ග්‍රහ ලොව චණ්ඩියා

දෙසැම්බර් 10, 2021

අඩදබර රණ්ඩු කෝලාහල ඔහුට ගාණක් නැත. කරදර තුවාලවලට භය සැක නැත. ලේ දැකීම පී‍්‍රතියකි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ද කැමති වේ.

සෙනසුරු වාගේ අල්ලාගෙන දුක් කරදර වදදෙන සිරිතක් අඟහරුවාගේ නැත. කරන දේ එකවරම කර එයින් අයින් වෙයි. මොන දෙයකට ගියත් දක්ෂකමක් පෙන්වයි. ඉගෙන ගන්නා වයසේදී පාසලේ සෑම විෂයන්ට පෙනී සිටින කෙනෙක් වෙයි.

ක්‍රීඩා කරන කාලයේදී වෙනත් අයකුට වඩා උද්‍යෝගයෙන් වේගයෙන් එහි යෙදෙයි. වෙළඳ ව්‍යාපාර වලට ද දක්ෂවන අතර සූර ලෙස කටයුතු කර බොහොම ඉක්මනින් මුදල් හම්බ කරයි. කිසිවිටක කම්මැළිව නිදිමතව අනලස්ව නොසිටියි. වේගවත් අයකු බැවින් එක තැනකට වී නිකරුණේ සිටීමට අකමැතිවේ.

නිලධාරියකු වශයෙන් ගත් විට හොඳ තේජවන්ත නිර්භීත නිලධාරියකු ලෙස ප්‍රසිද්ධ වෙයි. ගුරුවරයකු වශයෙන් යෙදුණ හොත් අනිත් ගුරුවරුනට වඩා මොනයම් හෝ අංශයකින් ප්‍රසිද්ධව පෙනෙන කෙනෙක් වෙයි.

ලග්නයේ සිටින අඟහරුවා උද්‍යෝගයත්, වේගයත් දෙයි. නිතරම පිබිදුණු ගතියකින් යුතු කරන්නට සිතෙන දේ බාධක මැද වුවත් ධෛර්යවත්ව කරන අයෙකි. හිසේ තුවාලයක් සාදා නොමැකෙන කැළලක් ඉතුරු කරයි. එය කිසිකලක අමතක නොවන අන්දමේ තුවාලයක් වෙයි.

බලවත් ග්‍රහයකු සමඟ සෞම්‍ය රාශියක ශුභ දෘෂ්ටි ලබා සිටිය හොත් එවැනි තද පහරක් නොදී යන්නට ද ඉඩ තිබේ.

දෙවැන්නේ කුජ සිටිවිට වාග් ශක්තිය ඇති කරයි. කටහඬ ශබ්ද වේ. හිමින් කතා කිරීමට බැරිය. ගොරෝසු කටහඬ හෝ විය හැකිය. වචනවල වේගවත් ගතියක් ඇත. වචනය අණදෙන්නාක් මෙන් වේ.

මුදල් ඉපයීමට දක්ෂය. කෙසේ හෝ ඕනෑ දෙයට මුදල් උපයා ගනී. ඒවාගේම වියදමට ද සූදානම් ය. කාගෙන් ඉල්ලුවත් ලැබේ. ධනය ඉතුරු කිරීම ටිකක් අමාරුසේ පෙනේ. පුරුෂ කේන්ද්‍රයක දෙකේ අඟහරුවා සිටි කල භාර්යාවට තද ඇල්මක් දැක්වුවත් එක හිතින් බොහෝ කල් ජීවත්වීම අමාරු වෙයි. නැත්නම් භාර්යා හානියට ද හේතු වෙයි.

පුද්ගලික වශයෙන් කේන්ද්‍ර හිමියාගේ මුහුණේ ලේ ගලන තුවාලයක් වී කැළලක් ඉතුරු කරයි. උගුරේ සෙම් ගෙඩි සාදා ශෛල්‍යකර්මවලට පවා යොමුකරවයි. දශාව ආවොත් දත් ගලවා දමයි. ඇස්වලට වුවත් හානි ගෙන දීමට ඉඩ තිබේ. කුජ ඇස්වලට සම්බන්ධ නොමැති වුවත් රවි, ශුක්‍ර ආදින් සමඟ සම්බන්ධ වුව හොත් එසේ වීමට ඉඩ තිබේ.

කුජට තුන්වැන්නෙන් හොඳ බව කියා තිබේ. කුජ වික්‍රමාන්විත ග්‍රහයා බැවින් වික්‍රමස්ථානය වූ තුන්වැන්නේ කුජ සිටින විට මොන දෙයකින් හෝ දක්ෂකමක් උසුලයි. තුන්වැන්න සහෝදර ස්ථානය ද වන අතර කුජ සහෝදර කාරකයා බැවින් සහෝදරයන්ට එතරම් යහපත් නොවේ. සහෝදරාදීන් අතර වුවත් ප්‍රධානත්වයක් ලබාගෙන කටයුතු කිරීමට බලයි. බාල, සහෝදරයන්ට එතරම් යහපත් නොවේ.

අත්වලට හෝ පපුවේ උඩ කොටසට යම්කිසි වේදනා සහිත රෝගයක් හෝ තුවාලයක් කරයි.

