විවාහ ජීවිතය අවුල් කරන පරිවර්තන යෝග ඔබේ කේන්ද්‍රයේත් තිබෙනවාද?

දෙසැම්බර් 24, 2021

විවාහය යනු විනෝදයට කරන ක්‍රියාවක් නො වේ. සෑම කෙනෙක් ම විවාහ වන්නේ දෙදෙනා අතර මුළු ජීවිත කාලයට ම සාර්ථක යුග දිවියක් ගත කිරීමටය. කොතරම් සාර්ථක යුග දිවියක් ගත කිරීමට උත්සාහ කළත් ජීවන ගමන යන විට වරින් වර බාධක, කරදර හා ප්‍රශ්න මතු වී විවාහය දෙදරා යාමට ඉඩ ඇත.

විවාහ මංගල උත්සවයක නෑදෑ හිතවතුන් එක් වී මංගල කටයුතු චාරිත්‍රානුකූලව සිදු කොට මධුසමයට යන්නේ දහසක් බලාපොරොත්තු තුරුල් කර ගෙන ය. මුළු ජීවිත කාලය තුළම මධු සමයක් ලෙස හිතාගෙන කටයුතු කළත්, අවසානයේ නො සිතූ ලෙස දෙදෙනා අතර විවාහය බිඳ වැටෙන්නේ ග්‍රහයින් ගේ විවිධ බලපෑම් මත ය. සමහර විට මංගල රාත්‍රියේ ම විවාහය බිඳ වැටෙන අවස්ථා ද අප අසා ඇත. නැතිනම් කාලයක් ගත වී ගොස් විවාහ ජීවිතය අසාර්ථක වී දෙදෙනා වෙන් වේ.

ඡ්‍යෝතිෂය පැත්තෙන් බලන විට විවාහය අසාර්ථක වීමට හේතුවන විවිධ ග්‍රහ බලපෑම් ඇත. අප පෙන්වා දෙන්නේ හඳහනක 7 වෙනි භාවයේ අධිපතියා 8 වෙනි භාවයෙත්, 8 වෙනි භාවයේ අධිපතියා 7 වෙනි භාවයෙත් සිටින විට විවාහ ජීවිතය අසාර්ථක වෙන බව ය. මෙම පරිවර්තන යෝගයකි.

හඳහනේ 7 වෙනි භාවය විවාහය සඳහා වෙන් කර ඇත. 8 වෙනි භාවය දුෂ්ට ස්ථානයකි. ලිංගික ක්‍රියාකාරීත්වය 8 වෙනි භාවයෙන් පෙන්නුම් කරයි. 7 වෙනි භාවයේ අධිපතියා දුෂ්ට ස්ථානයක් වන 8 වෙනි භාවයට ගිය විට විවාහ ජීවිතය අවුල් කරයි.

එ මෙන්ම 8 වෙනි භාවයෙන් 12 වැන්න 7 වෙනි භාවය වේ. 12 වැන්නෙන් කියවෙන්නේ විනාශයයි.8 වෙනි භාවයේ අධිපතියා 7 වැන්නට ගිය විට විවාහය විනාශ කරයි. 8 වැන්න ඍජුවම ලිංගික ක්‍රියාකාරිත්වය බලපායි. මෙම පරිවර්තන යෝගය විවාහ ජීවිතය විනාශ කොට පවුල් ජීවිතය සාර්ථක ලෙස ගත කිරීමට ඉඩ නො දෙයි.

මෙම 7 වෙනි භාවය හා 8 වෙනි භාවය තිබෙන පරිවර්තන යෝගය විශේෂයෙන් විවාහයට බලපානු ඇත. පොරොන්දම් බැලීමට පෙර හඳහන් දෙකේ 7 වැන්නේ හා 8 වැන්නේ මෙම පරිවර්තන යෝගය තිබේ දැයි අනිවාර්යෙන්ම බැලිය යුතුය.

