කුමරා සුව කළ රස්පුටින් ලෙඩ ඇඳට වැටෙයි

ලෝ පතළ වෙදැදුරා රස්පුටින් - 3
නොවැම්බර් 15, 2024

මෙතෙක් කතාව

සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් ගැටවර වියේ සිටම සොරකම්වල සහ වෙනත් දඩබ්බරකම්වල යෙදුණුමුත්, අවුරුදු 28 දී හිටිවනම වන්දනාකරුවකු බවට පත්වෙයි. එසේ දුර බැහැර වන්දනාවක ගොස් පැමිණි රස්පුටින් විසින් පූජකවරුන් විවේචනයට ලක් කරන්නේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සමලිංගිකයන් බව පවසමිනි. ඉන් අනතුරුව පූජකයකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයන් පිරිසක් ඇති කර ගන්නා රස්පුටින් තමන් දැන හඳුනාගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් සාර් මාළිගයට සමීප වෙයි. ඉන් අනතුරුව හිමෝෆීලියා රෝගයෙන් බැටකන කුඩා රජ කුමරා වෙනුවෙන් යාඥා කරයි. මේ සමඟම සරීනා බිසව ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිකර ගනියි.

සරීනා බිසව මතු නොව, රස්පුටින් ගැන දන්නා බොහෝ දෙනකු තුළ ඇති ප්‍රකට මතයක් වන්නේ මිනිසුන් පොලඹවා ගත හැකි මහා බලයක් ඔහුගේ අසාමාන්‍ය කොළ පැහැයෙන් යුත් දෙඇස්වල ගැබ්ව තිබූ බවකි. මේ දෙඇස්හි බැල්මට ඇතැමුන් ආකර්ෂණය වූ අතර, සමහරු එයට බිය වූහ. එය කොයි ආකාරයෙන් වුවත්. මේ කාරණා දෙකෙන්ම සිදු වූයේ රස්පුටින් නැමැති අද්භූත ආධ්‍යාත්මික සුවකරන්නාගේ කීර්තිය දෙගුණ තෙගුණ වීම පමණකි.

ඒ නිසා මාළිගාවට පැමිණ කුමරාගේ සුවය පතා යාඥා කළ රස්පුටින් රජ මාළිගාවෙන් නික්මුණේ සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව තුළද සිය දෙඇසින් විහිදෙන බලය පිළිබඳ බරපතළ විශ්වාසයක් ජනිත කරවමිනි. මේ අන්දමට යම් සබඳතාවයක් ගොඩනඟා ගැනීමට සමත් වුවද, රස්පුටින් තවමත් රජ මාළිගයේ නේවාසිකයකු බවට පත්වන තත්ත්වයට පත්ව නොසිටියෙන්, ඔහු ආපසු සයිබිරීයාව කරා ගොස් සිටියේය.

මේ අතර, 1912 දී කුමරාට සිදුවූ සුළු අනතුරක් හේතුවෙන් කුමරාගේ රුධිරය වහනය වීමට පටන් ගත් අතර, ඔහුට වැල¼දී තිබූ හිමෝෆීලියා රෝගී තත්ත්වය නිසා රුධිරය නැවැත්වීමට නොහැකි අදියරකට පත් වී තිබිණි.

සිය පුතුගේ තත්ත්වය ගැන අතිශයින් කම්පාවට පත් සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව වහාම රස්පුටින්ට විදුලි පුවතක් යවමින් පවසා සිටියේ සිය පුතු අසීරු අඩියකට පත්ව සිටින බැවින් වහාම රජ මාළිගයට පැමිණ කුමරු වෙනුවෙන් යාඥා කරන ලෙසය.

එසැණින් වහාම විදුලි පුවත ඔස්සේ පිළිතුරු බඳීන රස්පුටින් එහි සඳහන් කරන්නේ “දෙවියන් වහන්සේ ඔබගේ කඳුළු දැක ඇති බවත්, ඔබගේ යාඥාවන්ට සවන් යොමු කොට ඇති බවත්, ඔහු සුවපත් වන බව තමන්ට දැනෙන්නට සලස්වා ඇති බවත්” ය. ඒනිසා කිසිසේත්ම දරුවා මිය නොයන බව ඔහු එයින් සනාථ කර ඇත. එමෙන්ම මේ විදුලි පුවතේ ඔහු විශේෂයෙන්ම අවධාරණය කර ඇත්තේ සීමාව ඉක්මවා කෙරෙන වෛද්‍ය පරීක්ෂාවන්ගෙන් දරුවාට කරදර නොකර ඔහුට විවේකීව සිටින්නට අවස්ථාව ලබාදෙන ලෙසයි.

