ඇස් පිළිකා දියවැඩියා නසන කැබැල්ල

ජනවාරි 24, 2025

“සුභාෂ්, මොකද පූතා මේ පැත්තෙ. මොකක් හරි ගැටලුවක්ද? මම කොහොමත් තව ටිකකින් ද්‍රව්‍ය ගුණ පාඩම කරන්න එනවනේ.”

“ආ ඔව් සර්. මම ආවේ මම ආපු නැති දවසක සර් කියලා දුන්නු ඖෂධ ද්‍රව්‍යයක් ගැන විස්තර ටිකක් දැනගන්න.”

“මොකක්ද පූතා දැනගන්න ඕනෑ. ඖෂධ ශාකය?”

“සර් කැබැල්ල ශාකය ගැන කරුණු ටිකක් දැනගන්නයි මට ඕනෑ.”

“පුතා කැබැල්ල කියන්නෙ ඖෂධීය වශයෙන් වගේම පෝෂණීය වශයෙනුත් වැදගත් වන ශාකයක්. අප ජීවත් වන පරිසරය අවට දකින්න පුළුවන් ශාකයක් වුණාට බොහෝ දෙනකුට මේ ශාකය ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ඒත් ගම්බදව ජීවත්වන මිනිස්සුන්ට කැබැල්ල ශාකය ගැන හොඳ අවබෝධයක් තියෙන බව පේනවා.

පුතා සුභාෂ්, මේ ශාකය ගැන ඖෂධීය වශයෙන් සැලකුවාම දේශීය වෙදකමේ රෝගාබාධ රාශියකට උපයෝගී කර ගන්නා ශාකයක්.

ඒ වගේම තමයි පුතා කැබැල්ල ශාකය ගැන වේද කාලයේ හෝ සංහිතා කාලයේ ඖෂධ සඳහා යොදා ගත්තා කියල සඳහන් වෙලා නෑ. ඒ නිසා කැබැල්ල කොයි කාලයෙ ඉඳලා ඖෂධ සඳහා යොදා ගන්නවද කියල නිශ්චිතවම කියන්න ආමාරුයි.

ඒ වුණාට වර්තමානයේ දේශීය වෛද්‍ය ග්‍රන්ථ කීපයකම කැබැල්ල ගැන දක්වලා තියෙන නිසා දේශීය වෙදකමේදි කැබැල්ල ශාකය ඖෂධ සඳහා යොදා ගන්නා බව හොඳීන් සනාථ වෙනවා.

ඒ වගේම පුතා භෛෂජ්‍ය විශ්ව කෝෂය පොතේ කියල තියෙනවා නියඟලා අලවල විෂ මැඬීම සඳහා කැබැල්ල යොදා ගන්නා බව. තවත් විශේෂ දෙයක් තමයි පුතා, දේශීය පශු වෛද්‍ය ක්‍රමයේදීත් ඖෂධ සඳහා කැබැල්ල යොදා ගන්නවා.”

“සර් කැබැල්ල වැවෙන පළාත් මොනවද?” “

“සුභාෂ් විදේශීය රටවල ගත්තාම දකුණු ඉන්දියාවේ දකින්න පුළුවන්

ශ්‍රි ලංකාවේ ගත්තාම

කැබැල්ල කියන්නෙ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් විදියටයි සලකන්නේ.

කැබැල්ල පහතරට ඉඳලා මධ්‍යම උන්නතාංශ දක්වා ප්‍රාථමික සහ ද්වීතීයික වනාන්තර සහ ගංගා ඉවුරුවල තෙත් සහිත වැලි පස්වල මීටර් 900 දක්වා ප්‍රදේශවල දකින්න ලැබෙනවා

විශේෂයෙන් කුරුණෑගල.. කෑගල්ල.. මහනුවර.. කළුතර.. ගාල්ල.. රත්නපුර.. මාතර වගේ ප්‍රදේශවල කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව දකින්න පුළුවන්.”

“සර්. කැබැල්ල ශාකය මොන ආකාරයේ ශාකයක් ද?”

“කැබැල්ල සාමාන්‍යයෙන් සදාහරිත ගසක් හෝ පඳූරක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ දුරට අතූ බෙදිල තියෙන්නෙ. කැබැල්ල ගසේ පොත්ත දුඹුරු පාටයි.. සිනිඳුයි. විශේෂයෙන් ළපටි කොටස්වල බූවක් නෑ. අතු සිහින්. කැබැල්ල කොළ වේලෙන කොට ළා කහ කොළ පාටයි. මේ ගස් වල මල් 1සිට 4 දක්වා තියෙනවා මල් පොකුරු එරඬු මල් වගේ. මේ මල් කොළ පාටට හුරු කහපාට යි.

