වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඔබට වින කරන ඇස්වහ කටවහ දෝෂ
ඇස්වහ කටවහ හෝවහ යනු අද සමාජයේ ඉතා හුරුපුරුදු නම් වැලකි. ඇස්වහ යනු ඇස් මුල් කරගෙන පිටවන ශක්තියයි. කටවහ යනු කට මුල්කරගෙන නිකුත් කරන ශක්තියයි. හෝවහ යනු සිත හෙවත් මනෙන්ද්‍රිය මුල්කර ගෙන ඇතිවන්නාවූ ශක්තියකි.
මේ තුන්වර්ගයෙන්ම සිදු වන්නේ අවැඩකි. මේ දෝෂයන් සමාජයේ හැම පුද්ගලයකු කෙරෙන්ම දක්නට නොලැබෙන අතර ඇතැම් පුද්ගලයන්ට පමණක් සීමාවූ ශක්තීන් වේ.
ඇස්වහ, කටවහ, හෝ වහ යනු තරංග විද්‍යාවට අයත් අපේ ඉන්ද්රියයන් හා විඤ්ඤාණය හා සමඟ බද්ධ වූ ශක්තියකි. යම් කිසි කරුණක් අරමුණූ කරගෙන කරන ලද ප්‍රකාශයන් හෝ නෙත ගැටීමක් හෝ සිතුවිල්ලක් මේවායේ ආරම්භයට මුල්වනු ඇත.
උපතේදී කර්ම විපාකය මත පදනම්ව විඤ්ඤාණය මුල්කරගෙන උරුම වන මේ ශක්තීන් ඇති පුද්ගලයන්ගේ ඇසින් සිතින් මෙන්ම වචනයෙන් ද නිකුත්වන තරංග වාතයට මුසුවීමෙන් අදාළ හානිය ක්‍රියාත්මක කරයි. වයස හෝ තරාතිරම ගැන පමණක් නොව ගහකොළවලට, සතා සිව්පාවාට, ගේදොර, යානවාහනවලට පවා මේ දෝෂය බලපවත් වනු ඇත.
කුඩා දරුවන්ගේ සිරුරේ දියබුබුළු දැමීම වැනි අසාත්මිකතා මෙන්ම වෙනත් අසනීපද මේ ශක්තීන් නිසා ඇතිවනු ඇත. කුඩා දරුවන්ගේ නළලට ලොකුවට තිලකයක් තැබීම දරුවාගේ නාභියේ ගෑවෙන අයුරින් පංචායුධයක් පැලඳවීම සිදුකරනුයේ දරුවා මෙවැනි පුද්ගලයන්ගේ දෝෂයනට ලක්වීමෙන් වළකා ගැනීම සඳහාය.
මේ ඇස්වහ කටවහ දෝෂ ඇති අයකු පලබරින් යුතු ගසක් දෙස බැලුවත් එම දෝෂය හේතුවෙන් පලදාව අකාලයේ වැටී යාමට හෝ ගස කඩා වැටීමට හෝ පලදාවට කෘමිහානි සිදුවීමට හෝ වෙනයම් හේතුවක් මත ගසේ ආයුකාලය අඩුව යාමට හේතුවනු ඇත.
වාහනවල නොයෙක් වැකි ප්‍රදර්ශනය කරනු ලබන්නේද මේ දෝෂවලින් වැළකීම සඳහාය. දෙහි හා මිරිස්කරල් මතුරා වාහනයේ ඉදිරිපස එල්ලීමද සිදු කරයි.
