කොටියාගේ රාශියට මේ වසර සුබයි

චීන ජ්‍යොතිෂයෙන්
ජුනි 9, 2023

 

අප කොතරම් අප ගැන දැන සිටියද, වෙනත් අයකු අපගේ තොරතුරු හා අපේ අනාගතය ගැන පවසන දෑ ඇසීමට අපි කැමැත්තෙමු. ඒ මනුෂ්‍ය ස්වභාවයයි. චීන ජෝතිෂ්‍යයට අනුව කොටියාගේ රාශියේ පුද්ගලයන්ට මේ වසර කෙසේදැයි අපි දැනගනිමු.

1938, 1950,1962, 1974, 1986, 1998, 2010, 2022 යන වසරක ඔබ ඉපදී ඇත්නම් කොටියාගේ රාශියේ ඉපදී තිබේ.

 

කොටියාගේ රාශියේ ඉපදුණ ඔබගේ ගතිගුණ චීන ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේ මේ අයුරිනි. කොටියාගේ රාශියේ ඉපදුණ ඔබට තියුණු සංවේදනයන් හා තියුණු ඇස් පෙනීමක් ඇත. කොටියා බලයේ සංකේතයයි. එමනිසා කොටියාගේ වසරේ උපන් අය තරමක් කල්පනාකාරී හා ජවසම්පන්න බවින් යුක්තය. එමෙන්ම ඔවුන් අධිෂ්ඨානශීලී සහ නොපසුබට වීර්යයෙන් යුතු අතර එය ඔවුන්ගේ නායකත්ව ගුණය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

මොවුනගේ පෞරුෂය ශක්තිමත් ය. හිත හදා ගත් පසුව පහසුවෙන් එය වෙනස් කළ නොහැකි ය. තමා පැවසූ දේ ගැන ඔවුන් කිසිවිටෙක පසුතැවෙන්නේ නැත. එසේ වන්නේ ඔවුන් උපත ලබන්නේ ස්ථීර භාවය හා විශ්වාසය සමගින් බැවිනි. ඔවුන් සෑම විටකම බලයේ හා අධිකාරියේ ප්‍රතිරූපයකින් මිනිසුන් ආකර්ෂණය කරගනී. කොටියාගේ රාශියේ උපන් අය අවංකය. නිතරම තම හැඟීම් ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටින නිසා පහසුවෙන් අන් අයගේ විශ්වාසය දිනාගත හැකිය. අසාර්ථකත්වය පිළි ගැනීමට ඔවුනට අපහසුය. එබැවින් ඔවුහු සාර්ථක වීමට දැඩි ලෙසින්ම අධිෂ්ඨාන කරගෙන සිටිති. සාධාරණත්වය, යුක්තිය පිළිබඳ හැඟීමෙන් සිත පිරී ඇති නිසා අන් අයගේ ගැටලු උණුසුම් හදවතින් විසඳා ගැනීමට සමත් පුද්ගලයන් වේ.

මොවුනගේ පෞරුෂය තුළ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ, ඉතා නිශ්ශබ්ද හෝ ඕනෑවට වඩා කතා කිරීමේ ගති ඇති පුද්ගලයන් වීමයි. ඔවුන් තම හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාසයෙන් සිටින නිසා කණ්ඩායම් වැඩවලදී හොඳීන් කටයුතු කිරීමට අපහසු වේ. ඔවුනගේ සිතුවිලි වෙනත් අයෙක් ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන් එය වටහා ගනුයේ ආක්‍රමණශීලී ආකාරයකිනි. මෙම රාශියේ පුද්ගලයන් ඉක්මනින් ජයග්‍රහණ ලබාගැනීමට සහ ක්ෂණික ප්‍රතිලාභ ලබාගැනීමට උත්සුක වන නමුත් තමා කරන යම් කටයුත්තකදී අසාර්ථක වීමෙන් කලකිරීමට පත්වේ. එසේ වන්නේ ඔවුන් ජයග්‍රහණයට ප්‍රිය බැවිනි. එම නිසා ඔවුනගේ විවාහ ජීවිතය ද වඩාත් ලෞකික එකක් විය යුතුය. දැඩි ආත්මාර්ථකාමීත්වය නිසා ඔවුනට සැබෑ මිතුරන් ඇතිකර ගැනීම දුෂ්කරය.