කැබැල්ල මල් ජනවාරි.. පෙබරවාරි.. මාර්තු කාලවල පිපෙනවා. මේවායෙ හැදෙන ගෙඩි ගෝලාකාරයි. චොක්ලට් දුඹුරු පැහැයෙ ඉඳල රතු පැහැයට හුරුයි.

මේ ගෙඩි පැළෙන්නෙ නැහැ. මේ ගෙඩි ඇතුළේ බීජ තනි තනිව පිහිටලා තියෙනවා. බීජ වටේට කහ පාට ද්‍රවයක් දකින්නත් පුළුවන්.”

“එතකොට සර් කැබැල්ලවලට කියන අනෙකුත් නම් මොනවද?”

“පුතා

කැබැල්ලවලට

සිංහල භාෂාවෙන්

කැබැල්ල.. හීං කැබැල්ල.. සහ

වැල්මැඩිය යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

කොට්ලි කියල කියනවා.

කැබැල්ලවල උද්භිද විද්‍යාත්මක නාමයන් වන්නේ,

Aporusa lindleyana (Wight) Bill

Agyneia multilocularis Moon

සහ

Lepidostachys lanceolata Tul.  කියන නම්.

මෙහි කුලය වන්නේ,

EUPHORBIACEAE හෙවත් ඒරණ්ඩ කුලය. පුතා මේ කැබැල්ලවල කොළ..දළු. සහ පොතු ඖෂධ සඳහා යොදා ගන්නවා.

ඒ වගේම කැබැල්ලවල ප්‍රභේද 3ක් තියෙනවා.

කැබැල්ල

හීං කැබැල්ල..

මාපුත් කැබැල්ල වශයෙන්

මෙයින්

කැබැල්ල කියන වර්ගය බරවා කැබැල්ල කියලත් හඳුන්වනවා. ඖෂධ සඳහාත් ගනු ලබනවා

හීංකැබැල්ල ඖෂධ සඳහා යොදා ගත් බවට සාක්ෂි නැහැ

මා පුත් කැබැල්ල කාම ප්‍රතනා කියලත් හඳුන්වනවා. ඖෂධ සඳහා යොදා ගන්නවද කියලත් සාක්ෂි නැහැ.”

“සර් කොහොමද කැබැල්ල ආහාරමය වශයෙන් වැදගත් වන්නෙ?”

“කැබැල්ලවල ආහාරමය වටිනාකම සැලකුවාමසුභාෂ්, කැබැල්ල දලු ව්‍යංජන විදියටත් ඇඹුලක් ලෙසත් සකසලා ආහාරයට ගන්නවා.

අතීසාර රෝගය සුව වූ අයට මෙය ඉතා හොඳයි.

ඒ වගේම කැබැල්ල දලු මැල්ලුම් විදියටත් ආහාරයට එකතු කර ගන්නවා.මේ මැල්ලුම දියවැඩියා රෝගීන්ට ඉතා හොඳයි.

ඒ වගේම කැබැල්ල ගෙඩි කූඩා ළමයින්ගේ රසවත් කෑමක්.”

“එතකොට සර් කැබැල්ලවල ඖෂධීය වටිනාකම කොහොමද?”

“පුතා කැබැල්ලවල ඖෂධීය වටිනාකම සැලකුවාම මෙය

රසයෙන් කසට සහ ඇඹුල් රසයෙන් යුක්තයි.

ප්‍රධාන වශයෙන් මූත්‍ර ඇති කරන සහ ලේ පිරිසිදු කරන ගුණයෙන් යුක්තයි

බාහිර වශයෙන් සැලකුවාම

කැබැල්ල ඇසට හිතකාරීයී.

කුෂ්ඨ රෝගවලදි කැබැල්ල කොළ යුෂ ආලේප කිරීමෙන් සුවවෙනවා.

ඒ වගේම බාහිර වශයෙන්

ඇස් රෝගවලදී අඳුන් විදිහට යොදන්නත් ඇනුණ කටු කෂාය ආදිය ඉවත් කරන්නත් යොදාගනු ලබනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

ආමාශගත රෝගවලදී.. අජීර්ණ.. අතීසාර වැනි රෝගවලදී කැබැල්ල දලු ඇඹුල හොඳීන් උයා බත් සමග කෑමෙන් සුව ගෙන දෙනවා.

ඒ වගේම තමයි පුතා කැබැල්ල ඖෂධ යෝග රාශියක් තියෙනවා විවිධ රෝගාබාධ රැසකට ගුණදෙන!”

“මොනවද සර් ඒ ඖෂධ යෝග?