රස්පුටින්ගේ ඉල්ලීම ඒ අයුරින්ම ක්‍රියාත්මක වූ නමුදු දෙවෙනි දවසේ ද කුමරයා සුවපත් වන බවක් දක්නට නොලැබුණි. තව දුරටත් රුධිරය වහනය වෙමින් කුමරාගේ තත්ත්වය අසාධ්‍ය වන්නේ රජ පවුලේ සියලු බලාපොරොත්තු සුන්කර දමමිනි.

එහෙත් තුන්වැනි දවස උදාවන්නේ ප්‍රාතිහාර්යයක් සමගිනි. මක්නිසාද යත් වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිළි කළ නොහැකි හේතුවක් ද සමඟ කුමරාගේ රුධිර වහනය නැවතී ඔහු සුවපත් වීමට පටන් ගත්තේය. එතැන් සිට කුමාරයා හීමෝෆීලියාවෙන් මිදුණු සාමාන්‍ය පුද්ගලයකුගේ තත්ත්වයට පත්වෙයි. මෙතැන් සිට රුසියානු රජ පවුලට රස්පුටින්ගේ ආශ්චර්යජනක සුව කිරීමේ බල මහිමය පිළිබඳව අල්පමාත්‍ර හෝ සැක සංකාවක් ඉතිරි වන්නේ නැත.

සිය ජීවිතයේ අවසාන කාලයේදී “පිස්සු පූජකයා” නොහොත් “ර්චඤ ර්ධදඬ” යනුවෙන් හඳුන්වනු ලැබූ රස්පුටින් විසින් මේ අයුරින් කුමාරයාගේ හිමෝෆීලියාව සුවපත් කළේ කෙසේදැයි යන්න හෝ එය සිදු කළේ කොයි අයුරින්දැයි යන්න මේ තාක් නියමාකාරයෙන් විග්‍රහ කෙරී නැත.

එහෙත් වෛද්‍යවරුන් විසින් අනුමානය කරනු ලබන එක් දෙයක් වන්නේ, කුමරා වටකර ගෙන සිටි කළබලකාරීව හැසිරුණු වෛද්‍ය කණ්ඩායම රස්පුටින්ගේ ඉල්ලීම පරිදි ඉවත් කිරීමත් සමඟ, කුමරු තුළ වූ ආතතිය සමනය වන්නට ඇති බවය. මේ නිසා ඇති වූ යහපත් මනෝභාවයද යම්තාක් දුරකට ඔහුගේ රෝගය සුවපත්වීමට බලපාන්නට ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. ඒ හැරුණු කල එතෙක් කාලයක් වෛද්‍යවරුන් විසින් කරන ලද ප්‍රතිකාරවලින් යම් පිහිටක් ලැබීමෙන් මේ සුවපත්වීම සිදු වුවාද නැතිද යන්නත් කිසවකු නොදන්නා කරුණකි.

ඒ කොයි ආකාරයේ සිද්ධියක් නිසා හෝ කුමරුන් සුවපත් වුවත්, එම ජයග්‍රහණයේ වාසිය බැර වූයේ රස්පුටින්ගේ ගිණුමටය.

මේ සිද්ධියෙන් අනතුරුව රුසියාවේ සාර් රජ පවුලට බලපෑමක් කළ හැකි ඉහළම පුද්ගලයා බවට පත් වූයේ මේ කියන ග්‍රිගෝරි රස්පුටින්ය. ඔහු එතැන් සිට රජුගේ සහ බිසවගේ ආධ්‍යාත්මික ජීවිතයට පමණක් නොව, රටේ දේශපාලන තීන්දු තීරණ අරභයා ද බලපෑම් කරන තත්ත්වයට පත්වූයේ නිරායාසයෙනි.

ඔහුගේ මේ බලපෑම කොතෙක්ද යත් රටේ ප්‍රධාන පෙළේ පුවත්පත්වල සාර් රජු සහ බිසව රස්පුටින් තම දෙකකුල් මත වාඩි කරවා ගෙන සිටින අන්දමේ කාටූන් පළවීමෙන් සනාථ වෙයි.

කොතෙක් බලය ලැබුණද එය නිසි පරිදි කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් නොවීමේ බරපතළ අවාසනාවක් ඔහු තුළ විය. එයට හේතුව වූයේ ඔහු සතු අසීමිත කාම තෘෂ්ණාවත්, සුරාපානය අරභයා වූ දැඩි ලොල් බවත්ය.