මොවුන් වැඩ කිරීමේදී ක්‍රියාශීලී හා ජවසම්පන්න පුද්ගලයන් වේ. අලුත් දේ පිළිගැනීමට නිර්භීත වන අතර නිවැරදි තීරණ ගැනීමට ද හැකියාව ඇත. ඔවුන් පවතින අධිකාරියට බිය නොවන අතර ඔවුනගේ ප්‍රධානියාගේ අඩුපාඩු වුවද ඍජුවම පෙන්වා දෙනු ඇත. ඔවුන් වෘත්තියෙහි සම්පූර්ණයෙන්ම කැප වී සිටින පුද්ගලයන් වේ. මෙම පුද්ගලයන්ගේ පෞරුෂ ලක්ෂණ ස්ථාවර නොවේ. නායකත්වය සමඟ උපත ලද මොවුන් දේශපාලනයේ හෝ ආර්ථිකය අංශයේ විශිෂ්ට කළමනාකරුවන් වීමට වඩා සුදුසුයි.

මුදල් ගැන එතරම් තැකීමක් නොකරයි. නමුත් ඔවුන් දුප්පතුන් නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුහු ජීවිතයට රුකුලක් ලෙසින් හොඳ මානසික තත්ත්වයක් තිබිය යුතු බවට විශ්වාස කරති. නමුත් ඔවුන් වෙහෙස වී වැඩ කිරීමට හේතුව එය නොවේ. ඔවුන් සතු හැකියාවන් නිසා වඩා හොඳ දිවියක් ගත කළ හැකිය. ත්‍යාගශීලී වන අතර අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ඕනෑම වේලාවක උපකාර කිරීමට සූදානම්ය. මුදල් ඉතිරි කිරීමේ සමතුන් නොවේ. එම නිසා වඩාත් හොඳම තේරීම වන්නේ ස්ථාවර ආයෝජනයක් කිරීමයි.

එසේනම් අපි දැන් හාවාගේ වසර වන මේ වසරේ ඔබේ පලාපල කෙසේදැයි දැන ගනිමු.

ඔබට මේ වසරේ දී වඩාත් කාරුණික පුද්ගලයන් හමු විය හැකිය. ඔවුනගේ ආධාරයෙන් බොහෝ විරුද්ධ ලිංගික මිතුරන් ද හමුවේ. මේ අනුව මිහිරි සබඳතා ආරම්භ විය හැකිය. උසස්වීම් හා වැටුප් වැඩිවීම් සඳහා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඔබ අන් අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් නිහතමානී වන්න.

මේ වසරේ වෙහෙස වී වැඩ කරන නිසා, ඔබ ඔබේ වෘත්තීය ජීවිතය තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනු ඇත. එමෙන්ම ඔබ සතු ආත්ම විශ්වාසය, අධිෂ්ඨානශීලී බව හා තීරණාත්මක දේ සමඟ කටයුතු කිරීමේ හැකියාව වැඩි දියුණු කරනු ඇත. තීරණාත්මක අවස්ථාවන්හිදී ඔබ නිවැරදි සහ තාර්කික තේරීම් කළ යුතුය. එය ඔබගේ අනාගත භූමිකාවන් සඳහා ආයෝජනයක් විය හැකිය.

ඔබ පොළොවේ පය ගසා ජීවත් වන අයකු වන බැවින් විරුද්ධ ලිංගික මිතුරන් අතර වඩාත් ජනප්‍රිය චරිතයක් වේ. ඔබ යම් විරුද්ධ ලිංගික සගයකු සමඟ කටයුතු කරන විට, සම්බන්ධතාවක් ආරම්භ කරන විට අනෙක් පුද්ගලයා ගැන වැඩි විස්තර සොයා බැලිය යුතුය. ඔහුගේ හෝ ඇයගේ පෙනුම දෙස පමණක් බලා කටයුතු කිරීමෙන් වැළකී, එම පුද්ගලයාගේ ගතිගුණ ගැන ද සොයා බලන්න.