ලග්න 12 ට 7 වෙනි හා 8 වෙනි භාවවල සිටින අධිපතියා පළමු ව හඳුනා ගන්න

ලග්නය -7 වෙනි රාශිය හා අධිපතියා - 8 වෙනි රාශිය හා අධිපතියා

මේෂ - තුලා සිකුරු - වෘශ්චික කුජ

වෘෂභ - වෘශ්චික , කුජ – ධනු ගුරු

මිථුන – ධනු ගුරු – මකර ශනි

කටක - මකර ශනි – කුම්භ ශනි

සිංහ – කුම්භ ශනි – මීන ගුරු

කන්‍යා – මීන ගුරු – මේෂ කුජ

තුලා – මේෂ කුජ – වෘෂභ සිකුරු

වෘශ්චික – වෘෂභ සිකුරු – මිථුන බුධ

ධනු – මිථුන බුධ – කටක සඳු

මකර – කටක සඳු – සිංහ රවි

කුම්භ – සිංහ රවි – කන්‍යා බුධ

මීන – කන්‍යා බුධ – තුලා සිකුරු

ඉහත සටහන අනුව ලගන 12 ට 7 වෙනි හා 8 වෙනි භාවවල සිටින අධිපතියන් ගේ පරිවර්තනය පහත දැක්වේ.

1.මේෂ ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ කුජ හා 8 වෙනි භාවයේ සිකුරු

2.වෘෂභ ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ ගුරු හා 8 වෙනි භාවයේ කුජ

3.මිථුන ලග්නයෙන් උපන්නේ නම් 7 වැනි භාවයේ ශනි හා 8 වෙනි භාවයේ ගුරු

4.කටක ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ ශනි හා 8 වෙනි භාවයේ ශනි. මෙම භාව දෙකටම එකම ග්‍රහයෙක් නිසා කටක ලග්නයට පමණක් මෙම පරිවර්තනය යෙදෙන්නේ නැත.

5.සිංහ ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ ගුරු හා 8 වෙනි භාවයේ ශනි

6.කන්‍යා ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ කුජ හා 8 වෙනි භාවයේ ගුරු

7.තුලා ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ සිකුරු හා 8 වෙනි භාවයේ කුජ

8.වෘශ්චික ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ බුධ හා 8 වෙනි භාවයේ සිකුරු

9.ධනු ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ සඳු හා 8 වෙනි භාවයේ බුධ

10.මකර ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ රවි හා 8 වෙනි භාවයේ සඳු

11.කුම්භ ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ බුධ හා 8 වෙනි භාවයේ රවි

12. මීන ලග්නයෙන් උපන්නේ නම් 7 වෙනි භාවයේ සිකුරු හා 8 වෙනි භාවයේ බුධ

මේ ආකාරයට හඳහනේ පරිවර්තනය වී තිබේ නම් විවාහ ජීවිතය අසාර්ථක වේ.

මේෂ ලග්නයෙන් උපන් අයෙකු ගේ මෙම පරිවර්තන යෝගය පහත සඳහන් කොටුවෙන් බලා ගැනීමට පුළුවන. 7 වෙනි භාවය තුලා වේ. එහි අයිතිය සිකුරු ට ය. 8 වෙනි භාවය වෘශ්චික වේ. එහි අයිතිය කුජටය. පරිවර්තන යෝගය යෙදෙන්නේ මෙසේ ය. 7 වෙනි භාවය අධිපති සිකුරු 8 වෙනි භාවයේ සිටියි. 8 වෙනි භාවයේ අධිපති කුජ 7 වෙනි භාවයේ සිටියි.

අනෙක් රාශි ද මේ ආකාරයෙන් බලන්න. මෙම පරිවර්තන යෝගය ගැන පැහැදිලි අවබෝධයක් ඔබට ඇත.

