කාලසර්ප යෝගය සර්පයකු තරම් විෂ ද?

අප්‍රේල් 15, 2022

කාලසර්ප යෝගය පිළිබඳව කතා කරන්නට හුරු පුරුදු වූයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය හරහාය.

විශේෂයෙන්ම ඡ්‍යොතිෂ පුවත්පත් බිහිවීමත් සමඟම එනම් හැටේ දශකයේ දී මේ ගැන වැඩිපුර පුවත්පත්වල ලිපි පළවිණ. මෙහි ඇති සර්ප කියන විටම විෂ සහිත නමක් නිසා වැඩිපුරම බියවන තත්ත්වයක් උපදී.

ඉතාම පැරණි පොත්පත්වල කාලසර්ප යෝගය ගැන එතරම් දක්වා නොමැත්තේ රාහු කේතු පිළිබඳව වඩා උනන්දුවක් නැති බැවිනි. එන්න එන්නම කාලය ගතවත්ම කාලසර්ප යෝගය ගැන වැඩි උනන්දුවක් දක්වන්නට වූයේ විවාහ වීමේදී වැඩියෙන් උලුප්පා දක්වන කරුණක් වූ හෙයිනි.

රාහු කේතු දෙදෙනාට මැදිවී සියලුම ග්‍රහයින් සිටින විට කාලසර්ප යෝගය උදාවන බැව් ඔබ දන්නා කරුණකි. රාහු කේතු දෙදෙනාගෙන් කිසිම ග්‍රහයකු පිට නොපැන සිටීමයි.

මෙය ඉතාම අවාසනාවන්ත යෝගයක් යැයි සමහරුන්ගේ එක්තරා මතයකි. ලෝපත ජන නායකයින්ගේ කේන්ද්‍රවල පවා කාලසර්ප යෝගය යෙදී ඇති බැව් ඇත්තකි. අධික උත්සාහ ධෛර්ය සම්පන්න පුද්ගල ජීවිතවල මෙම කාලසර්ප යෝගය පිහිටා තිබෙන බැව් පෙනේ.

ධනය, බලය , ශක්තිය, ජනපි‍්‍රයත්වය හා පෞරුෂය කාලසර්ප යෝගයෙන් කිසිම විටෙක පිරිහෙනු නොමැත.

ග්‍රහයින් එක පැත්තකට වී සිටි පමණින්ම කේන්ද්‍රයක අනික් භාවයන් දුර්වල වීමක් සිදු වෙයිද? තර්කය එය නොවේ. ඇතැම් කේන්ද්‍ර හිමියන්ට කිසියම් භාවයක ග්‍රහයකු තැන්පත්ව සිටීමට වඩා දෘෂ්ටිගතවීම හරහා සුබඵල ලැබේ. කවුරු කෙසේ පැවසුවත් කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත නොවේ.

ඉතාම සාර්ථක ලෙස තම ව්‍යාපාරිකයින්ගේද කාලසර්ප යෝග යේදී ඇති බැව් පෙනේ. ඒ අයගේ ව්‍යාපාර බිඳ වැටී නැත. එන්න එන්නම දියුණුවේ මුදුන් පෙත්තටම නැඟී ඇති බැව් දක්වමු.

එක්තරා ප්‍රකට විවාහක කාන්තාවකට ඇගේ කේන්ද්‍රයේ කාලසර්ප යෝගය නිසා දරුවන් නොමැති බව කියා ඇති නිසා ඇය බියපත් වූවාය.

එහෙත් එය කාලසර්ප යෝගයක් නොව සැමියාගේ ශාරීරික පැවැත්මේ ස්වභාවයක් නිසාය. ඒබැව් පසුව දැනගන්නා ලදී. කේන්ද්‍රයක මේ කාලසර්ප යෝග යෙදී තිබුණ විට තීරණයකට නොබැස අන්‍ය ග්‍රහ යෙදීම් යෝග දෘෂ්ටි රාහු කේතු දෙදෙනාගේ මහ දශා, අන්තර් දශා, දශා අධිපතීන් හා පවත්නා සබඳතාවයන් ලග්නාධිපතියාගේ සහ නවවැන්නාධිපතියාගේත් දශවැන්නාධිපතියාගේත් බලශක්තිය දුර්වලකම් ගැන බැලිය යුතුයි.

එකවරම කාලසර්ප යෝගයක් තිබෙන නිසා ජීවිත අසාර්ථකත්වයට පත්වන්නේ යැයි කෙනකුට පැවසූ විට එමඟින් මානසික පීඩනයකට ගොදුරු වී ජීවිතයම ඇදවැටෙන තැනකට පත්වේ.

මා දන්නා පරිදි එක් ප්‍රකට ලාංකීය කලා විශාරදයකුගේ කාලසර්ප යෝගයක් යෙදී තිබිණ. නමුත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට නමක් දිනාගෙන ආර්ථිකය හා විවාහය ද අතිසාර්ථකව ගෙවු බැව් දක්වමි. වාමාංශික ව්‍යාපාරයේ විශිෂ්ටතම අති දක්ෂ දේශපාලනඥයකුගේ කේන්ද්‍රයේ කාලසර්ප යෝගයක් යෙදී තිබිණ. නමුත් ජීවිතයේ ඉහළම තලයට ගොස් නැවතිණ.

මේ අනුව බලන විට මෙහි වඩාත්ම භයානක තත්ත්වය උදාවන්නේ විවාහයට පොරොන්දම් බලන විටදී කාලසර්ප යෝගයක් දුටු විට වෙනත් ග්‍රහයින් ගැන ගැඹුරින් නොබලා පලාපල ප්‍රකාශ කිරීමෙන් වෙන්නට තිබුණ විවාහයක් නවතින තැනට පත්වේවි. උඩින් පල්ලෙන් කේන්ද්‍ර බැලීම නිසා වන විනාශය ගැන කියනුම කවරේද?

සමහර විට ඔබේ කේන්ද්‍රයේ කාලසර්ප යෝගයක් පිහිටා තිබෙන්නට පිළිවන. එහෙත් ඒ ගැන අහේතුකව බියට පත් නොවී ගැඹුරින් කේන්ද්‍රය විමසා බැලීම ඉතාම වැදගත්ය.

එය හරියට බිරිඳගේ කේන්ද්‍රය පමණක් බලා දරු ඵල නොමැති බව කේන්ද්‍රයේ තිබෙන ග්‍රහ හැසිරීම නිසා බැව් කියන කියමන වගේය. පිරිමි කේන්ද්‍රය තුළ දාරක සම්පත් ප්‍රමාණය රැඳී ඇත්තේ එය හෝමෝන හා කෝටිසෝල් සංයුතිය අනුව අවසන් නියුලැක් ග්‍රන්ථියේ පිටිහරය, ක්‍රොමසොන් වල ඇති බීජානු ශක්තිය එනම් දාරක සම්පත් ඇති වේ. බොහෝ මිථ්‍යාමත වල ප්‍රතිඵල නිසා ජීවිතයේ වැදගත්ම තීරණ තීන්දු ගැනීම අයාලේ ගොස් තිබෙන බැව් නම් වඩාත් පැහැදිලි වේ. ඒ ගැන අපි මීට වඩා විමසිලිමත් වීම නුවණට හුරුයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.