වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
හූනන් ඇඟට වැටීම සුබද අසුබද?
විවිධ ජන සමාජයන්හි විවිධ විශ්වාස වන්නේය. ඇතැම්හු දීර්ඝ කාලයක් තිස්සේ ලද අත්දැකීම් ඔස්සේ ඒවා සිය ජීවිතය හා සම්බන්ධ කර ගනිමින් ඒවායේ සත්‍යතාවය ප්රත්යක්ෂයයි හඟවති. සත්ත්වයන්ට මිනිසා ඉක්මවා යන තරම් ඉවක් ඇතැයි අපේ ගැමියෝ දැන සිටියහ. ඒ ඉව මත සත්ත්වයන්ගේ ක්‍රියා පද්ධතියේ ස්වභාවය ඔස්සේ සිය ජීවිතය පවත්වා ගැන්ම ඔවුන්ගේ ලක්ෂණය වේ.
නූතන විද්‍යා හා තාක්ෂණික ඥානයෙන් ඉහළ ගිය වර්තමානයේ, ඇතැම්හු ඒවායේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැතැයි පවසමින් හාස්‍යයට ලක් කරති. පෞරාණික හෝ ගතානුගතික හෝ විද්‍යාඥයනට තර්කයට හසු නොවීම හෝ මත ඒවා ප්‍රලාප යැයි එකවර බැහැර කරලීම යුතු නොවේ. ඒ අපේ ගැමි ජන විඥානයයි. එහි මිථ්‍යාව හෝ සත්‍යය ගැන සොයන්නෝ විශ්ව දැනුම අබිබවා යන යම් යම් හාස්කම් ධර්මතා ඇති බව අමතක නොකළ යුත්තෝය.
හූනා සෑම නිවෙසකම පාහේ ජීවත් වන ඉතා කුඩා සත්වයෙකි. සවස් වන විට ඌ බිත්ති මත ඇවිදිමින් ගොදුරු හොයන අයුරු කවුරුත් දකිනු ඇත. හූනන් එන විට ඉරටුවක අග බත් ඇට ගසා බලා සිට, හූනා එක්වරටමට ඒ බත් ඇට ගොදුරු කරගන්නා ආකාරය බලා අපි සැම කුඩා අවධියේ වින්දනයක් ලදීමු. පෙරනිමිති දක්වන සතුන් අතර හූනාට ද විශේෂ ස්ථානයක් හිමිවෙයි. හූනාගේ හඬ, හූනා ඇඟට වැටීම ආදිය ඉදිරියේදී සිදු වන යමක් සම්බන්ධ පෙරනිමිති හෙවත් අනාගත සලකුණු සේ සැලකේ. ඒ එසේ වුවත් ඔය පුංචි සතා මහලොකු සාස්තරකාරයෙක් නම් මහ මෝඩයෙක් වගේ පොල් අත්තේ බිත්තර දමාවි දැයි අසමින් තර්ක කරන්නෝ ද බහුල බව මෙහි ලා කිව යුතු ය.
හූනාගේ හඬ සම්බන්ධයෙන් ජන සමාජය තුළ පවත්නා විශ්වාසයන් කවරේද බලමු.
සූනන් ඇඟට වැටීම
හූනකු ඇඟට වැටීම ද හූනාගේ හැඬීම මෙන්ම කිසියම් ඉදිරි සිද්ධියක් පිළිබඳ පූර්ව නිමිත්තක් ලෙස ඒ පිළිබඳ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. හූනන් ඇඟට වැටීම පිළිබඳ විශ්වාස කරන්නෝ ඇඟට හූනෙකු වැටුණු කල ඉක්මනින් එහි පල විපාක බලති. ඔබ ද එලෙස වූ කල ඉක්මනින් ගෙදර බිත්තියේ හෝ දොරේ පිටුපස එල්ලා ඇති ලිත බලන්නට ඇත. සෑම ලිතකම හූනන් ඇඟ වැටීමේ පලාපල දක්වා ඇත. එසේම ඇතැම්හු අතන මෙතන දුවන හූනා ඇඟට වැටීම එතරම් ගත යුත්තක් නොවේ යයි ඒ පිළිබඳ විශ්වාසය තබන්නවුන්ට මදිපුංචිකමක් සේ උපහාසාත්මකව පවසමින් සිනහ වෙති.
හූනෙකු හිස මතට වැටීම ඉතා නරක බවත් එසේ වීම අනිවාර්යයෙන්ම එම සිද්ධියට ලක් වූ තැනැත්තා දින කිහිපයක් යාමට පෙර බරපතළ අඬදබරයකට, කලකෝලාහලයකට ලක්වනු ඇතැයි දැක්වේ. ඇතමෙකුගේ අදහස එම තැනැත්තා ඉක්මනින්ම මරුමුවට පත්වන බව පෙන්වීමක් ලෙස ය.
මුහුණ මතට හූනෙකු වැටීම ඥාතීන් නිවෙසට පැමිණීමත්, ඥාතීන්ගේ දැකීමක් පෙන්වතැයි කියැවේ.
හූනා නළල මතට වැටුණහොත් නිසැකවම වැදගත් තනතුරු ලැබෙන බව කියයි. රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වෙයි.
නාසය මතට හූනා වැටීම වී නම් දින කීපයක් තුළ අනිවාර්යයෙන්ම රෝග පීඩා උපද්‍රවයනට ගොදුරු වන බන පෙන්වා දේ. ව්‍යාධි බවට පත්වීම වැළක්විය නොහැකි ය.
හූනා ඇස මතට වැටීම යම් කරුණකම වරදකරු වීම සිරදඬුවම් ආදී බරපතළ තත්ත්වයට පත්වීම පිළිබඳ පෙරනිමිත්තකි.
