වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ඩ්‍රැකියුලාගේ මිටියාවත
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත යොමු කරමිනි. ඉක්බිති හතර පස් වැනි වතාවටත් පපුව මත කුරුසියේ සලකුණ ඇඳගත් හෙතෙම අශ්ව කරත්තයට නැගුණේ එක්තරා ජර්මන් වචනයක් යළි යළිත් තොල් මතුරමිනි.
මේ ජර්මන් වචනය කුමක්ද යන්න තේරුම් ගැනීමට තරම් භාෂා දැනුමක් මා තුළ විය. එහෙත් ඔහු කැඩුණු ඉංග්‍රීසියෙන් තව දුරටත් පැහැදිලි කරනු ලැබුවේ එහි තේරුම “සිය දිවි නසා ගන්නවුන් වළ දමන ස්ථානය” වන බව ය. මෙය ඉතා අශුභ ස්ථානයක් බවත්, ජීවත්ව සිටින්නවුන් සංචාරයට නොයා යුතු තැනක් බවත්, තව දුරටත් රළු ඉංග්‍රීසි බසින් හා අංග චලනයෙන් හෙතෙම පෙන්වා දුන්නේ ය. එයට හේතුවන පුරාවෘත්තය ද මා හට පවසනු ලැබුවේ බියපත් කිරිමෙන් හෝ මගේ ගමන වළක්වාලීමේ සද්භාවයක් ඔහු තුළ වූ නිසායයි මම සිතමි.
මේ අතර ඔහුගේ නොනවතින කන්කෙඳීරිය එක්වරම අවසන් කරන්නට සිදු වූයේ ඈතින් ඇසෙන්නට පටන්ගත් වෘකයින්ගේ උඩු බුරුලෑමක් හේතුකොට ගෙන ය. ලේ සිඳී ගිය සුදුමැළි මුහුණින් යුතුව මා දෙස බැලූ ඔහු පැවසුවේ,
“ඒක වෘකයන්ගේ හඬක්, ඒත් මේ කාලයේ මෙහේ වෘකයෝ නැහැනෙ” යනුවෙනි.
මේ සමඟ කරත්තයට බැඳ සිටි අසුන් දෙදෙනා අසාමාන්‍ය ලෙස කලබල කරන්නට පටන් ගත් අතර, මහලු කරත්තකරුවාට උන් සන්සුන් කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් දරන්නට සිදු විය. ඉක්බිති තම සාක්කුවෙන් පැරැණි පන්නයේ ඔරලෝසුවක් එළියට ගත් ඔහු නැවතත් මා හට ආයාචනය කරන්නට සූදානම් වුවද, වහාම ආපසු යන ලෙසට කළ මගේ නියෝගයට අවනත වූයේ ය.
“වැඩි වෙලාවක් යන්ට මත්තෙන් හිම කුණාටුවක් එනවා”
කරත්තය දක්කන්නට පෙර තවත් අනතුරු හැඟවීමක් කරන්නටද ඔහු අමතක නොකළේ ය. මම එයට පිළිතුරක් නොදුන් අතර මේ හිත හොඳ අහිංසක මිනිසා කරත්තය රැගෙන නික්ම යනතුරු මම බලා සිටියෙමි.
මගෙන් දුරස්ව ඉදිරියට ඇදෙන අශ්ව රථය ඉදිරියට කළු ඇඳගත් උස පුද්ගලයෙකු පැමිණෙන ආකාරය මා නෙත ගැටුණේ ඒ මොහොතේදීය. මේ පුද්ගලයාගේ පැමිණීමත් සමඟ අශ්වයින් දෙදෙනා නැවත වරක් දැඩි ලෙස බියපත්ව දඟලන්නට පටන් ගත්තා පමණක් නොව, රථයද ඇද ගෙන වේගයෙන් දිව යන්නටද වූයේය. මේ අයුරින් අශ්ව රථය සැණෙකින් ඉදිරියට ඇදී ගියද, ඒ මොහොතේම කළු ඇඳගත් උසැති රූපයද කිසිදු හෝඩුවාවක් නොතබා අතුරුදහන් ව තිබුණේ ය.
ඉක්බිති මේ අද්භූත හුදෙකලා මිටියාවත ඔස්සේ ඉදිරියට ඇවිද එද්දී මහලු රියදුරා විසින් පවසන ලද භයංකාර කතාන්තරය වඩා පැහැදිළි ලෙස මා ඉදිරියේ දිග හැරෙන්නට පටන් ගත්තේ ය. ඒ වෘතාන්තයට අනුව කලකට පෙර මේ ප්‍රදේශයේ ගම්මානයක් තිබී ඇත.
එහෙත් අවුරුදු සිය ගණනාවක් තිස්සේ කිසිවකුත් එහි පදිංචිව සිට නැත.
