටී තිබීමෙන් ප්‍රදර්ශනය වන්නේ පරිත්‍යාගශීලි කාන්තාවකි. හොඳින් වටකුරුවූ රතු පැහැති විශාල යටි තොලක් පිහිටා ඇත්නම් ඇය අතෘප්තිකර කාමාශාවන් ඇති ගැහැනියක් ලෙස හඳුන්වා ඇත. දුරාචාර ආකරයක් බඳුවූ ඇය හැට හතර මායම් දන්නීය.

සිහින් තොල්පෙති ඇත්ති කාරුණිකය. එමෙන්ම තැන්පත් ගතිගුණවලින් ද යුක්තය. ඉතා සුළු දෙයකින් පවා කෝපාවිෂ්ටවීම ඇගේ එක් දුර්වලතාවයකි.

උඩුතොලෙහි රෝම ඇතිවීම වැන්දඹුවීමේ ලක්ෂණයක් බව ඍෂිවරුන්ගේ මතයයි. නපුරු ගති ඇති එවැනි අය උදේ අවදි වූ විගස දැකීමට පවා නුසුදුසු බව පැරැන්නෝ විශ්වාස කළහ. සිනාසෙන විට දෙතොල් අග වළගැසෙන කාන්තාවන් ඔබ දැක ඇති. එය විනෝදකාමී යුවතියන් කෙරෙහි දැකිය හැකි සුබ ලකුණකි. සියුම් කුඩා තොල් ඇති කාන්තාව කතාවට දක්ෂය. ඉතා ඉක්මනින් ජනාදරයට පත්වෙති. යමක් වහා තේරුම් ගැනීමේ ධාරණ ශක්තියක් ඇයට හිමිය.

එකක් අනෙකාට වඩා ඝනවූ ස්වභාවයෙන් තොල් පිහිටියේ නම් ඇය බුද්ධිහීන තැනැත්තියක් වන්නීය. අද කළ යුතු දෙය හෙටට කල් දමන බොහෝ දෙනාගේ නින්දා අපවාදවලටද ලක්වන හිංසාකාරි අදහස් දරන්නියකි. උසස් ගති නොසලකන්නියක් ද වේ. මදක් සිනිඳු වූ රත් පැහැයෙන් යුතුවූ ද මධ්‍යම ප්‍රමාණයේ තොල් පිහිටියේ නම් ඕ තොමෝ චාරිත්‍ර විධි අගය කරන වැඩි දෙනා විසින් ගරු කොට සලකනු ලබන්නා වූද පොදු කටයුතුවලට සහයෝගය දක්වනු ලබන්නාවූද තැනැත්තියකි.

කලාත්මක දේවල් කෙරෙහි දැඩි ආශාවක් දැක්වීම මොවුන් තුළ ඇති තවත් ලක්ෂණයකි. සමාන්තරව දෙපසට විහිදූ දසන් නොපෙනෙන සේ හොඳින් පියවෙන තොල් සඟළක් පිහිටන්නේ සංවේදී ජීවන ශෛලියක් ඇති පුද්ගලයන් වෙතය. පුද්ගලික නිදහස බෙහෙවින් අගය කරන ඔවුනට මනා පෞරුෂත්වයක් ඇත්තේය. අන්‍යයන්ගේ ගෞරවය ආරක්ෂාවන අයුරින් හැසිරෙන එවැන්නෝ තමන් ද අනභිභවනීය පුද්ගලයින් ලෙස සිතා කටයුතු කරයි.

නිතරම දත් විළිස්සාගත් ගමන් සිටින විශාල තොල් ඇති දෙතොල් ඇති පුද්ගලයින්ද ඔබට මුණ ගැසී ඇති ඔවුහු අහස් මාලිගා තනමින් කාලය ගෙවා දැමීමට දක්ෂයෝ වෙති. සසලවන හදවතක් ඇති එවන්නන්ට ස්ථිර ප්‍රතිපත්තියක්ද නැත. කොතැනක ගියත් කාගේ හෝ උගුලක අසුවීම එවැන්නන්ගේ ජීවන චරිතයෙන් පෙනෙන්නකි.

විෂම තොල් ඇත්තා බිය ගුල්ලෙකු බව පැවසේ. නිරතුරුවම චිත්ත පීඩාවෙන් කල්ගෙවන අයගේ යටි තොලෙහි දකුණු පැත්තේ ඉන්නෙකු හෝ කැළලක් පිහිටන අතර එවැනි සලකුණු යටි තොලෙහි වම් පාර්ශ්වයේ පිහිටා ඇත්නම් හේ කපටි පුද්ගලයෙකු ලෙස හඳුනාගත යුතුය. ඍෂිවරුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ අන්දමට උඩු තොලෙහි මස් නැටීමක් සිදුවීමෙන් මිත්‍ර ලාභයද යටි තොලෙහි සිදුවන මාංශ චලනයෙන් සතුරන්ගේ විනාශය ද විදහා පායි. තවද ආපෝ ධාතුව බහුල කොට ඇති දෙතොලෙහි අස්වාභාවික ලෙස දහඩිය දමන්නේ නම් පී‍්‍රතිය ළඟාවෙන බව සංකේතවත් කරයි.

හිඹුටානේ පියතිලකද අල්විස්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.