බලවත් සෙනසුරු වක්‍ර වේ

සිකුරු, සඳු සමඟ රාහු අධි රසකාමී යෝගයක
මැයි 27, 2022

 

 

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු සස යෝග බලයෙන් බලවත්ව ලග්නයේ ගෝචර වෙමින් 10 අධිපති කුජ සමඟ නැකැත් මාරු කර ගනිමින් ගමන් කරයි. 2022 ජුනි 4 දින මෙම සෙනසුරු වක්‍රවීම අරඹයි.

 

නැව ගිලුනත් බෑන් චූන් අනුගමනය කරන සමහර දේශපාලකයන්ට දැඩි මහජන අප්‍රසාදය පළ වෙයි. නිවැරැදි තීරණ සුදුසු වෙලාවට නොගැනීම නිසා අටවපු සැලැසුම් කණපිට පෙරළෙනු ඇත.

අමාවක දිනයේ මීන රාශියේ පවතින කුජ ගුරු යුද්ධයෙන් ඇතුන් නසා ජයගත් සිංහ රාජයකු සේ බලවත් වන බ්‍රහස්පතිත් වර්ගෝත්තම බලයෙන් බලවත් වන රාජ්‍ය කාරක රවිත් වෘෂභයේ දී බුධ සමඟ සම්බන්ධ වීම, සඳුද වෘෂභයට පැමිණ උච්ච වී ඔවුන් සමඟ එක් වීම සිදුවේ. මෙයින් ගුණවත් හිමිවරුන්ගේ බැබළීමත් වියතුන්ගේ පිබිදීමත් ඇති වේ. එහෙයින් පීඩාවන් අවම කර බලාපොරොත්තු දල්වා ගත හැකි රටේ අනාගත සාර්ථකත්වය උදෙසා බුද්ධිමත්ව ගන්නා සෑම තීරණයකටම ජනතාවගේ අවංක සහාය ඔවුනට ලැබෙනු ඇත. එහෙත් මේෂ රාශියේ සිටින රාහුට සිකුරුගේ අධි රසකාමී යෝගයක් නිර්මාණය වනු ඇත. රාහුට ඔළුවක් නැති බවත් සිකුරුට මොළයක් නැති බවත් ජ්‍යොතිෂ ව්‍යවහාරයේ පවතී. හරියට මෝඩ චන්ඩියකුට සුන්දර තරුණියක් හසු වූවා වැනිය. එක්කෝ තරුණිය විනාශවේ. නැතිනම් මෝඩ චන්ඩියා යහපත් වේ. මාධ්‍ය තුළින් ද ශෘංගාරය මතුවන දසුන් මැවේ. ළාබාල තරුණ තරුණියන් ගැන සැලකිලිමත් වීම වටී. ඔවුන් යම් අතවරවලට ලක් විය හැක. නොගැළපෙන පෙම් සම්බන්ධතා මෙන්ම අඹුසැමියන් අතර ද ගැටුම් ඇති විය හැක. විශේෂයෙන්ම කුම්භයේ වක්‍ර සෙනසුරු 2022 ජූලි 12 පස්වරු 14.50ට නැවත මකරයට පැමිණේ. අප ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව දොළොස්වැන්නයි. මේ තත්ත්වය රටට අපලදායකයි. අලුත් වයිරස් නැවත රටට ඇතුළුවීමට පවා ඉඩ ඇත. රටේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වෙයි. ගිය දිනවල පැවැති පීඩාකාරී තත්ත්වයන් නැවත කරලියට පැමිණේ. පාලකයන් මෙන්ම ජනතාව ආත්මාර්ථකාමී නොවී රටට හිතැතිව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මෙම පීඩාවන් සමනය කර ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කළ හැක. මෙම ග්‍රහචාරය අනුව ලග්න හතකට සුබපල ලැබෙනු ඇත. ඔබේ ලග්නයට මේ තත්ත්වය කෙසේදැයි බලමු.

 

මේෂ

හතර පහ අධිපති රවි සඳු සමඟ බුධ ධනස්ථානයේ ගමන් කිරීම ධනයෝග බලයකි. අයස්ථාන අධිපති සෙනසුරුද බලවත්ව සිටීම, වක්‍ර වීම ආදායම් මාර්ග කිහිපයකට නව මං පෙත් විවර වනු ඇත. එහෙත් ලග්නාධිපති කුජ භාග්‍යස්ථාන අධිපති ගුරු සමඟ වැයස්ථානයේ යුද වැදීම වැය පාර්ශ්වය ඉහළ යනු ඇත. විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබදායකයි. විදෙස් ආයෝජන මෙන්ම විදෙස් ආදායම් මාර්ග වලට සුබයි. ලග්නයේ රාහු සතුරු සිත කළඹයි. මේෂ ලග්න ළාබාල තරුණ තරුණියන් ගැන විමසිලිමත් වන්න. අනියම් සම්බන්ධතා නිසා අඹුසැමියන් අතර මත ගැටුම් ඇතිවේ. බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘෂභ

වෘෂභ ලග්නයට රාජ යෝගකාරක සෙනසුරු දස වැන්නේ සස යෝග බලයෙන් බලවත්ව සිටීම 4, 5 අධිපති ලග්නගතව එම රවි,සඳු,බුධ ගෙන්ද දස වැන්නේ ශනි සිටීම සුබදායකයි. රැකියා අවස්ථා උදාවේ. එහෙත් ප්‍රධානීන් සමඟ මතගැටුම්වලට ඉඩ ඇත. හත අධිපති බලවත් ගුරු සමඟ අයස්ථාන ගතවී ම ඉක්මන් විවාහයකට අවස්ථාව උදාවේ. ආදායම් මාර්ග විවර වේ. තමාගේ හිතුමතයට හදිසි තීරණ ගැනීම අනවශ්‍ය ප්‍රශ්න වලට අත පෙවීමට යාම නිසා නීතිමය අවස්ථාවන්වලට මැදි වේ. එහෙත් විදෙස් ගමන් සාර්ථක වෙයි. යටි බඩ ප්‍රදේශ වල පීඩා පෙන්වයි. ශරීරය තුළ උෂ්ණාධික රෝග ඇති වේ. විශේෂයෙන් අක්ෂි ආබාධ පෙන්වයි. සිකුරු රාහු දසා ගතකරන ඔබ ආරක්ෂාකාරී විය යුතුයි.

මිථුන

ගුරු හංස යෝග බලයෙන් රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතුවල සුබදායක ප්‍රගතියක් පෙන්වයි. හදිසි ධන ලාභ ද හිමි වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට එම තීරණ මල්පල ගැන්වේ. විවාහ උත්සව ඉහළින් පැවැත්වීමට අවකාශ ලැබේ. දරුවන් ලැබීමට සිටින මිථුන ලග්න කාන්තාවන්ට දියණියන් පිළිසිඳ ගැනීමටත් වාසනාවන්ත දියණියන් ලැබීමටත් පෙර පින් මතු වේ. ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන්ට අධ්‍යාපනික ජයග්‍රහණ ලැබේ. මිථුන ලග්න ඔබට ලොතරැයි වාසනා උරගා බැලීමට සුබයි. වැඩිහිටි අය වෙනදාට වඩා පුණ්‍ය කටයුතුවලට මෙන්ම ආගමික වන්දනාවල යෙදෙනු ඇත. එහෙත් සෙනසුරු ජුලි 12 සිට අෂ්ටම ඒරාෂ්ටකයක් උදා කරන බැවින් අවශ්‍ය ප්‍රතිකර්ම කර ගන්න.

කටක

ධනස්ථාන අධිපති අයස්ථාන ගතව ලග්නාධිපති සඳු සමඟ සම්බන්ධ වීම ප්‍රබල ධන යෝගයකි. භාග්‍යස්ථාන අධිපතිගේ ත්‍රිකෝණ දෘෂ්ටිය ලග්නයට වැටීම ඉතා සුබදායකයි. ජීවන ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟේ. පෙර වාසනාව මතුවන කාලයකි. විශේෂයෙන් ධර්ම කර්මාධිපති යෝගය භාග්‍යස්ථානයේ පිහිටීම පෙර පින මතු වීමට හේතුවේ. කලා කටයුතුවල නියැලෙන කටක ලග්න හිමියන්ට ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය තමා වෙත පැමිණේ. එහෙත් රැකියාවේ, හාම්පුතුන් හා බලධාරීන් සමඟ හිත් අමනාපකම් යෙදේ. රැකියා වෙනස්වීම්වලට තුඩු දේ. ශරීර සෞඛ්‍ය අනුව වාත රෝග ඉස්මතු වෙයි. 2022.07.12න් පසුව සෙනසුරු හත් වැන්නට පැමිණීම විවාහ පීඩා ගෙනදිය හැක. සෙනසුරු රාහු කේතු සඳු දශා ගතකරන ඔබට අපලදායකයි.

