යෝග පොකුරක් එක දිගට එක පෙළට යෙදීමෙන් වාසනාවන්ත ඉතා බලවත් ශ්‍රේෂ්ඨ දරුවන් මවු කුස පිළිසිඳෙන හා උපදින කාලවකවානුවක්

ජුනි 17, 2022

2022 ජුනි 27 සිට 2022 ජුලි 13 දක්වා කාලයේ මහා පුරුෂ යෝග හතරක්ම යෙදෙන අතර ජූලි දෙකෙන් පසු පංච මහා පුරුෂ යෝගයන් පහම යෙදෙනු ඇත. එම යෝග නම් කුජ රුචක, භද්‍රා, ගුරුහංස,මාලවී, සස නම් වේ. මෙයට අමතරව මාලිකා යෝග දොළසක් සමඟ යෝග පොකුරකින් හැඩ ගැන්වෙන මෙම ග්‍රහචාරය අනුව ලග්න 12 ටම කුමක් හෝ යෝග බලයක් ඉස්මතු වනු ඇත. මේෂ, කටක, තුලා, මකර යන චර රාශි ලග්නවලට මහා පුරුෂ යෝග එක බැඟිනුත් අනෙක් ලග්න අටට මහා පුරුෂ යෝග දෙක බැඟිනුත් යෙදෙනු ඇත. කුම්භය හැර අනෙකුත් ලග්න හර්ෂා, සරලා, විමලා යන යෝගයන් ගෙන් ද සමන්විත වේ. තවද කුජ ග්‍රහයා මේෂයේ බැවින් ගජකේශරී යෝගය ද ගුරු ග්‍රහයා මීනයේ ගෝචර වෙමින් භූමිපාල යෝගයද සිකුරු ග්‍රහයා වෘෂභයේ බැවින් විෂ්ණු යෝගය ද ශනි ග්‍රහයා කුම්භයේ බැවින් පිය යෝගය ද ජූලි දෙකෙන් පසු බුධ ග්‍රහයා මිථුනයට පැමිණීමෙන් අත්පොත් යෝගය සහ ප්‍රබල සර්වතී යෝගය ද නිර්මාණය වේ. තවද යෝග රැසකින් ඔපවත් වෙන මෙම ග්‍රහචාරය අනුව අනාගතයේ වාසනාවන්ත ඉතා බලවත් ශ්‍රේෂ්ඨ පින්වත් දරුවන් පිළිසි⁣ඳෙන උපදින ප්‍රබල ග්‍රහ සැකසුමක් ඇතිවේ.

 

මේෂ

ලග්නාධිපති ලග්නයේ බලවත් වෙමින් කුජ රුචක බලයත්, පිය යෝගය,විමලා යෝගය ඇතුළු තව යෝග කීපයකින් මෙන්ම සප්ත ග්‍රහයන් පෙළට සිටිමින් ලබන ලාභ මාලිකා යෝගයකින් බලවත් වන මේෂ ලග්න හිමියන්ට සෑම ක්‍රියාවකින් ම සුබ පල ලබා ගැනීමට වාසනාව ලැබේ. හදිස්සි ධන ලාභ ද හිමි වනු ඇත. එඩිතරව කටයුතු කිරීමට පෙළඹේ. සමහරවිට සතුරන් සමඟ ගැටීමට සිදු වේ. එහෙත් නම්‍යශීලී නොවනු ඇත. ධනවත් රූමත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලබමින් කුමාර ලීලාවෙන් ජීවත් වීමට වාසනාව උදාවේ.

 

වෘෂභ

සිකුරු ලග්නාධිපති බලවත් වේ. ඒ මාලවී යෝගය නිසයි. වෘෂභ ලග්නයට යෝගකාරක සෙනසුරු බලවත්ව කුම්භයේ වෙයි. ඒ බලවත් සස යෝගයයි. සෙනසුරු දස වැන්නේ සිට ඇරඹෙන කර්ම මාලිකා යෝගය ද වේ. මේ අනුව වෘත්තීය මට්ටමින් උසස් දියුණුවක් ලබා ගනිමින් ප්‍රධානීන්ගේ ප්‍රසාදයට ලක්වී අන්‍යයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වේ. යහපත් කර්මාන්ත වලින් ධනය උපයයි. සමාජයේ උසස් තනතුරු හිමි වේ.

 

මිථුන

භද්‍රා යෝග බලයත් දස වැන්නේ ගුරු හංස යෝග බලයක් දොළොස් වැන්නේ සිකුරු සිටීම විමලා යෝගයයි. ධාර්මික ජීවිතයක් ගත කරන අතර පරහිතකාමී ලෙස පොදු කටයුතුවල නියැළේ. විදෙස් සංචාර වලින් ද සුබපල ලැබේ. පෙර පින් බලය ඇති බැවින් සතුටින් ජීවත්වීමට අවශ්‍ය සියලු දේ ලැබේ.

 

කටක

කුජ රුචක යෝගයත් ශනි ගේ සිට එක පෙළට ග්‍රහයන් අටවැන්නේ පටන් මුල පිරෙන බැවින් රන්ධු මාලිකා යෝගයයි. ධන හීන වුවත් යම් බලවත් බවක් පෙන්වීමට උත්සාහ කරයි. බිරිඳට යටත්ව සිටීමට සිදුවේ. සිතට පීඩා වන සිදුවීම් ඇතිවෙයි. විවාහ සැපත ඉහළින් බලාපොරොත්තු වුවත් එය නොලැබී යයි. එහෙත් අන්‍යයන්ගෙන් අකාරුණිකව වැඩ ගැනීමට සමතෙකි.

