ග්‍රහයෝග පල දෙන හැටි

නොවැම්බර් 4, 2022

එක රාශියක එක ග්‍රහයකු බැගින් සිටීමෙන් යෙදෙන ඒක ශ්‍රැතිධර යෝගය (ඒකාවලීයෝගය) යෙදී ඇත්නම් සරසවි අධ්‍යාපනය ලබන උගතකු වනු ඇත. ජන්ම කේන්දරයක සඳුට ගුරු හෝ ලග්නය හෝ ලග්නාධිපති නොපෙනේ නම් උපත පියා කවුරුන්දැයි නොදන්නා අයකු වීමටද පුළුවන. එමෙන්ම ගුරුට නොපෙනී රවි, සඳු සංයෝගව සිටීමත් ලග්නාධිපති හා 7 වැන්න අධිපති සංයෝගව සිටීම ද එවැනි අයකු බිහි කරයි.

 

බොහෝ ජන්ම පත්‍රවල ධර්මකර්මාධිපති යෝගය, ගුරුහංස යෝගය, රුචක යෝගය වැනි බලවත් ග්‍රහයෝග පිහිටා තිබුණත් ඒවායින් නියම සුබපල ලැබී නොමැති බව ඇතැම් කේන්දර හිමියෝ පවසති.

 

ධර්මකර්මාධිපති යෝගය

කේන්දරයක නවය, දහය, අධිපතීන් සංයෝගවීම හෝ පරිවර්තනය වී සිටීම ධර්මකර්මාධිපති නම් පෙරපින පලදෙන බලවත් ග්‍රහයෝගයක් වුවත්, එය කේන්දරයේ 2,6,8,12 යන රාශියක යෙදුණොත් එයින් ලබාදෙන ධන සම්පත්, පිරිස් බලය හා රාජ්‍ය තනතුරු ආදී සුබපල නොලැබෙනු ඇත.

 

භද්‍රා/ ගුරුහංස යෝගය

කිසියම් අයකුගේ බුධ උච්ච වී භද්‍රා යෝගය හෝ ගුරු උච්ච වී ගුරුහංස යෝගය යෙදීමෙන් බුද්ධිමත් බව, උගත්කම මෙන්ම දීර්ඝායුෂ ද ලබාදෙන බව කියවෙයි. එහෙත් එම ග්‍රහයෝග කේන්දරයක දෙවැන්නේ හෝ අටවැන්නේ යෙදුණහොත් සුබපල උදා නොකරයි.

 

මයුරපාල යෝගය

රවි උච්ච වීමෙන් ලැබෙන මයුරපාල යෝගය ද, කුජ උච්ච වීමෙන් යෙදෙන රුචක යෝග ද, සිකුරු උච්ච වීමෙන් මාලවී යෝගයද, සෙනසුරු උච්ච වීමෙන් යෙදෙන සස යෝගය ද කේන්දරයක 1,4,7,10 යන කේන්දරස්ථානයක යෙදීමෙන් එයින් ජන්මියාට සුබඵල උදා කරයි. එහෙත් එම ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වුවහොත් සුබපල අහිමි කරයි.

 

කේමදෘම යෝගය

එසේම සඳුගෙන් දෙපස ග්‍රහයන් නොසිට කේමදෘම නම් දරිද්‍ර යෝගය කේන්දරයක යෙදුණහොත් දිළිඳුභාවයට පත්කරන අතර, එම සඳු පුරපසට අයත්වී ගුරු ග්‍රහයාට පෙනුණොත් එම තැනැත්තා දිළින්දකු නොවනු ඇත.

 

කාලසර්ප යෝගය

කේන්දරයක හතරෙන් පටන්ගෙන දහයෙන් අවසන් වන ලෙස හෝ එකෙන් පටන් ගෙන හතෙන් අවසන් වන ලෙස කාලසර්ප යෝගය යෙදීමෙන් ද, දොළොස්වැන්නේ රවි, බුධ හා රාහු සිටීමෙන් ද රාහු ග්‍රහයා 08 වැන්නේ සිටීමෙන් ද විදේශගත වන යෝග යෙදේ. එහෙත් හතර වැන්නේ රවි, බුධ හෝ ගුරු බලවත් වූ කල එම විදේශගතවීම සිදුනොවනු ඇත. එහෙත් උපන් ගමෙන් බොහෝ ඈතක පදිංචියට රැකියාව කිරීමට, හෝ විවාහය සිදුවීමට ඉඩ ඇත. කාලසර්ප යෝගය යෙදී තිබූ පමණින්ම ආයුෂ අඩුවීමක් හෝ පිටරට යාමක් සිදු නොවේ. නමුත් දෙවැන්න හෝ අටවැන්න අතර කාලසර්ප යෝගය යෙදීම ආයුෂවලට තර්ජනයකි.

 

බුධ ආධිත්‍ය යෝගය

රවි, බුධ එකට සිටීම බුධ ආධිත්‍ය යෝගය ද, බුධ, ගුරු, සිකුරු සංයෝග වීමෙන් සරස්වතී යෝගයද යෙදීමෙන් එම පුද්ගලයා උගතකු වන බව සඳහන් වුවත්, එම සුබ යෝගය දෙවැන්නේ හෝ හයවැන්නේ යෙදුණහොත් එයින් වැඩි ඵල නොලැබෙනු ඇත.