අඟහරුවා හතරේ සිටීම වැඩි හොඳක් නොකරයි. එසේ වීමට හේතුව හිතට අධිපති චන්ද්‍රයාට සාමාන්‍යයෙන් අයිති හතර, ඒ චන්ද්‍රයාටම දිග්බල ස්ථානය බැවින් හිත පිළිබඳ උසස් තත්ත්වයක් නැති ක්‍රියාකාරිත්වයට වැඩි කුජට එතන නොගැලපෙන බැවිනි. උරුමයෙන් ලැබෙන ඉඩම්, ගෙවල් ආදිය ගැන නොසලකා ඒවා නැති කර ගන්නා අතර හිතේ දරුණු තද ගතියක් ද ඇතිවේ. පෞද්ගලික වශයෙන් දියුණු වීමට කුජ 4 සිටීම නරක නැත. බලය ලැබුණොත් බොහෝ දියුණුවන අතර ස්ථිර දේපළ හිමියෙක් වෙයි.

පස්වැන්නට ද කුජ ග්‍රහයා ශුභඵල අත්කර නොදෙනු ඇත. පස්වැන්නෙන් කියවෙන අධ්‍යාපන කටයුතු වලට කුජ උදව් නොකරයි. උසස් ඉගෙනීමට බාධා පමුණුවන අතර, කුජ වේගවත් ග්‍රහයකු බැවින් කුජ පස්වැන්නේ සිටින අයකු ස්වකීය චරිතය කැළැල් කර නොගෙන සිටින කෙනකු සෙවීම අමාරු කාර්යයකි. කුජ පහේ සිටි විට බොහෝ කොට උපදින්නේ පිරිමි දරුවෙකි.

උපචය ස්ථානයක් වූ හයට කුජ යහපත් වන අතර ආහාර දිරවීමට හොඳ පිහිටීමකි. බොහෝ විට උස මහත හොඳ ශරීරයක් වෙයි. සේවක පාලනයට ද යහපත් වන අතර පවතින බඩේ අමාරු ඇති කරයි. මනුෂ්‍යයාගේ ලෞකික දියුණුවට කුජ හය වැන්නේ සිටීම බලවත් උපකාරයකි. ස්ත්‍රීන්ට නම් ගර්භාෂයේ දෝෂ ඇති කරයි. ගබ්සාවීම් අධික ශුද්ධවීම් ඇතිකරයි.

හත්වැන්නේ කුජ ස්ත්‍රියට හෙවෙත් වුවත් පුරුෂයාට ශුභ නොවේ. හතේ කුජ සිටින කේන්ද්‍රවලට හතේ ගුරු සිටින කේන්ද්‍ර හොඳට ගැළපේ. ගුරුට සහකාර සම්බන්ධය ටික කලකදී එපා වෙයි. කුජට කිසි කලක එපා නොවේ. දෙකට දෙක හොඳට එක්වූ කල හොඳට ගැලපේ. හතේ ශනි සිටින කේන්ද්‍ර ද යහපත් වෙයි. විවාහය නොකඩයි. කුජගේ කලබලකාරි ගතියට සෙනසුරුගේ හීන්සැරය හොඳට ගැළපෙයි.

8 වැන්න කුජට එතරම් යහපතක් නොදෙන අතර කුජ 8 සිටීම විවාහ ජීවිතයට යහපත් නොවේ. අට මාරකස්ථානය බැවින් හදිසි තුවාල , හදිසි මරණ වලට හේතු වේ.

නවයට කුජ නරක නැති අතර ලෞකික වශයෙන් දියුණුව ගෙනදෙනු ඇත.

පියාගේ අදහස්වලට විරුද්ධව කටයුතු කරන අතර ගුරුවරු වැඩිහිටියන්ට ආගම ධර්මයට ගරු නොකරයි.

10 වැන්න දික්බල ස්ථානය බැවින් අඟහරුවාට හොඳම තැන 10 වැන්න වන අතර කම්මැළි නැති අතර දිවා රාත්‍රී දෙකෙහිම වෙහෙස මහන්සි නොබලා කටයුතු කරයි. ව්‍යාපාර කටයුතු වලට යහපත් වන අතර රජයේ රැකියාවලට හෝ එක තැනකට වී කරන සියුම් රැකියා ගැළපෙන්නේ නැත.

එකොළොස්වැන්න ද යහපත් තැනක් වන අතර පොළොවෙන් ආදායම් ලැබීමට හොඳ පිහිටීමකි. වැඩිමහල් සහෝදරාදීන් හා සම්බන්ධය අඩුවන අතර, සමහර විටක බාල සහෝදරාදින් ගැන ද ඒ තත්ත්වය පවතී.

කුජ එකොළහේ සිටිවිට කකුලක ලොකු ලේ ගලන තුවාලයක් නැතුව යන්නේ කලාතුරකිනි.

12ට එතරම් යහපත් නොවන අතර අප්‍රවේශමින් කටයුතු කරන නාස්තිකාර ගතියක් ඇති කරයි. වියදම් අධික වන අතර බලාපොරොත්තු රහිත වියදම් යෙදෙනු ඇත.

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.