2022 වසර හා සාපේක්ෂව බැලීමේදී මේ වසර ඔබට මූල්‍ය සාර්ථකත්වයක් පවතින වසරකි. නමුත් ඔබගේ ඥාති හිත මිතුරන් විසින් විවෘත කරන ලද ව්‍යාපාරයක වුවද ඔබට මේ වසරේදී ආයෝජනය කිරීමට සුදුසු නොවේ. මන්ද අවසානයේ දී මුදල් අහිමි වනවා පමණක් නොව, ඔවුන් සමග ඇති සම්බන්ධය ද නැතිවී යාමට හැකි වන බැවිනි. ඔබේ වියදම් ද මේ වසරේදී වර්ධනය විය හැකිය. දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට යන වියදම්, දෛනික ගෘහ වියදම් අධික වනු ඇත. මේ වසරේදී ඔබේ ආදායම වැඩි වුවද, ජලය ගලා බසින ලෙස මුදල් වියදම් කිරීම නිසා ලැබෙන මුදල් ඔබට ප්‍රමාණවත් නොවනු ඇත. වියදම් අඩු කර ගැනීමට සහ ඔබට මූල්‍ය අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමට ඔබේ මුදල් සැලසුම් සහගතව වියදම් කරන්න.

ඔබේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර නැත. නව යොවුන් වියේ අයට මේ වසරේ දී අධ්‍යයන කටයුතුවල කාර්ය බහුලතාවය නිසා දැඩි වෙහෙසක් ඇති විය හැකි ය. ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර නිතිපතා ආහාර වේලට එකතු කර ගන්න. විටමින් ආදිය නිසි පරිදි සිරුරට ලබාදෙන්න.

ඔබ රැකියාවක් කරන අයකු නම්, රැකියාව වඩාත් කාර්ය බහුල එකක් බවට පත් වේ. එමෙන්ම ඔබට අතිකාල වැඩ ද කිරීමට සිදුවනු ඇත. නමුත් ඔබ වැඩ කළ ද විවේකය ද ඒ සමගින් ලබා ගත යුතුය. එසේ නොමැති වූ විට එය, ඔබේ සෞඛ්‍යයට දිගුකාලීනව බලපානු ලබයි. ඔබ මැදි වයසේ පුද්ගලයකු නම් මාර්ග අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් කටයුතු කරන්න. නිවෙසින් පිටතට යන විට ඔබේ ආරක්ෂාව ගැන ප්‍රමුඛතාව ලබා දෙන්න. ජංගම දුරකථනවලින් කතා කරමින් හෝ වෙනත් ක්‍රියා සිදු කරමින් ඇවිදීම, වාහන එලවීම සිදු නොකරන්න. බීමතින් රිය පැදවීම ද වඩාත් නුසුදුසු ක්‍රියාවකි. මෙසේ පවසන්නේ ඔබට මාර්ග අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බැවිනි.

මීට අමතරව ඔබේ විවේක කාලය තුළ ව්‍යායාම කිරීම ද සිරුරේ සෞඛ්‍ය තත්ත්වය හොඳීන් පවත්වා ගැනීමට සමත් වන්නකි. එමගින් ඔබේ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු වන අතර ඒ නිසා රෝග වැලඳීම අවම වේ.

කොටියා රාශියේ උපන් ඔබට ඇසුරු කිරීමට වඩාත් සුදුසු වන්නේ : කොටියා රාශිය, බල්ලා රාශිය, අශ්වයා රාශිය හා ඌරා රාශියේ අයයි.

ඔබගේ වාසනාවන්ත අංක වන්නේ : 1, 3, 4 අංක යි.

ඔබට වාසනාව කැඳවන වර්ණ වන්නේ: නිල්, අළු, සුදු, තැඹිලි වර්ණයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.