දශක හතරක් පුරා අපූර්ව නිර්මාණ බිහිකරන්නට ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණට ඒරාෂ්ටක දුන් අතහිත

ජනවාරි 17, 2025

පසුගියදා පීපල්ස් පිනකල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතාට ඒරාෂ්ටක කාල වකවානු බලපා ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. සුදත් රෝහණ මහතා 1964 වසරෙහි මැයි 08 වනදා ‘වෘශ්චික’ ලග්නයෙන් උත්පත්තිය ලබා ඇති අතර ඒ මහතාගේ ජන්ම කේන්ද්‍රය පහත පරිදි වේ.

මෙය ඉතා ප්‍රබල කේන්ද්‍ර සටහනකි. “සස” නම් වූ පංච මහා පුරුෂ යෝගය, පූර්ණ ලග්න අධි යෝගයද, පූර්ණ විපරීත රාජ යෝගයද, සිංහාසන යෝගයද යන ඉතා වාසනාවන්ත යෝග මේ කේන්ද්‍ර සටහන තුළ දක්නට ලැබේ. ශනි සහ සිකුරු එකම දිසාවේ පිහිටීම, සුදත් රෝහණ මහතා වෘත්තීමය කලාකරුවකු බවට පත් කර ඇත. තවද ශනි සහ චන්ද්‍ර යන ග්‍රහයින්ගේ පිහිටීම්වලට අනුව, ඒ මහතාට නිතර විදේශ ගමන් යෙදෙන බව පෙනේ.

සුදත් රෝහණ මහතා තම කලා දිවියේ දිගු ගමන තුළ මුල් වරට වෘත්තීමය කලා කටයුත්තකට සම්බන්ධ වී ඇත්තේ 1985 වසරේදී වන අතර ඒ වන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ලග්න භාවය තුළින් ශනි ගමන් කර ඇති බව පෙනේ. එනම් ඒ වන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

සුදත් රෝහණ මහතාගේ වැඩිමහල් දියණිය උත්පත්තිය ලබා ඇත්තේ 1994 වසරෙහි මාර්තු මාසයේදී ය. ඒ වන විට ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ, චන්ද්‍රයාට යාබද රාශියෙහි ශනි ගමන් කර ඇති බව පෙනේ. ඒ අනුව, ඒ මහතාගේ ජීවිතයෙහි මේ සුවිශේෂී සිදුවීම සිදු වී ඇත්තේ ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කරද්දී බව ඡ්‍යොතිෂය පිළිබඳව ආධුනික දැනුමක් ඇති අයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත.

සුදත් රෝහණ මහතා 5 ශ්‍රේණිය තුළ අධ්‍යාපනය ලබද්දී පවා වේදිකාවේ දස්කම් දක්වා ඇති අතර, ඒ වන විට ඒ මහතාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබී ඇත. සාහිත්‍ය කථා, ටෙලි නාට්‍ය බවට පත් කිරීමේ අපූරු හැකියාවක් තිබූ ඔහු, 1993 වසරෙහිදී ඉමහත් ගෞරවයට ලක් වූ ‘අවිඳු අඳුර’ සඳහා දායක වන විට ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇත.

1994 වසරේදී ‘විකුම්සිහ කතන්දර” ඇතුළු තවත් කලා නිර්මාණද සිදු කර ඇත්තේ සුදත් රෝහණ මහතා ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කරද්දීය. මීට අමතර ලෙස, 1995 වසරේදී, සම්මානයට පාත්‍ර වූ “වන වදුලේ වසන්තය” අධ්‍යක්ෂණයේදී ද, 1996 වසරේදී සම්මානයට පාත්‍ර වූ ‘බද්දේගම’ සඳහා නිපදවද්දී ද සුදත් රෝහණ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

සුදත් රෝහණ මහතා 1998 වසරේදී හිරු අවරට යා නොමදී කලා නිර්මාණය සිදු කරන විටද ඒ මහතාට ඉතා ප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ ඒ මහතා ඇතුළු කණ්ඩායම ත්‍රස්තවාදීන්ගෙන් ඇති විය හැකි ජීවිත අවදානම ගැන පවා බිය නොගෙන ආරක්ෂක අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව තම කලා නිර්මාණ කටයුතුවල යෙදෙද්දී ද ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබීමය.