 

සිංහ

මාලවී යෝග බලයත්, සස යෝග බලයත් සමඟ ප්‍රධාන ග්‍රහයන් සත් දෙනා එක පෙළට සත් වැන්නෙන් ගමන් අරඹන බැවින් ඒ කලත්‍ර මාලිකා යෝගය වේ. කාන්තාවන්ට වැඩි කැමැත්තක් දක්වයි. ඔවුන්ගේ ආධාර උපකාර මැනවින් ලැබේ. යුග දිවිය වාසනාවන්තයි. ස්වාධීන ව්‍යාපාර වලින් වඩාත් දියුණු වේ. මේ යෝග ඇති ස්ත්‍රීන් තම සහකරු ලෙස හැඩිදැඩි අයකු තෝරා ගනී.

 

කන්‍යා

භද්‍රා, ගුරු හංස යෝග සමඟ සප්ත ග්‍රහයන් එක පෙළට සය වැන්නෙන් ගමන් අරඹන බැවින් ඒ ශත්‍රැ මාලිකා යෝගයයි. සෑම දෙයටම ලෝභ කමක් දක්වයි. බලාපොරොත්තු කඩ වේ. තම අවශ්‍යතා අසීරුවෙන් පිරිමසා ගැනීමට සිදුවේ. කඩින් කඩ සැප ලැබෙන ධන හීන දිවියක් ගත කරන්නට සිදු වේ. එහෙත් ග්‍රහයන් බලවත් නම් සතුරන්ගෙන් ධන ලාභ හිමිවේ.

 

තුලා

තුලා ලග්නයට යෝග කාරක බලවත් සෙනසුරු පස් වැන්නේ සිට පෙළට ගමන් අරඹන්නේ නම් පුත්‍ර මාලිකා යෝගයයි. ප්‍රසිද්ධිය ලබන ධර්මයට ළැදිව කටයුතු කරයි. තරගකාරී කටයුතුවලින් මෙන්ම අනුන් අභිබවා ජය ලබා ගැනිමට වාසනාව ලැබේ. ඉතා භාග්‍යවත් දරුවන් ලැබේ. ලොතරැයි වාසනාවලට ද ඉඩ තිබේ.

 

වෘශ්චික

මාලවී සස යෝගය සමඟ එක පෙළට සිටිමින් සෙනසුරු සිවු වැන්නේ සිට ගමන් අරඹන බැවින් එය සුඛ මාලිකා යෝගයයි. ධනවත්ය. මනා චරිතවත් ලෙස පුණ්‍ය කාමී කටයුතු වල නිරත වෙයි. කෘෂිකාර්මික කටයුතු මෙන්ම භූමිය හා සම්බන්ධ කටයුතුවලින් විශාල ප්‍රගතියක් අත් වේ. ඉඩකඩම් හිමියෙකි. සැපවත් වාහන ලැබීමට ද භාග්‍ය හිමි වේ.

 

ධනු

දෙවැන්නෙන් ඇරඹෙන බැවින් මෙය වික්‍රම මාලිකා යෝගයයි. විශ්වාසය, දැඩිඋත්සහය නිසා තම පරමාර්ථ, අධිෂ්ඨාන කරා පහසුවෙන් ළඟා විය හැක. නිර්මාණකරණයට ඉතා දක්ෂ වේ. පාලන බලය ද හිමි වේ. සන්නිවේදන කටයුතුවලට වැඩි රුචිකත්වයක් දක්වයි.

 

මකර

කුජ රුචක, හර්ෂායෝග සහ සප්ත ග්‍රහයන් දෙවැන්නෙන් ඇරඹෙන බැවින් ඒ ධන මාලිකා යෝගයයි. වැඩිහිටියන්ට දෙමාපියන්ට ගරු සත්කාර කරයි. එහෙත් සතුරන්ට දැඩි දඬුවම් ලබා දේ. තිරසාර ගති ඇත. මුදල් ඉතුරු කිරීමට හැක. බෙහෙවින් ධනවත් වීමේ ලක්ෂණ පෙන්වයි.

 

කුම්භ

මාලවී යෝගයත් සස යෝගයත් සෙනසුරුගේ බලයත් ලග්නයෙන් ඇරඹෙන ලග්න මාලිකා යෝගයත් නිසා ඔබගේ ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම ආත්ම ශක්තිය ප්‍රබලය. ජනතා ප්‍රසාදය තුළින් දේශපාලනඥයෙකු විය හැක. ක්‍රියාශීලිගතිය ද මනාව පෙන්වයි. ධනයෙන් බලයෙන් පොහොසත්ය. අන්‍යයන් පාලනය කිරීමේ හැකියාව ඇත.

 

මීන

ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ බලවත් වෙමින් ගුරු හංස යෝගයත් බුධගෙන් යෙදෙන භද්‍රා යෝග බලයත් මුසු වෙමින් ඔබට වාසනාව ලබාදෙන කාලයකි. නිවසේ කටයුතු ද සාර්ථකව කරගෙන යාමට හැකිය. ඔබට සමාජයේ පිළිගැනීමක් ලැබේ. අධ්‍යාපනය ලබන මීන ලග්න හිමියන්ට ඉතා සුබයි. විභාගවලින් සමත් විය හැකියි. ධනස්ථාන මෙන්ම භාග්‍යස්ථානාධිපති ධනස්ථානයේ ගමන් කරමින් ධනය ඉතුරු කිරීමට අවස්ථාව ලබාදේ.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.