විවාහය ඉක්මන් කරන මහා මෝහන යන්තරය

ජනවාරි 31, 2025

අද ලියන්න යන්නේ ඡ්‍යොතිෂයේ මනමාලයාගේ යන්තරය ගැනයි. එනම්, සිකුරුට අයිති යන්තරය. මේ සිකුරුට අයත් යන්තර කීපයක්ම තිබෙනවා. එනම් මහා මෝහන යන්තරය, මහා ලක්ෂ්මි යන්තරය, විජයරාජ ආවේශ යන්තරය සහ ශි‍්‍රයා වෘද්ධිකර යන්තරයි. මේ ඔක්කොම වශී යන්තරම නොවුණත් වශී යන්තර ගණයටමයි වැටෙන්නේ. ඉන් වඩා හොඳම උචිත යන්තරය හැටියට මහා මෝහන යන්තරය හඳුන්වන නිසා ඒ ගැන විස්තර කරනවා.

පසුගිය දිනවල එකදිගටම නවග්‍රහාදීන්ට ආවේණික සියලුම යන්තර රූපසටහන් සමඟ පළ කළා මතකයි. සිකුරු කිව්වාම එක සැරේම මතක් වන්නෙ හත්වැනි කොටුව නැත්නම් රාශිය, මේ විවාහක ස්ථානයයි. ඒකනේ සිකුරු හතේ කියන්නේ. එහෙම කිව්වට හැම කෙන්දරයකම සිකුරා හතේ හිටියට යහපත් වන්නේ නැහැ. නපුරු වන කේන්දරත් තිබෙනවා. සිකුරගේ බලපෑම උඩ තමයි මේ ඔක්කොම. ඒක නිවැරැදිව අවබෝධ කර ගන්ට ඕනෑ. මීන ලග්න හිමියන්ට හත්වැන්න අයත් වන්නේ කන්‍යාවට. කන්‍යාවට සිකුරු නීචයි. හැබැයි කන්‍යා ලග්න හිමියන්ට හත්වැනි රාශිය අයිති වන්නෙ බ්‍රහස්පතිට. ඒ කිව්වේ මීනයට. මීනයට සිකුරු උච්චයි. ඒකයි අවබෝධයට ගන්ට ඕනෑ. අපි කලිනුත් කියලා තිබෙනවා ඡ්‍යොතිෂය කියන්නෙ හැම පැත්තටම හරව හරවා බලන්න ඕනෑ වටිනා මැණිකක් කියලා. බොහෝම දෙනා අර අලියව විස්තර කළා වගේ ඡ්‍යොතිෂ කරුණුත් කියනවා. ඡ්‍යොතිෂය කිව්වේ හැම පැත්තකටම හරව හරවා බලන ශාස්ත්‍රයක් මිස ක්ෂණික තීරණ ගන්ට බැහැ. දන්නෙ නැත්නම් දන්නා කෙනකුගෙන් ඇහැව්වට කාරි නැහැ.

සාමාන්‍යයෙන් ශනි, රවි, බුධ, සිකුරු, මීන ලග්න හිමියන්ට පාපකාරි වුණාට කන්‍යාවට කුජ, ගුරු, සඳු මාරකයි. මේ හැම කරුණක්ම සංකලනය කරල ඡ්‍යොතිෂ තීන්දු තීරණ ගන්න ඕන කියල තමයි මගේ ගුරුවරු කියලා දුන්නේ.

මේ මහා මෝහන යන්තරය විශේෂ වැදගත් තමයි. ඒකේ ගුරු මුෂ්ටිය තමයි මේ යන්තරයේ හැම ඉරක්ම ද්විත්ව ඉරි වන්ට ඕනෑ කියල තමයි යන්තර පොත්වල සඳහන් වන්නේ. මේ යන්තරය මෝහන කර්ම, වශ්‍ය ආකර්ෂණ කර්මයන්ට ඉතා සමීප වූ විශේෂ සම්බන්ධයක් ඇති එකක්. තව එකක් තමයි යන්තරයට අමතරව කෙරිය යුතු දේවල්ද තිබෙනවා. එනම් අර සෙනසුරු අපලයට කෙම්මුර දිනවලට ගිතෙල්, කිරිබත් කපුටන්ට දෙනවා වගේ මේ යන්තරය පැලැඳුවාම ආදරයෙන් වෙළී සිටින පෙම්බස් දොඩන ස්ථිර ආදරවන්තයින් දෙස බලලා සතුටු වන්ට ඕනෑ. ඒ අයට හැකි පමණින් උදව් කරන්ට ඕනෑ. ඒවා දැකලා වෛර කරන්න හොඳ නැහැ. මේ යන්තරය කතරගම දිව්‍යරාජයාට අයත් නිසා කතරගම දෙවියන්ට කරන පූජාවන් කළාම හරි හොඳයි. එනම්, පලතුරු පූජාව, පලතුරු ගෙඩි පූජාවන් කරන එක. මේ යන්තරය පලඳවලා දරුවො ලබන්න ඉන්න ගැබිනි මවුවරුන්ට පිරිසුදු පලතුරු දීම මහා පුණ්‍යකර්මයක්. ඊට අමතරව ඒ අයට අර “දොළදුක” කියන ආසාව ඇති කාලයට පිරිසුදු පලතුරු දීමත් විශේෂයෙන් ඇඹුල් පලතුරු දීමත් ඉතා හොඳයි. මේ ක්‍රියාවන් නිසා යන්තරයේ බල වැඩි වනවා.