7 වැන්නාධිපති හා 8 වැන්නාධිපතිගෙන් යෙදෙන මෙම පරිවර්තන යෝගය නිසා විවාහය සම්බන්ධයෙන් අසුබ ඵල ගෙන එයි. මෙවැනි පරිවර්තන යෝගයක් පුරුෂ හෝ ස්ත්‍රී හඳහනක තිබේ නම් වැඩිකල් පවුල් කන්නේ නැත. දෙදෙනාගේ විවාහ ජීවිතය සාර්ථක නොවේ. විවාහය කඩාකප්පල් වේ. නොසිතූ කරදරවලට මුහුණ පෑමට සිදු වේ. දෙදෙනා අතර සමගිය බිඳ වැටෙන අතර නැති නම් අයථා සම්බන්ධතා නිසා පවුලේ ඝට්ටන ඇතිවී විවාහය වෙන් කරයි.8 අධිපතියා 7 වෙනි භාවයේ සිටින විට දෙදෙනාගෙන් කෙනෙකු ලිංගික දුබලතාවයට පත් වීමට ඉඩ තිබේ.

මෙම පරිවර්තන යෝගය යෙදෙන අවස්ථාවක 7 වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි නිසා මෙම අවුල් තත්ත්වය තව වැඩි කරයි. උදාහරණ වශයෙන් කේතු ලග්නයේ සිටින විට රාහු 7 සිටියි.7 වැන්න කේතු දකී නම් ලිංගික දුබලතාවයක් ඇති වේ. 7 වැන්නේ රාහු සමඟ 8 වැන්නාධිපති එක් වීමෙන් ද ලිංගික ප්‍රශ්න වර්ධනය කරයි. මෙම පිහිටීම පුරුෂයෙකුට තිබේ නම් තම බිරිඳ අනාචාරයේ හැසිරීමට හෝ ගණිකා වෘත්තියට යොමු වේ. රාහු නිතරම බලන්නේ විවාහය වෙන් කිරීමයි. කේතු උත්සාහ කරන්නේ ශරීරය ලෙඩ කිරීමටයි. එසේ ලෙඩ වීමෙන් සමාජ රෝගවලට ගොදුරු වේ.

තව පැත්තකින් මෙම පරිවර්තන යෝගයට කුජ ගේ දෘෂ්ටිය 7 වැන්නට වැටේ නම් දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇති වෙයි. කුජ සටනට කැමතියි. මෙම ගැටුම දුර දිග ගොස් ඝාතනයකින් කෙළවර වීමට ඉඩ ඇත. කුජ ග්‍රහයා 1,4,12 තැන්පත් වී එම පාප දෘෂ්ඨිය 7 ට වැටේ නම් විවාහය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

පාප ග්‍රහයකු වන සෙනසුරු 7 වැන්නට වැටේ නම් සැමියාගේ හෝ බිරිඳ ගේ අයථා සම්බන්ධතා නිසා විවාහය වෙන් කරයි. දුකට ලැදි සෙනසුරු සතුටට කැමති නැත. 10,1,5 සෙනසුරුගේ දෘෂ්ටි 7 වැන්නට වැටේ නම් අයථා සම්බන්ධතා නිසා විවාහය දෙදරා යයි. මෙම පරිවර්තනය යෝගය හා 7 වැන්නට වැටෙන දෘෂ්ටි බලා විවාහයට සුදුසු සහකරු හා සහකාරිය තෝරා බේරා ගත යුතුය.

පොරොන්දම් බැලීමට පෙර හඳහන් කොටුවල මෙවැනි ග්‍රහ දෝෂ තිබේදැයි විමසා බලා විවාහයට සුදුසු ද? නැද්ද? යන්න තීරණය කරන්න. නැතිනම් දෙදෙනාගේ පවුල් ජීවිතය විනාශ වීමට ඉඩ ඇත.

ඡ්‍යොතිර්වේදී ග.මු.සුබසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.