සිංහ

ලග්නාධිපති රවි දසවැන්නේ වර්ගෝත්තම බලයෙන් ධනස්ථාන, අයස්ථාන අධිපති බුධ සමඟ ගමන් කිරීම බුද්ධිය සහ තම බලය යොදවා කරන සෑම කාර්යයකින්ම සතුටුදායක ප්‍රතිඵල හිමිකර ගත හැකිය. තමාගේ අදහස ක්‍රියාවේ යොදවන්න අවස්ථාව උදාවෙයි. ආදායම ද ඒ තුළින්ම ලැබේ. භූමියෙන් හෝ ගුප්ත වාසනාවල් මතුකර ගැනීමට පෙර පින් ලැබේ. දෙස් විදෙස් වන්දනා ගමන් යාමට අවස්ථාව උදාවේ. ශරීර සෞඛ්‍යය තත්ත්වය අනුව ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම, වාත කෝපවීම නිසා යම් අපහසුතාවලට ලක් වේ. සෙනසුරු සස යෝග බලයෙන් ගමන් කරන බැවින් පවුලේ අය සමඟ එකට කටයුතු කිරීමට හැක. ඉදිරියේදී සෙනසුරු වක්‍රයෙන් හයවැන්න වන උපචය ස්ථානයට පැමිණීමත් ධනයෝග බලයකි.

කන්‍යා

ගුරු හංස යෝගයෙන් බලවත් වන ඔබට වෙනදාට වඩා විවාහක අඹුසැමියන් අතර සම්බන්ධතා වර්ධනය කර ගත හැක. ඔවුනොවුන් අතර සුහද පිළිසඳර ඇති වේ. ලැබුණු ආදායම් තත්ත්වයන් සහ පහසුකම් ඇන හිටිනු ඇත. මුත්‍ර රෝග මෙන්ම වකුගඩු ආශ්‍රිත රෝගවලට ලක්වේ. යම් අසාධ්‍ය රෝගවලින් පෙළෙන්නන්ට මේ කාලය අසුබදායකය. විශේෂයෙන් රාහු මහ දසා, කුජ මහා දසා, අතුරු දසා ගත ගත කරන ඔබ වඩාත් ආරක්ෂා වීම ශුභයි. රාහු 8 වැන්නේ කේතු දෙවැන්නේ ගමන් කිරීම හදිසි අනතුරු පීඩා ඇති විය හැක. අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න.

තුලා

යෝගකාරක සෙනසුරු බලවත්ව පස් වැන්නේ ගමන් කරන බැවින් අනාගතය උදෙසා කරන සැලැසුම් සාර්ථක කර ගත හැකිය. 202-01-17න් පසු එම සැලැසුම්වලින් උපරිම පල නෙළා ගත හැකිය. දැනට යම් උදාසීන තත්ත්වයක් පෙන්වන අතර කරගෙන යන කටයුතුවලින් සම්පූර්ණ පල නොලැබේ. විවාහකයන් අතර මත ගැටුම් ඇතිවිය හැක. ඔවුනොවුන්ට අවනත නොවීම, තම වගකීම නිසියාකාරව ඉටු නොකිරීම එයට හේතුව වේ. ධර්ම කර්මාධිපති යෝගයක් මෙන්ම 9, 10, 11 අධිපති අටවැන්නේ පැවතීම නිසා එම අපල සඳහා කළ යුතු පුද පූජා කිරීමෙන් එම අපල දුරුකර සුබපල නෙළා ගත හැකිය.

වෘශ්චික

ධනස්ථාන අධිපති බලවත්ව පස් වැන්නේ ලග්නාධිපති සමඟිින් ගමන් කිරීම, ලග්නය ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දැකීම ධර්ම කර්මාධිපති යෝගයේ සප්තම දෘෂ්ටිය ලග්නයට ලැබීම, සියුම් පීඩාවන් සමනය කරමින් තමාගේ අදහස ම ක්‍රියාවේ යෙදවීමට මග පෑදේ. සස යෝග බලයත් ඇති බැවින් ඉඩකඩම් ලබා ගැනීමටත් තම නිවෙසේ සිටම තම ව්‍යාපාර කටයුතු මෙහෙයවීමටත් අවස්ථාව උදාවේ. එහෙත් තම දරුවන් අකීකරු ස්වභාවයක් ගනු ඇත. අත් කකුල්වල යම් පීඩවන් පෙන්වයි. සතුරු නාශක යෝගයක් ද පවතින බැවින් සතුරු පීඩා සමනය කර ගනිමින් තම අධිෂ්ඨාන ශක්තිය මතු වනු ඇත. නම්‍යශීලීව කටයුතු කිරීමෙන් අන්‍යයන්ව තමා වෙත නතු කර ගත හැකි ශක්තිය මතු වනු ඇත.

