සුබ මුහුර්ත සෑදීම පිළිබඳ

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
නොවැම්බර් 1, 2024

ඡ්‍යොතිෂය හා මිනිසා අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි.එහිදී මිනිසා විසින් තම සුබ කටයුතුවලට ශුභ මුහුර්තයන් සලකා බැලීම සිදු කෙරේ. ශුභ මුහුර්ත සම්බන්ධයෙන් සුබසෙතට රිදිමාලියද්දේ ගාමිණි මහතා එවූ ලිපියට ඡ්‍යොතිෂවේදනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි මේ.

නැකැත් හෙවත් සුබ මුහුර්ත සෑදීම හා පොරොන්දම් ගැළපීම යනු විෂයයන් දෙකකි. එහෙත් මේ විෂයයන් දෙකම සිදු කරන්නේ ජන්මියාගේ උත්පත්තියේදී සඳු ග්‍රහයා සිටින නැකැත මුල් කරගෙනය.චන්ද්‍රයාගේ පැවැත්ම හිරු නිසා සිදුවන බැවින් රවි චන්ද්‍ර දෙදෙනා අන්‍ය සියලුම ග්‍රහයන්ට වඩා නැකැත් සෑදීමේදී මූලික වේ. දිනය, තිථිය, යෝගය, කරණය, නැකැත යන පංචාංගයට මුල් තැන දී නැකැත් සෑදිය යුතුය. සුබ දින වශයෙන්, සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයන් ද සැලකේ.

තිථියේ දී රික්තාදිය ද විෂ්ටි, දග්ධ, මර යෝග, විෂයෝග, අග්නියෝග, සකට යෝග, රාහු කාලය හා ගුලිත වැනි අශුභ දෝෂයන් මඟහැර නැකැත් සෑදිය යුතුය. වෘෂභ , සිංහ, තුලා, කුම්භ යන ලග්නවල මැදද මේෂ, කන්‍යා, ධනු, මීන ලග්නවල මුලද මිථුන, කටක, වෘශ්චික, මකර යන ලග්නවල අග ද විෂ දෝෂ වෙයි. එවැනි විෂ ලග්නයක ශුභ වර්ගයක ( පාදයක) සඳු සිටි කල්හි ද, ගුරු ග්‍රහයා කේන්දරගත කල්හිද එකී විෂ දෝෂ භංග වේ.

ගුරුගේ දැකීමෙන් දෝෂ ස්ථාන ශුද්ධ වේ. දවල් කාලයේදී රවි 11ට තැබීමෙන්ද, රාත්‍රී කාලයේ සඳු 11 තැබීමෙන්ද කෝටියක් දෝෂ භංග වේ යැයි ඡ්‍යොතිෂයේ සඳහන් වේ. බුධ ලග්නයේ සිටියදී සෑදූ නැකැතෙහි පන්දහසක් දෝෂ භංග වේ යැයිද, සිකුරු ලග්නයේ සිටියදී සුබ වැඩ කළ විට දස දහසක් දෝෂ භංග වෙතැයි ද, ගුරු ලග්නයේ සිටීමෙන් සියලු දෝෂ භංග වෙතැයිද සැලකේ. ඉතා අයහපත් යෝග හැර මේ ශුභ ග්‍රහයන් ලග්නයේ තබා සුබ වැඩ කටයුතුවලට නැකැත් සාදාගත හැකිය.

පොරොන්දම් බැලීමේදී කේන්දර සටහන්වලට මුල්තැන දෙන අතර විශේෂ තැනක් ලැබෙන්නේ රවි, සඳු, කුජ, සිකුරු ග්‍රහයන්ට වනු ඇත. ගුරු ලග්නගත වූ පමණින් පොරොන්දම් බැලීමේදී සියලු දෝෂ භංග නොවේ. එහෙත් පාප ග්‍රහයන් අස්ථ නොවූ ගුරුට හෝ සිකුරුට අංශක, සම, ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පෙනේනම් එම පාප දෝෂ භංග වී ශුභ ඵල ගෙන දෙනවා ඇත.

ග්‍රහ පොරොන්දම බැලීමේදී ස්ත්‍රී කේන්දරයක ලග්නය, චන්ද්‍රයා සහ සිකුරු කෙරෙන් 2, 7, 8 යන ස්ථානවල පාපියන් සිටීම අශුභවේ. ලග්න චන්ද්‍ර සිකුරු පාපීන්ගෙන් පීඩා විඳීමද අශුභවේ. එහෙත් එවැනි ස්ථානය ගුරුට පෙනේනම් සියලු දෝෂ භංගවේ.

පුරුෂ කේන්දරයක ලග්න, චන්ද්‍ර, සිකුරු කෙරෙන් 2,7,8 යන ස්ථානවල පාපපීන් සිටීම විවාහයට අශුභවේ. එසේම දරුඵල, දියුණුව, විවාහයට පත්වන යුවළගේ අදහස් ගැළපීම ආදියේදී ගුරු ලග්නගත වීමෙන් දෝෂ භංගවීමක් සිදු නොවනු ඇත.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

---------------------------------

සෙනසුරු ඒරාෂ්ටක බලපෑම පිළිබඳ

සෝමා - ගල්ලෑල්ල

මහත්මියනි,

මා කටක ලග්න හිමි කාන්තාවක්මි. වරක් කේන්දර පරීක්ෂාවකදී මා හට සෙනසුරු ඒරාෂ්ටක තත්ත්වයක් පවතින බවත්, එම කාලසීමාව තුළ නොසිතූ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවන බවත් දැනගන්නට ලැබුණි. එහිදී සෙනසුරු ඒරාෂ්ටකයෙන් ජන්ම හිමියාට වන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මඟින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.