නිවෙස්වල ඇති වාස්තු දෝෂවලට අමතරව මෙවන් බාහිර දෝෂද බලපවත්වන අතර එම දෝෂ නිසාද විවිධ කරදර දියුණුවට බාධා නිවැසියන් අතර ආරවුල් සමගියට බාධා ඇතිවීම මෙන්ම නිවෙසේ කවරකු හෝ දිනපතා ලෙඩ රෝගවලින් පීඩා විඳීම ඇති වේ. ඒවායින් ඇති දෝෂ තත්ත්වයන් අවම කර ගැනීම සඳහා බොහෝ අය නිවෙස් තනන විට ගෙය ඉදිරිපිට පුහුල් ගෙඩියක් එල්ලීම, වෙස් මුහුණක් ගැට ගැසීම ආදිය කරනු ලබයි. ගෙය පිටතට නොපෙනෙනසේ ආවරණය කරනු අවස්ථාවන්ද දැකිය හැකිවේ. සැදූ නිවෙස්වල (පදිංචි නිවාස) වුවත් ‘මේ නිවසට බුදු සරණයි’ වැනි පාඨයන් එල්ලා තබන්නේද මේ දෝෂ තත්ත්වයන්ගෙන් වන හානි උවදුරු වළක්වා ගැනීම සඳහාය.
උත්පත්ති කේන්ද්‍රවල පවා ඇස්වහ කටවහ දෝෂ ඇති බව පෙන්නුම් කරන ග්‍රහ පිහිටීම් පෙන්නුම් කරනු ඇත. මේ තත්ත්වයන්ට වඩා ප්‍රබල ශක්තීන් නිකුත් කරන ක්‍රමවේද මඟින් ඇස්වහ, කටවහ, හෝවහවලින් වැළකී සිටීමට හැකි අතර පිරිත් ගාථා යන්ත්‍ර මන්ත්‍ර වැනි ශබ්ද විද්‍යාව උපයෝගී කරගෙන දෝෂ වළක්වා ගත හැකිය. ඒ අතර නිතර නිතර පිරිත් ගාථා යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත විද්‍යාත්මක දේ උපයෝගී කරගෙනද දෝෂ වළක්වා ගත හැකිය.
නිතර පිරිත් භාවිත කරන අයට මේ දෝෂ අඩුවෙන් බලපවත්වයි. ඊට විශේෂ හේතුවක් පවතින අතර පිරිත විසින් භාවිත කරන්නාගේ සිරුරේ අන්තර්ගත ශක්තිය වෙනස් කරනු ලබයි.
උදේ පාන්දර කපුටන් ඇඬීමට පෙර පිරිසුදු වතුර භාජනයකට ඉතිපිසෝ ගාථාව 108 වරක් හා සබ්බ පාපස්ස අකරණං ගාථාව 108 වරක් මතුරා මුහුණ කට සේදීම, බීමට ගැනීම ගෙදර දොරට මෙන්ම ව්‍යාපාරික ස්ථානයන්ට ඉසීමෙන්ද ඇස්වහ කටවහ දෝෂ දුර්වල වනු ඇත.
තවද බලවත් නැකත්වලින් උපදින අයට ප්‍රබල මන්ත්‍රවලින් ආරක්ෂාව සපයාගත් අයට ඉපැරැණි ඖෂධ මඟින් ආරක්ෂාව සලසාගත් අයටද මේ දෝෂවලින් පීඩා නොපැමිණෙනු ඇත.
දෙහි කැපීම, නූල් බැඳීම වැනි ශාන්ති කර්ම අයත් වන්නේද මේ යටතටයි.
එසේම යම් යම් ඖෂධ භාවිතයෙන්ද මේ දෝෂ මඟහරවා ගත හැකි අතර අතේ පිරිසුදුව සිඳගත් රන්තැඹිලි තෙල්ද බලවත් ඖෂධයකි.
එමෙන්ම වියළි මිරිස් කරල්, අබ, සීනක්කාරං රැගෙන ගිනිඅඟුරු සහිත භාජනයකට දමා අඟහරුවාදා හා සිකුරාදා දිනෙක රාත්‍රි 7.00ට පමණ පුලුස්සා නිවස ඉදිරිපස තබා නිවැසියන්ගේ හිස වටා තුන්පාරක් ගිනි අඟුරු භාජනය කරකවා කෙළපිඬක් එයට මුසුකර ගෙය ඉදිරිපිට මාර්ගයේ දැමීමද දෝෂ දුරුවීමට හේතුවෙයි.