ධනු

ලග්නාධිපති බ්‍රහස්පති, ගුරු හංස යෝගයෙන් මෙන්ම ග්‍රහ යුද්ධයෙන් ද දිනමින් සිවු වැන්නේ ගමන් කිරීම සිතට සතුටුදායක තම අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීමට වාසනාව උදා කර ඇත. 5 අධිපති කුජ මෙන්ම ගුරුගේ සංයෝගය ධන යෝගයක්ද වේ. එහෙත් අධික රුධිර පීඩනය, හෘද රෝග ඇති ධනු ලග්න හිමියන් ආරක්ෂාකාරී විය යුතුයි. නව යොවුන් තරුණ තරුණියන්ගේ නොගැලපෙන ආදර සම්බන්ධතා නිසා අධ්‍යාපන කටයුතු බිඳ වැටේ. ඔවුන් දෙමාපියන්ගේ බහට අවනත නොවේ. තම ශරීරය තුළ සැඟවී තිබුණු යම් රෝග ලක්ෂණයක් මතු විය හැක. එහෙත් භාග්‍යස්ථාන අධිපති රවි 6 වැන්නේ වර්ගෝත්තම වීම, සඳුද උච්ච වීම, එම පීඩා සමනය කරගත හැක.

මකර

ලග්න ඒරාෂ්ඨක ගෙවමින් සිටින ඔබට සඳු ද ලග්නයේ හෝ දෙවැන්නේ සිටී නම් ලග්න, ජන්ම ඒරාෂ්ඨක දෙකක් එකවර ගෙවනු ඇත. සඳු හෝ සෙනසුරු දශා ගත වේ නම් එම අපල දෙගුණ තෙගුණ වනු ඇත. පසුගිය දිනවල ඔළුවේ තිබුණු යම් පීඩාවකින් නිදහස ලැබුවේ නම් එම පීඩාව නැවත පැමිණෙනු ඇත. රැකියා ස්ථානයේ ද යම් යම් පීඩා ඇතිවේ. අධ්‍යාපනය ලබන දරුවන්ට නම් තම බුද්ධිය උරගා බැලීමට අවස්ථාව උදාවේ. රාහු කේතු දශා ගත කරන ඔබට කේන්ති ගති මතුවෙයි. ඉවසීමෙන් කටයුතු කරන්න. නිතරම බෝධි පූජා තබන්න. විෂ්ණු දෙවියන්ට භාර වන්න. සිකුරු, බුධ දශා ගතකරන ඔබට යම් සුබදායක තත්ත්වයක් මතු වනු ඇත.

කුම්භ

සස යෝගයෙන් ලග්නය බලවත් වෙමින් ධන අය අධිපති බ්‍රහස්පති සමඟ 10 අධිපති ගේ ප්‍රබල ධන යෝග බලයෙන් ආදායම් සරු කරනු ඇත. මුදල් ආයෝජනය කිරීමට මහඟු කාලයකි. විවාහවීමට සුබ කාලයකි. විවාහක අඹුසැමියන් අතර ආදරය වැඩි වේ. කොටස් ව්‍යාපාරකරුවන්ගේ ආදායම් ඉහළ යනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. භාග්‍යස්ථාන අධිපති සිකුරු වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසා තම හැකියාවන් මනා ලෙස පෙන්වීමට අවස්ථාව උදාවේ. එහෙත් 2022 -07-12න් පසුව සෙනසුරු දොළොස්වැන්නට ආපසු යෑම අපලදායකයි. ව්‍යාපාර කටයුතු බිඳ වැටේ. තම සාර්ථක භාවය අහෝසි වේ. 2023 -01-17න් පසුව සුබදායකයි.

මීන

ධර්ම කර්මාධිපති යෝගය, ගුරු,හංස යෝගය ලග්නය තුළම බලවත් වීම තම සියලු කටයුතු ඔපවත්වන තම සිතැඟි ඉටු වන කාල සීමාවකි. අන්‍යයන් තමාගෙන් ගුරුහරුකම් ගන්නට පැමිණේ. එහෙත් දෙවැන්නේ රාහු සමඟ 8 අධිපති ගමන් කිරීම තම උඩඟුª අදහස් මෙන්ම තද වචන පාවිච්චි කිරීම නිසා හිතවතුන් අමනාප වන අතර ඔවුන් තමන්ට දෝෂාරෝපණය කරයි. ඔවුන්ගේ අප්‍රසාදයට තමාව ලක් වේ. එහෙත් ගුරු, කුජ, රවි දසා ගත කරන ඔබට වාසනාව පෑදෙයි. මාධ්‍ය හා තැපැල් ක්ෂේත්‍රවල නියුතු වූවන්ට වඩා සුබ පල ලැබේ. ගුප්ත සිදුවීමක් නිසා සියල්ල බිඳ වැටීමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කරන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.