ඡ්‍යොතිෂයේ වැදගත්කම දැන ‍නව වසරට පාතබමු

ජනවාරි 7, 2022

බැබලීම –ආලෝකය – දීප්තිය යන්න ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ අරුතයි. අනාදිමත් කාලයක සිට පැවත එන මේ මාහැඟි විෂයය අද කොතෙක් ලොව දියුණු වුවද මුල් තැනේ වැජඹෙයි. ඡ්‍යොතිෂය බොරුයයි එම විෂයයට ගරහන මූලධර්මවාදී අතළොස්සක් පිරිස නිසා යම් තරමකින් එයට අවමානයත් සිදුවුව ද බහුතරයක් පිරිස මෙය ජීවිතය පුරාවටම අදහන අනුගමනය කරන තත්ත්වයක් පවතින නිසා එදාමෙන් අදද බැබළෙන මෙම විෂයය ඔබට අපට මහත් මෙහෙයක් ඉටු කරයි. නව වසරක් උදාවෙද්දී නව අවුරුද්දක් එළඹෙද්දී නිමේෂයෙන් ජනතාවගේ සිතේ මැවෙන මේ නැකැත් ශාස්ත්‍රය අද වන විට අප රට පුරා මුල්බැසගෙන තිබීම සතුටට කරුණකි.

 

දරුවකු මෙලොවට බිහිවීමටත් පෙර මවුකුසදීම එම දරුවා සුබ දවසක, සුබ වේලාවක මෙලොවට බිහිකර ගැනීමට ඡ්‍යොතිෂවේදියා ළඟට එන්නේ මහත්වූ අභිලාෂයකිනි.ඊට පසු එම දරුවාටම සුදුසු නාමාක්ෂර ඉල්ලා ගැනීමට නමක් තැබීමට, හිසකෙස් කැපීමට, රන්කිරි කට ගෑමට, ඉඳුල් කට ගෑමට, අත්පොත් තැබීමට, දියණියක් නම් මල්වරයට අනතුරුව විවාහයට සුබ නැකැතක් සාදවා ගැනීමට හා සෙසු අවශ්‍යතා අනුව නිවසක් තැනීමට ළිඳක් කැපීමකට. වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භයට, වගාවක් සිදුකිරීමට හා තව බොහෝ කටයුතුවලට සුබ නැකැතක් සාදවා ගැනීමට ඡ්‍යොතිෂවේදියාගේ පිළිසරණ අපේක්ෂාකරන පිරිස අද එන්න එන්නම වැඩිවී තිබේ. රටේ තොටේ සිදුවන ව්‍යසනයකදී ග්‍රහ මාරුවකදි මෙන්ම තව විවිධ අවස්ථාවලදීද ඡ්‍යොතිෂයේ පිහිට පැතීමට අද බොහෝ දෙනා සිතට ගෙන තිබීම අපිට අපේකම හුවා දැක්වීමක් වැන්න. විශේෂයෙන් එවැනි බාරදූර අවස්ථාවකදී අප ළඟට දිව එන පිරිස ඒ තරමටම ඡ්‍යොතිෂය විශ්වාස කරති. ඉරහඳ නිරතුරුවම පායනා බව දැක දැකත් එය බොරුයයි කියන අන්ධ ස්වභාවයේ නොමිනිසුන් මේ කරන ගැරහුම් අසන්නට ලැබුණේ අද ඊයේ නොවේ. අපට අපේ සංස්කෘතිය පිළිබඳ වටහාදෙන දෙවිදේවතාවුන් පිළිබඳ විශ්වාසය ඇති කරන ඡ්‍යොතිෂය සමහරුන්ට නයාට අඳුකොළ වැන්න, කෙනකු දෙවියන් පිළිබඳ ඇති බිය හා ගෞරවාදරය නිසා කිසියම් වරදකින් වැළකෙනවා නම් එය මොනයම් විෂයයක් වුවද ජනතාවට පිළිසරණකි. එහි ඇති පාඩුවක් වේද?! යහපතක් මිස ඉන්වන අවැඩක් පිළිබඳව නම් මම නොදනිමි. මෙය අමානුෂික ලෙස ගැරහීමට ලක්කරන හිමිවරු පවා විවිධ ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ කරන නිගාව හරියට තම ගෙල තමාගේම සියතින්ම සිඳ ගන්නාක් බඳුය. එහෙත් ඡ්‍යොතිෂය ගැන තබා ඡ්‍යොතිෂයේ එකපොතක් හෝ කියවා නැති අදමයින් මේ පිළිබඳ බොරුයයි කීම පිළිබඳ මට ඇත්තේ විමතියකි. කිසියම් විෂයයක් බොරුයයි කියනවා නම් ඔහු හෝ ඇය එම විෂය පිළිබඳ අල්ප මාත්‍රයක් හෝ දැන සිටිය යුතුය. ප්‍රගුණ කළ යුතුයි. එහෙත් ඒ විෂය පිළිබඳ අයනු ආයනු පවා නොදත් පිරිස් මේ පිළිබඳ විවේචනාත්මක විග‍්‍රහයක යෙදී එයට අපහාස කිරීමට කිසිම අයිතියක් ඔවුනට නැත.

තත්ත්වය එසේ තිබිය දී නව වසරක උදාව හෝ සිංහල අලුත් අවුරුද්ද දිනකදී ඒ පිළිබඳ සුබ නැකැත් පිළිබඳ පිරිස් යොමුවීම හෝ සෙනසුරු , රාහු, කේතු, ගුරු වැනි ප්‍රබල හා දිගුකලකට පසු රාශි මාරු කරන ග්‍රහ මාරුවකදී පිරිස් තුළ ඇති බිය සැක නිසාම ඒ දිනවල අපට අපේ කාර්යාල දුරකථනවලට ඉස්පාසුවක් නැත. ඒ තරමට මිනිස් සිත් සතන් මෙම විෂයය අත්පත්කරගෙන ඇති බව පෙනේ. ඒ අනුව කිසියම් අසුබවාදී මොහොතක් නම් විහාරස්ථානයට ගොස් බෝධි පූජා තබා අදාල දෙවිදේවතාවුන්ට බාරහාර වී කරන සිත් සෝධනය මිනිස් යහපත පිණිස මිස ඉන් කිසිවකුට කිසිවිට සිදුවන අවැඩක් නොවේ. ඒ හැරෙන්නට අපි සිංහල අලුත් අවුරුද්ද දෙස බලමු. එකම වේලාවට ආහාර පිසීම, එකම වේලාවට අනුබව කිරීම, එකම වේලාවට වැඩ අල්ලන, එකම වේලාවට හිසතෙල් ගෑම යන සුබ කටයුතු රැසක් පිළිබඳ ලොව අන් කිසිඳු රටක් අප දැක නැත. මේ එකමුතුව මේ සංහිඳියාව අප ශ්‍රී ලංකාව තුළ මිස වෙත කිසිඳු රටක නැත. එහෙයින් මේ මාහැඟි ප්‍රබල විෂයය අප සුරක්ෂිතකර ගනිමු. ඔබට සුබ නව වසරක් වේවා!

 

ඡ්‍යොෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.