හූනා උඩ තොල මත වැටුණේ නම්, ධනය වස්තුව හානි කරවන අතර, යටි තොල මත වැටුණේ නම්, ධනය වස්තුව හිමි කර දෙයි.
හූනා නිකට මත වැටෙනවා යනු රාජ දඬුවම්වලට ලක්වන බවේ පෙරනිමිත්තකි. වම් උර මතට හූනකු වැටීම වාසනාව පිළිබඳ සිද්ධියකි. ස්ත්‍රී සැප ලැබේ. දකුණු උර මතට හූනා වැටීම රෝගී වීම පිළිබඳව ය.
දකුණු අතට හූනෙකු වැටීම භයානක මරණ තත්ත්වයක් උදාකරවන අතර, වම් අත මතට වැටීම ඉතා ශෝකජනක දරුණු මරණයක් උදාකරවයි.
කෙනෙකුගේ වම් ඇලයට හූනකු වැටීම ආයුෂ අඩු බව පෙන්වන හෙවත් මරණයට ළඟ බව පෙන්වන අවාසනාවන්ත ප්‍රතිඵල උදාකරවන්නකි. දකුණු ඇලයට හූනෙකු වැටීම දියුණුව පෙන්වයි.
දකුණු කන මත වැටීම දීර්ඝායුෂ ද වම් කන වෙළෙහෙළඳාම් ආදියෙන් ලාභද පෙන්වයි. කාන්තාවකගේ පියයුරු මතට හූනෙකු වැටීම ඉතා වාසනාවන්තය. උතුම් ගෞරවය. ස්ත්‍රියකගේ යෝනිය මතට හූනෙකු වැටෙනවා යනු ආදරණීය ස්වාමි පුරුෂයාට මරණය ළඟා කර දීමක් පෙන්වන්නකි.
හූනා ඇඟට වැටී ශරීරයේ දිව ගියේ නම් ඉතා වාසනාවන්තය. දීර්ඝායුෂ ලැබේ. හූනා වැටුණේ ළැම මැද නම් ඥාතීන්ගේ විනාශයද බැම නම් රජුන්ගේ ගෞරවය ද, මුඛය හා මුඛය වටා නම් බයද නිකට නම් රාජ දඬුවම් ද හිසකෙස් නම් මරණ බයද, බෙල්ල නම් සතුරන්ගෙන් හානිද දකුණු වළලුකර පීඩාද වම් වළලුකර කීර්තියද දකුණු අතැඟිලි රාජ සම්මානද වම් අතැඟිලි මිත්‍රයන් සමඟ කලහද, පපුව ධන ලාභද, නැබ රත්නලාභද පිටකොන්ද නම් ද්‍රව්‍යයන් ලැබීමද පිට නම් ශුභ සම්පත්ද, ලිඟුව නම් දරිද්‍රතාව ද, ගුදය නම් වස්තු ලාභද කලව නම් පියාට විපත් ද දකුණු කෙණ්ඩ නම් බොහෝ පාඩුද වම් කෙණ්ඩය නම් කලහ අඬදබරද ඇස් වට නම් සැපද, දකුණු පාදය නම් රෝගද වම් පාදය නම් දුක් ද, දකුණු පාදයේ ඇඟිලි නම් රාජ භය ද වම් පාදයේ ඇඟිලි නම් වේදනා ගෙන දෙන රෝගද නියපොතු නම් ධන හානිද, බඩ නම් ධන සම්පත් ද ආදී වශයෙන් ශරීරයේ ඒ ඒ තැන්හි හූනන් වැටීම මේ මේ කරුණු පෙන්වන්නේ යැයි දක්වති.
හූනන් ඇඟ වැටීම ඔස්සේ කියැවෙන පලාපල සඳහන් කවි කීපයක් අපගේ මතකයේ රැඳී ඇත.
මැණික් කටුවෙ වම් පැත්තේ ගුණ දෙව න
මැණික් කටුවෙ දකුණත රිදුමකි කිය න
සැකක් නැත ළයේ දන සැප නියම ව න
තනෙක් නියම කර ඇති පරදාර ව න
පිට කොන්දේ තම දනයට හානි වෙ ති
පිට උඩ සුබයි වස්තුව ධන ලාබ වෙ ති
ලිඟු පිට වසයි වස්තුව දන බල පා ති
යෝනි උඩ හිමිගෙ මරණය නියම වෙ ති
දෙදන දබර හානිද පඬි බස නිය ම
කෙණ්ඩ උඩ නිරෝගියමය සැප නිය ම
කලවේ පියා ගැන අපලයි කියලා ම
ගුදයේ සැපද ධන හානිය වේ නිය ම
ගමනක් බිමනක් යන විට ද හූනන් හැඬීම අසුබ යැයි මතයක් තිබේ. එහෙත් සැම දිනකම සැම වේලාවකම එසේ නොවේ. එයට හේතුව හූනා හඬන දිශාව හා දවස අනුව එහි පලාපලය වෙනස් වීමයි.
ඇතැම් විට හූනකු හඬන විට එළියට බැස යෑම සුබදායී පල ගෙන දීමට හේතු වෙයි. එයට හේතුව එදින හූනා ඒ දිශාවෙන් හඬා කියන්නේ යන ගමන ජය ගන්නා බව වීමයි. එහෙත් එය නොදන්නා බොහෝ දෙනා හූනා හැඬීම අසුබ බව කියන්නට පෙලඹෙයි. එහෙයින් හූනු සාස්තරය යනු හොඳින් අධ්‍යයනය කර බැලිය යුතු නිමිති ක්රමයකි.
(දිනය හා දිශාව අනුව හූනන් හැඬලීමේ ප්‍රතිපල ලබන සතියේ...)