වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
දෛව අංක 4න් උපන් ඔබ ගැනයි මේ
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා හෙළි කරගැනීමේදී දෛව අංකයට සුවිශේෂී තැනක් හිමිවෙයි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම කෙනකුට දෛව අංකය පහසුවෙන් සොයාගත හැකිය.
එය සොයාගන්නේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් ලැබෙන තුරු එකට එකතු කිරීමෙනි. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.
උදා - 1985.01.25
1+9+8+5+0+1+2+5 = 31
3+1= 4
මේ උපන්දිනය හිමිකරුගේ දෛව අංකය 4 ලෙස ලැබී ඇත. ඔබගේ උපන් දිනයට අනුවද මේ ආකාරයෙන් දෛව අංකය සොයා ගන්න.
දෛව අංක 4 න් උපන් ඔබ යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ සිහින ලෝකවල ජීවත් වන්නෙක් නොවේ ඔබට ඉතාමත් ප්‍රායෝගික ගති පැවතුම් ඇත. ඔබ පොළොවේ පය ගසා ජීවත් වන පුද්ගලයෙකි. ඔබට හොඳීන් හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති අතර හොඳ දේ හොඳ ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් නිර්භයව කවුරුන් තරහ වුවද ප්‍රකාශ කිරීම ඔබේ සිරිතයි.
ඔබ තුළ ප්‍රබල අදහස් පවතින අතර ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම යම් ආකාරයක පිළිවෙළකට කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි. ඔබ සෑම දෙයක්ම සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන අතර ඉතාමත් හොඳට ක්‍රමානුකූලව ඒ කටයුතු සැලසුම් කරයි.
තමන්ගේ චිත්තවේග පාලනය කිරීමේ දක්ෂතාවයක් ඇති අතර ඔබගේ පාලකයා වන්නේ ඔබමයි. ජීවිතය කෙසේ හෝ සාර්ථකත්වයට පත්කර ගැනීමට ඔබට හැකියාව පවතින අතර ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කරයි. පියවරෙන් පියවර තමන්ගේ ගැටලු නිරාකරණය කරගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර සාර්ථකත්වය කරා පියමන් කරයි. ඔබ යම් කාර්යයක් කිරීමේ දී ඒ වෙනුවෙන් සැලකිය යුතු තරම් කාලයක් ගනී. කරන කාර්යයට කොපමණ කාලයක් ගියත් එය නිවැරදිව පිළිවෙළකට කිරීම ඔබගේ ස්වභාවයයි. ඒ වෙනුවෙන් උපරිම මහන්සි වී වැඩ කිරීමට ඔබ කැප වෙයි. ඔබේ ජීවිතේ හෙමින් යන ගමන ස්ථිරසාර සාර්ථකත්වයක් කරා ඔබව රැගෙන යයි.
ඔබ ඉතාමත් නීතිගරුක පුද්ගලයකු වන අතර අසාධාරණයට එරෙහි වෙයි. තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කිරීමටද ඔබ ඉතාමත් උනන්දු වෙයි. විශේෂයෙන් ඔබ යම් ආයතන ප්‍රධානියකු යටතේ කටයුතු කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ප්‍රධානීන් සමග ගැටුම්කාරි තත්වයන් ඇතිවීමට වැඩි ඉඩක් පවතී. එහෙත් ඔබ ස්වභාවයෙන් කා සමඟවත් ප්‍රශ්න ඇති කර ගැනීමට කැමති පුද්ගලයකු නොවේ. ලෝකය තුළ යහපත් පුද්ගලයන් ලෙස ජීවත්වීම මොවුන්ගේ එකම අරමුණයි.
ආර්ථිකමය වශයෙන් හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව පවතින අතර මුදල් පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි. අනවශ්‍ය වියදම් පාලනය කළ යුතුය. ඔබ උපයන මුදල් ඔබට නොදැනිම වාගේ වියදම් වී යන ස්වභාවයක් පවතී.
තම පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් සහ තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඔබ ඔබගේ යුතුකම නොපිරිහෙළා ඉටු කිරීමට උත්සාහ දරයි. ඒ වගේම තමන්ගේ පවුල වෙනුවෙන් ඔබ ඉතාමත් ලෙන්ගතුව ආදරණීය පුද්ගලයකු ලෙස ක්‍රියා කරයි. එහෙත් ඔබ ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව ඉතාමත් සැලකිලිමත් විය යුතු අතර පවුලේ සමගිය ආරක්ෂා කර ගැනීමටත් විවාහ ජීවිතය වැඩිය හිතට බරක් කර නොගැනීමටත් සිත තබා ගැනීම හොඳයි.
මැදි වයසට පත් වන විට සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර රුධිරගත රෝග, දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව පහසුවෙන් ඇති කළ හැකිය. මානසික සහ කායික සුවය සඳහා අවශ්‍ය තරම් විවේක ගැනීම ද වැදගත් වෙයි.
දෛව අංක 5 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.