මිථුන ලග්නයට හිමි රැකියා

සැප්තැම්බර් 30, 2022

මිථුන ලග්නයට හිමි රැකියා ගැන කතා කරන විට ලග්නාධිපති බුධ ගැනත් දහවැන්නාධිපති ගුරු ගැනත් බැලිය යුතුය. මිථුන ලග්නයේ ලග්නාධිපතිගේ ස්වරූපය වන බුද්ධිමත් බව නිසා මිථුන ලග්න හිමියා බුද්ධිමත්ව වහා ක්‍රියාත්මක වේ. එමෙන්ම අරමුණු දෙකකය. එක් රැකියාවකට වඩා කිරීමේ ශක්තිය මිථුන ලග්න හිමියන් සතුය. ගුරු වෘත්තීය, ලිපිකරු සේවය, ගණකාධිකරණය, පොත් තැබීම, ලේඛන කලාව, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වෘත්තීය, ගෘහ නිර්මාණ ශිල්පීන්, භාෂා පරිවර්තකයන්, මුද්‍රණ කටයුතු ආදී වෘත්තීන් මිථුන ලග්න හිමියන්ට උරුම වේ. මිථුන ලග්න හිමියාගේ ලග්නාධිපති බුධ වන අතර 10 වැන්නාධිපති ගුරු වේ. ලග්නාධිපති බුධත් කර්මකාරක ගුරුත් යන දෙදෙනාම පතට පොතට කාරක අයිතියක් ඇති බැවින් කේන්ද්‍ර හිමියාගේ රැකියාව ගුරු, නීතිඥ, කථිකාචාර්යවරු වැනි රැකියා ඔහුට උරුම වේ.

එක් රැකියාවකට වඩා කිරීමේ ශක්තිය මිථුන ලග්න හිමියා සතු වේ. ගුරුවරයෙකු වශයෙන් සේවය කරන මිථුන ලග්න හිමියා සවස් වරුවේ අමතර පන්ති කිරීමට ද හැකියාව ඇත.

හොඳ උසස් රැකියාවක් කිරීමට නම් ඉගෙනීම අවශ්‍යයයි. මිථුන ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට ලග්නාධිපතිගේ බලයත් අධ්‍යාපන කාරක බුධ ගේ බලයත් පස්වැන්නාධිපති සිකුරුගේ බලයත් බැලිය යුතුය. මොවුන්ගේ බලය තිබූ විට මිථුන ලග්න හිමියාට හොඳ උසස් රැකියාවක් කිරීමට භාග්‍ය උදාවේ. ගණිතය පිළිබඳ හොඳ දැනුමක් ඇති කෙනා ඉංජිනේරුවෙක් බවට පත්වීමට පුළුවන. ඉගෙනීම අතින් ශක්තිමත් නැති පුද්ගලයා වඩු බාස්, මේසන් බාස් වැනි රැකියාවලද නිරතවීමට ඉඩ තිබේ. මේ නිසා රැකියාව සඳහා ඉගෙනීම අත්‍යවශ්‍යම වේ.

දහවැන්න වූ මීන රාශිය අධිපති ගුරු ග්‍රහයා නියෝජනය කරන තැන අනුවත් නැකත අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. දහවැන්නේ සිටින ග්‍රහයා අනුවත් දහවැන්නට දෘෂ්ටි දෙන ග්‍රහයන් අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ.

තවද කර්ම පාලන ග්‍රහයන් වන රාහුගේ බලපෑම ද රැකියාව සඳහා බලපායි. රාහු සිටි රාශිය අධිපති ග්‍රහයාගේ කාරකත්වයට අයත් රැකියාවක් කේන්ද්‍ර හිමියාට උරුම විය හැක.

මිථුන ලග්න හිමියාගේ රැකියා ගැන බැලීමේදී බුධගේ පිහිටීමත් ගුරුගේ පිහිටීමත් නියෝජනය කරන නැකත ද කර්ම පාලන ග්‍රහයන් වන රාහු හා කේතු යන දෙදෙනා නියෝජනය කරන තැන හා නැකත ද දහයේ සිටින ග්‍රහයා ගැන ද බැලිය යුතුය. මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාට අයත් රැකියාවක් මිථුන ලග්න හිමියාට උරුම වේ.

චතුරිකා දිල්හානි ගමආරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.