 

ඒක ශ්‍රැතිධර යෝගය

එක රාශියක එක ග්‍රහයකු බැගින් සිටීමෙන් යෙදෙන ඒක ශ්‍රැතිධර යෝගය (ඒකාවලීයෝගය) යෙදී ඇත්නම් සරසවි අධ්‍යාපනය ලබන උගතකු වනු ඇත. ජන්ම කේන්දරයක සඳුට ගුරු හෝ ලග්නය හෝ ලග්නාධිපති නොපෙනෙන්නේ නම් උපත, පියා කවුරුන්දැයි නොදන්නා අයකු වීමටද පුළුවන. එමෙන්ම ගුරුට නොපෙනී රවි, සඳු සංයෝගව සිටීමත් ලග්නාධිපති හා 7 වැන්න අධිපති සංයෝගව සිටීමද එවැනි අයකු බිහි කරයි. එහෙත් එම කේන්දරවල වුවත් ප්‍රබල ග්‍රහයෝග යෙදී තිබෙන්නේ නම් ඉඩකඩම්, නිවාස ලාභ, හිමිවී සැප සම්පත් භුක්ති විඳීමේ භාග්‍ය උදාකරයි.

 

සුනඵා යෝගය

‘සුනඵා’ යෝගය (චන්ද්‍රයාගෙන් දෙවැන්නේ සුබ ග්‍රහයන් යෙදී තිබීම, මෙකී ග්‍රහයන් උච්ච ස්වක්ෂේත්‍රව, මිත්‍රව සිටීම නිසා උත්සාහයෙන් තොරව තමාට ධනය හිමිකරන අතර, ජන ප්‍රධානියකු වශයෙන් බහුමානයට ද පාත්‍ර වේ. බුද්ධිමතකු ලෙස ජනයා අතර, ප්‍රසිද්ධියට පත්වන බවත් තනතුරු ලාබ ප්‍රශංසා ආදිය හිමිකරයි.

 

අනඵා යෝගය

චන්ද්‍රයාගෙන් 12 වැන්නේ ග්‍රහයන් සිටීමෙන් ‘අනඵා’ යෝගය යෙදේ. ජනයාට ප්‍රධානියෙක් වන අතර දේශයක් පාලනය කළ හැකි බොහෝ දේ ලැබෙන යෝගයකි.

 

ධුර ධුරා යෝගය

සඳු, ග්‍රහයන් දෙදෙනකුට මැදිව සිටින්නේ නම් එනම් චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ ග්‍රහයන් සිටින්නේ නම් ධුර ධුරා යෝගය යෙදේ. සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් දෙදෙනෙකුට මැදිව සිටින්නේ නම් ඉතා උසස් ප්‍රතිඵල හිමිවන අතර, ලේඛන කලාවට සංගීතය, නැටුම් කලාවට දක්ෂ විවිධාකාර සැපසම්පත් ඇතිව ජීවත් විය හැකි අයකු වනු ඇත.

 

උභයචාරි යෝගය

රවිගෙන් 12 වැන්නේ හා දෙවැන්නේ ග්‍රහයන් සිටීමෙන් උභයචාරි යෝගය පිහිටන අතර, විනෝදකාමී උසස් අදහස්වලින් පිරුණු රජයෙන් පිදුම් ලැබිය හැකි අයකු වනු ඇත. ධනය ඇති සමාජ සේවයට ලැදි අයකු වනු ඇත.

 

මාලිකා යෝගය

ලග්නයේ සිට හත්වැන්න දක්වා එක් භාවයක එක ග්‍රහයකු බැගින් සිටීම මාලිකා යෝගය වන අතර, මෙය පිහිටීමෙන් මහා බලවතකු වීමට වාසනාව ලැබේ. ධන, වික්‍රම, සුබපුත්‍ර, කලත්‍ර භාග්‍ය, කර්ම ලාභ යන මාලිකා යෝග පිහිටීම නිසා පුද්ගලයාට දැසි දස්සන් ලැබ සැප සම්පත් ඇතිව ජීවත්වීමට හැකිවන අතර, රන්ධු,ව්‍යමාලිකා, ශත්‍රෘ මාලිකා යෝග පිහිටා ඇත්නම් අශුභඵල අත්කරයි.

ග්‍රහ යෝගයන් පල දෙන්නේ එය යෙදී ඇති ස්ථානයත් එම ග්‍රහයන්ගේ දශා අතුරු දසා කාලවලදීත් වන අතර, ඒ අනුව සුබ අසුබ ග්‍රහයෝග යෙදී තිබුණත් ඒවායේ පලදීමද අඩුවැඩි විය හැකිය. සමහර සුබ යෝග මෙන්ම භෞම දෝෂ ආදී අසුබ යෝග භංගවන අවස්ථාද එම කේන්දරවල යෙදී තිබිය හැකිය. කේන්දරයක 6,8,12 අධිපතීන් ද සමඟ පරිවර්තනය වී සිටින කිසිම ග්‍රහයෝගයකින් සුබපල නොලැබෙනු ඇත.

 

 

ඡ්‍යෝතිෂවේදිනී – ගීතිකා සමරතුංග

සාකච්ඡා සටහන – ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.