රජු සහ බිසව තමන් කෙරෙහි දක්වනු ලබන අන්ධ භක්තිය අසීමිත අයුරින් ප්‍රයෝජනයට ගත් රස්පුටින්, රජුගේ තරුණ දුවරුන් රාත්‍රී නිදන ඇඳුම්වලින් සැරසී සිටින අවස්ථාවලදී පවා ඔවුන්ගේ සයනාගාරයට අනවසරයෙන් ඇතුළු වී කතාබස් කිරීමට පුරුදුව සිටි බව පැවසේ. රජු සහ බිසව මේ සම්බන්ධයෙන් නිහඬතාවය සුරැකි නමුදු, කුමාරිකාවන්ගේ පාලිකාව වූ සොෆියා ඉවනෝවා ටියුච්ඩිවා නැමැත්තිය ඒ පිළිබඳව බෙහෙවින්ම කලබලයට පත් වුවාය. ඉන්පසු මේ තත්ත්වය ගැන සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසවට පැමිණිලි කරනු ලැබුවාය. එහෙත් සියලු දෙනාම පුදුමයට පත් කරවමින් පාලිකාව රැකියාවෙන් නෙරපා දැමූ සරීනා බිසව රස්පුටින් ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තාය.

“ෆාදර් ග්‍රෙගරි” යන ගෞරව නාමයෙන් රස්පුටින් ඇමතීමට පුරුදුව සිටි සරීනා බිසව, රස්පුටින්ව ආරක්ෂා කරනු ලැබුවේ මේ කාරණයේදී පමණක් නොවේ. ඉවක් බවක් නොමැතිව රජ මැදුරේ සේවිකාවන් දූෂණය කිරීමට පුරුදුව සිටි රස්පුටින් පිළිබඳව, එම සේවිකාවන් ඉදිරිපත් කළ කිසිදු පැමිණිල්ලක් බාර ගැනීමටද ඇය සූදානම් නොවූවාය. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදු වූයේ එකී සේවිකාවන්ට තම සේවය අහිමිවීම පමණකි.

මේ ආකාරයට සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව තමා ආරක්ෂා කිරීම සඳහා වඩ වඩාත් පෙලඹෙද්දී රස්පුටින්ද රැජිණ වෙනුවෙන් පමණක් පෞද්ගලික යාඥා මෙහෙයන් සූදානම් කරන්නට පටන් ගත්තේය.

ඒ ඇයගේ සයනාගාරයෙහි අන් කිසිවෙකුටවත් පැමිණිය නොහැකි තත්ත්වයක් යටතේ ය. මේ අයුරින් කටයුතු සිදුවන්නට පටන් ගැනීමත් සමඟ රස්පුටින් සහ සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව අතර අයථා සම්බන්ධයක් ඇතැයි යන්න රටපුරා පැතිර යෑමට පටන් ගත්තේ විටින් විට එකතු වු සත්‍ය හා අසත්‍ය තොරතුරු සමුදායක්ද සමඟිනි.

මේ කාලය වන විට රස්පුටින් සම්බන්ධව කුප්‍රකට කීර්තිය රුසියාව තුළ පමණක් නොව, යුරෝපය පුරාද පැතිර ගොස් තිබිණි.

මේ වන විට සමස්ත රුසියානු ජනතාව පමණක් නොව, යුරෝපයේ ජනතාව තුළ පවා රස්පුටින් පිළිබඳව ඇති වී තිබුණේ බරපතළ අප්‍රසාදයකි. විශේෂයෙන්ම රුසියාවේ රදළ පැළැන්තිය තුළ ඔහු කෙරෙහි ඇති වී තිබුණේ බරපතළ වෛරයක් යයි පැවසුවහොත් එය නිවැරැදිය. ඔහුට එරෙහි විරෝධය ඝාතන කුමන්ත්‍රණයක් දක්වා වර්ධනය වන්නේ රජ පවුලෙන් පිටත ගොඩනැගෙන මෙකී වෛරය හේතු කොට ගනිමිනි.

එම කුමන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ රස්පුටින්ගේම පරණ අනුගාමිකයෙකු වූ එක්තරා පූජකවරයකු විසිනි. රස්පුටින් අතින්ම දූෂණය වූ, ඔහුට බරපතළ ලෙස වෛර කරන කාන්තාවක යොදා ගනිමින් සිදු කරනු ලබන මේ කුමන්ත්‍රණයේ කූටප්‍රාප්තිය වන්නේ ඇය විසින් ඔහුට මාරක පිහි පහරක් එල්ල කරනු ලැබීමය. මේ හේතු කොටගෙන බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන රස්පුටින් මරණයට අත වනමින් ලෙඩ ඇඳට වැටෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.