මේ කලාකරුවා තම ප්‍රථම විදේශ සංචාරය ලෙස 1999 වසරේදී ප්‍රංශයේ සංචාරය කරන විටද, ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ චන්ද්‍රයා මතින් ශනි ගමන් කර ඇති බව පෙනේ. එනම්, එම කාල වකවානුව වන විට ද ඒ මහතාට, ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව ඉතා හොඳින් පැහැදිලිය.

සුදත් රෝහණ මහතාගේ ළාබාල දියණිය උපත ලබා ඇත්තේ 2003 වසරෙහි ජුනි මාසයේ දී වන අතර ඒ වන විට ඔහුට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබී ඇත. මෙයින් පෙනී යන්නේ ඒ මහතාගේ ජීවිතයේ, වටිනාම සම්පත් වන, දරුවන් දෙදෙනාම උත්පත්තිය ලබා ඇත්තේ ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානු ගත වද්දී බවය. එසේනම්, ඒරාෂ්ටක කාල වකවානුවලදී අසුබ ඵලම පමණක් ලැබෙන්නේ යැයි පවසන්නේ කෙසේද?

2005 වසරේදී “කටු ඉඹුල” චිත්‍රපටය සඳහා නිර්මාණ කරද්දී සුදත් රෝහණ මහතා ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කර ඇති අතර එම කලා නිර්මාණය ඔස්සේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ රංගන ශිල්පියකු ද ඒ වන විට ඉතා ප්‍රබල ඒරාෂ්ටකයක් ගත කරමින් සිටි බව සුදත් රෝහණ මහතා පවසයි.

මීට අමතර ලෙස, සුදත් රෝහණ මහතා 2015 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇති අතර වරෙක ඒ මහතාගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් සඳහා ද නිර්දේශ වී ඇත. ඒ වන විට රෝහණ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ලග්න භාවය තුළින් ශනි ගමන් කිරීමට අනුව ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව පෙනේ.

2017 වසරෙහි නොවැම්බර් මාසයේ දී මේ කීර්තිමත් කලාකරුවාගේ ජීවිතයට දශක තුනක් පිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් සංවිධානය කරද්දී ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව පසු වී සති කිහිපයක් පමණක් ගත වී තිබී ඇත. 1993 වසරේදී සුදත් රෝහණ මහතා කලා කටයුතු වෙනුවෙන් සංවිධානයක් ආරම්භ කර ඇති අතර ඒ වන විටද ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇති බව පෙනේ.

2015 වසරේදී, සුදත් රෝහණ මහතා අධ්‍යක්ෂණය කළ ‘ගිරිකුල’ ටෙලිනාට්‍යය “වසරේ හොඳම ටෙලිනාට්‍යය’ ලෙස ‘සුමති’ සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඒ වන විට සුදත් රෝහණ මහතාගේ “වෘශ්චික” ලග්න උත්පත්ති කේන්ද්‍ර සටහනේ ‘ලග්න භාවය’ තුළින් ශනි ගමන් කරමින් ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වූ බව ඡ්‍යොතිෂය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති අයෙකුට වුවද ඉතා පහසුවෙන් වටහා ගත හැකි වනු ඇත. මීට අමතර ලෙස සුදත් රෝහණ මහතා 2003 වසරේදී ‘සුදු කළුවර’ චිත්‍රපටය වෙනුවෙන් අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වද්දී ද ඒ මහතාට අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබී ඇත.

පසුගිය වසර දෙක තුළ සහ මේ වසරෙහි මුල් මාස තුළ සුදත් රෝහණ මහතාට, ඔහුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙයි. මේ වන විට ඒ මහතා විදේශගතව සිටින අතර, මේ ඒරාෂ්ටක කාල සීමාව තුළ, ඒ මහතා විදේශකයකුව සිටියදී ද පසුගිය සතියෙහි පැවැති කලා සම්මාන උළෙලේ දී “හොඳම රචකයා” ලෙස සම්මානයක් ලැබුණි. මීට අමතර ලෙස, මේ ඒරාෂ්ටක කාල සීමාව තුළ කෙටි කථාද සම්බන්ධ කර ‘තිර රචනා කලාව‘ නමින් සුදත් රෝහණ මහතා රචනා කර ඇති කෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නවතම ආකාරයකින් නැරඹිය හැකි බව ඒ මහතා පවසයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.