මේ යන්තරය කෙනකුට පලඳවන්නෙ ඔහුගේ හෝ ඇයගේ සිකුරගේ දුර්වලතාවයන් නිසාමයි. සිකුරු යහපත් ග්‍රහයෙක් තමයි. සිකුරාට අයිති රාශි දෙක වෘෂභ හා තුලාව. ඒකෙනුත් තුලා රාශිය ප්‍රධානයි.

සිකුරු බලවත් වීමෙන් මාලවී යෝගය ලබනවා කියල අහල තිබෙනවා නේද? කේන්දර කුණ්ඩලියේ 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක සිකුරු ග්‍රහයා උච්ච වුණොත් හෝ ස්වක්ෂේත්‍ර වුණොත් මාලවී යෝගය හිමි වනවා. උසස් විවාහයකට වාසනාව ලැබෙනවා. ඒක තමයි පින කියන්නේ. කේන්දරයක 3,7,11 කාම ත්‍රිකෝණය බවත් අමතක කරන්න එපා.

ඕනෑම ග්‍රහයෙකුට අවස්ථා 12ක් තිබෙන බව දන්නවා නේද? ටිකක් මතක් කරන්නද? 1.ශයනා අවස්ථාව 2. උපවේශන අවස්ථාව 3. නේනත්‍රපානි අවස්ථාව 4. ප්‍රකාශන අවස්ථාව 5. ගමනා අවස්ථාව 6. ආගමන අවස්ථාව 7. සභා අවස්ථාව 8. ආගමනාවස්ථාව 9. භෝජන අවස්ථාව 10. කෘත්‍යා අවස්ථාව 11. කෞතුක අවස්ථාව 12. නිද්‍රා අවස්ථාවයි. මේ අවස්ථා දොළහෙන් 3, 5, 8, 9 අවස්ථාවලදී උත්පත්තිය ලැබුවා නම්, ඉතා නරක් වනවා. ඒ වගේම 12 එනම්, නිද්‍රා අවස්ථාවේදී උපන්නා නම් එයා හැමදාම කාගෙ හරි යටතේ තමයි වැඩ කරන්න වන්නේ. වැඩවල අදක්ෂතාවය තමයි පෙන්නුම් කරන්නෙ. තව රහසක් කියන්නද?

සිකුරුගේ ප්‍රශ්නවලට ගුරුකම් කරන කොට, විශේෂයෙන් කාමය මුල්කරගෙන දිෂ්ටි කරන කොට පිරිමියෙකුට නම් මෝහිනීට දිෂ්ටි කරන්ට ඕනෑ. ගැහැනු කෙනකුට නම් මදන සල්ලාල දිෂ්ටියෙන් දිෂ්ටි කරලයි ජප මන්තරය මතුරන්නේ.

සිකුරාගේ වාසස්ථානය කරඳ ගස්වල. වාහනය ගොනා, අවතාරය භාගීව, ආයුධයට කියන්නෙ “වල්විදුනා” කියලා. කාමය සැපත ශෝභනය වගේ දේවලට තමයි කැමැති. වාතාධිකයි. හැඳින්වීම ගොනෙකු පිට බොකුටු හිස් ඇති සියලු ගුණධර්මවලින් හෙබි ඔටුන්නක් පැලැඳි රූපයක්. එහෙමයි පුරාණ මනුෂ්‍යයා හැඳින්වූයේ.

සිකුරා කාමයට අධිපතියා කිව්වනේ. ශරීරයේ ශුක්‍ර ධාතුවට හා ඊට අදාළ ඉන්ද්‍රියන්ටත් බල පවත්වනවා. ඊට අදාළ රෝග හදනවා. සිකුරු නරක් වුණොත් සෙම්ගෙඩි, සෙම්රෝග, බෙල්ල මහත්වීම දියවැඩියාව වැනි රෝග හදනවා. සිකුරු ගොඩක් නරක් වුණොත් දරුණු විපත්වලට මුහුණ දෙන්නත් සිදු වනවා. සිකුරු 6 වැනි රාශියට එනම් සතුරු ස්ථානයට එච්චර හොඳ නැහැ. මේ යන්තරයට මතුරන ජප වාර 19000යි. හදිසියට අඩුම තරමින් 1900යි. කිලි කියල විශේෂ කිල්ලක් නැහැ. එනම්, මේ යන්තරය විස නසනවා.

තව එකක් ලියන්නම්, විවාහය ප්‍රමාද වුණාම බොහෝ අය මේ යන්තරය පලඳිනවා.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.