කීපයක් කියන්න පුලුවන් ද?”

“ඔව් පුතා. ඇස් රෝගවලට

අරළු...බුළු..නෙල්ලි.. කැබැල්ල පොතු.. රත්මල් කැකුළු..බෝඹු පොතු හා දලු.. කොහොඹ දලු සමව අරගෙන කොටා පොට්ටනියක් බැඳල තැඹිලි වතුරේ දමල ඇස මතුපිට තෙපුල් දුන්නාම ඇස් රතුවීම සහ කඳුළු ඒම සුවවෙනවා.

බෝඹු ලොඳ හා කැබැල්ල ලොඳ මිශ්‍ර කර ඇසට දැමුවාම ඇසේ තැල්ම සුව වෙනවා

කැබැල්ල පොතු යුෂ මීපැණි දමා ළිප තබා කකාරා ගෑමෙන් ඇසේ ඉදිමුම් හා නුවන් පිළිකා සුව වෙනවා.

සුදුහඳුන්...රත්හඳුන්.. අරළු..බුළු..නෙල්ලි සමව අරගෙන චූර්ණ කර කැබැල්ල පොතු යුෂෙන් කකාරා ඇසේ ගෑමෙන් ඇස් රතූවීම..ඇසේ සුද, ඉදිමුම් වැනි වාතයෙන් සහ පිතෙන් ඇතිවන රෝග සමනය කරනු ලබනවා.

ඇසේ සුද කැපීමට

කැබැල්ල පොතු.. සහිඳ ලුණු.. බිත්තර කටු... ගල්නහර..එනසාල් ඇට...මී අරටු..ඔළිඳ ඇට..මුරුංගා පොතු යුෂයෙන් අඹරා දෙහි ඇඹුලෙන් ඇසේ ආලේප කරනු ලබනවා. මෙහිදී ඇල්දියට සුද කැපෙනවා. කල් පසුවුණු ඝනකමට ඇති ඇසේ සුද අතින් කපන්නාක් මෙන් කැපෙනවා.

උල්වාරමට

එළ බිංතඹුරු කොළ..කැබැල්ල දලු.කරඳමුලේ පොතු හා කොළ සමව අරගෙන කොටා ගිතෙල්වලින් මලවා බඳීනවා.

ගල් රතට

කැබැල්ල ගසේ බස්නාහිරට ගිය මුලේ පොතු හෝ පැසුණු පොල්කුඩු කොටා බඳීනවා.

ගඩුවලට

කැබැල්ල පොතු.. කැටකෑල පොතු කොටා පැණි සිඳ ආලේප කරනු ලබනවා.

දරුණු කුෂ්ඨ සඳහා

කැබැල්ල පොතු කොටා ගත් යුෂට තඹ කාසි 7 ක් දමා ළිපතබා කකාරා ගානවා

කැබැල්ල පොතු . අමුකහ දමා කොටා යුෂ ගෙන ළිප තබා කකාරා ගානවා

ඇසේ රතට

කැබැල්ල දලු උණු අළුවෙන් තම්බා කසපැන් ලෙලි යුෂයෙන් අඹරා ඇස වටේට ආලේප කරනවා.

සියලුම පාණ්ඩු රෝග සඳහා

කැබැල්ල කොළ හා පොතු..කීකිරිඳීය..කපුකොළ..සියඹලා කොළ..හා දෙහි ඇඹුල් යුෂ. පත බැගින් ගෙන දෙදුර‌‌‌ ග්‍රෑම් 2 බැගින් ද...යහුණු ග්‍රෑම් 20 ක් ද....යබොර ග්‍රෑම් 20 ක්ද ගෙන චූර්ණ කර මුට්ටියක දමා මැටි භාජනය ළිප ළඟ දින 3ක් වළලා තබා ගොඩගෙන, ලුණු ඇඹුල් හැර උදේ සවස බීමට දෙනවා.

ඉතිං පුතා මේ වගේ බේත් රාශියක් කැබැල්ල අඩංගුව රෝග රැසකට යොදනු ලබනවා

මේනිසා පුතා කැබැල්ල කියන්නෙ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙනුත් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක විදිහට හඳුන්වන්න පුළුවන්.”

“ඔව් සර් කැබැල්ලවල ඖෂධීය වගේම පෝෂණීය වැදගත්කම ගැන මට හොඳටම අවබෝධයක් ලැබුණා. සර්ට ගොඩක් ස්තුතියි මට ඒ ටික කියලා දුන්නට.”

“හොඳයි. පුතා මට දේශනයට යන්න වේලාව හරි. දැන් මම යන්නම්.”

“හොඳයි සර්.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.