මනුෂ්‍ය වාසයෙන් තොර වීමෙන් අනතුරුව ගම්මානය එක්කෝ වැළලී ගොස් ඇත. එසේ නැත්නම් වනාන්තරයේ ගහ කොළ හා එක්ව වනයට ම බිලි වන්නට ඇත.
ගම්මානය මනුෂ්‍යයන්ගෙන් තොර වීමට හේතු වී ඇත්තේ හේතුවක් නොදන්නා අමනුෂ්‍ය බලපෑමකි. එහිදී සිදු වී ඇත්තේ දත් පහරවල් දෙකකින් ගෙල සිදුරු කර ලේ උරා බොන ලදුව, ගම්වැසියන් හිටිවනම මිය යන්නට පටන් ගැනීම ය. එම මළ සිරුරු මිහිදන් කිරීමෙන් අනතුරුව තවත් අද්භූත සිද්ධියක් වන්නට පටන් ගෙන තිබේ.
එය නම් ගමේ සොහොන් පිටියේ මිනී වළවල් තුළින් විවිධාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගැනීමයි. මේ හේතුවෙන් භිතියටත්, කුතුහලයටත් පත් ගම්වැසියෝ ඉතා ප්‍රවේශමෙන් මිනී වළවල් විවෘත කර බැලූහ. එහිදී දක්නට ලැබුණේ තමන්ගේ මියගිය ආදරණීයයන් පණ පිටින් සිටින ආකාරයටම මිනී පෙට්ටි තුළ වැතිර සිටින අයුරු ය. ඒ හැරුණු කල මේ මොහොතේ මිනිස් රුධිරය පානය කළාක් මෙන් ඔවුන්ගේ දෙතොල් රුධිරයෙන් රත් පැහැ ගැන්වී තිබිණි. මේ සියල්ලෝම කුමන හෝ බලගතු ශාපයකට මැදිව රෑ මැදියමේ මළවුන්ගෙන් නැගිට ගම්මුන්ගේ මිනිස් රුධිරය උරා බීමට පුරුදුව සිටින බවත් ඉන් අනතුරුව ඔවුන්ද මේ තත්ත්වයට පත්වන බවත් ගැමියෝ වටහා ගත්හ.
බියෙන් ත්‍රස්ත වූ ගැමියෝ තමන්ගේ සියලු බව බෝග, ඉඩකඩම් අත්හැර දමා දුරු රටක් වෙත පළා ගියහ.
එදා මෙදා තුර රාත්‍රියට මළවුන් අවදිව සැරිසරන මේ බියකරු නිම්නයේ පදිංචි වීමට තරම් නිර්භීත වූ කිසිවකු නොවී ය.
එක්වරම මට පෙනී ගියේ මා ගිය මාර්ගය අවසන් වූ බව ය. එහෙත් අභාග්‍යයකට මෙන් මාර්ගය අවසන්ව තිබුණේ වනාන්තරයක ආරම්භයත් සමඟ ය.
එහෙත් ඔහු විසින් පැවසූ පරිදි මළගිය ආත්මයන්ගේ අවදීවීමට වඩා බරපතළ අභියෝගයක් මා ඉදිරියේ මතු වෙමින් පැවතිණි. එනම් එතෙක් පැවති දිප්තිමත් හිරු එළිය සම්පූර්ණයෙන්ම අකාමකා දමමින් අහස් කුස මත අඳුරු වලාකළු එක් රොක්වන්නට පටන් ගැනීම ය. ඒ සමඟම පරිසරය අන්ධකාරයෙන් පිරෙන්නට පටන් ගත් අතර, අහස දෙස බැලූ මට පෙනී ගියේ හරියටම මා සිටින තැන වට කරන්නට තැත් කරන්නාක් මෙන් මගේ හිසට ඉහළින්ම ඒවා ඒකරාශී වන බවකි. කළු වලාකුළු සමූහයේ ආගමනය වැඩිවත්ම ශිතල සුළඟක් ද හමා ආ අතර, අහසේ ගිගිරුම් හඬ හා මුසුව වෘකයන්ගේ උඩු බිරීමක්ද දෙසවන වෙත ඇදී ආවේ ය. ඉක්බිති තවත් වැඩි වේලාවක් කල්පනා කිරීමට ඉඩ නොතබා මා පසුකර පැමිණි නිම්නයේ කෙළවර දැඩි මීදුමකින් වැසී ගියේ ය. දරාගත නොහෙන තරමට වැඩි වන්නට පටන්ගත් ශීතලත් සමඟ අන්ධකාරය හාත්පස වෙලා ගත්තේ මා හුදෙකලා කිරීමට අවශ්‍ය සියලු සාධක සම්පුර්ණ කරමිනි. විටින් විට මොහොතකට අඳුර පලවා හරිමින් හාත්පස එළිය කළ විදුලි කෙටීම්වලින් දැකගත හැකි වූයේ හිම කුණාටුව විසින් මුළු පරිසරයම සුදු පැහැ ගන්වා ඇති බව ය.
ඇති වන්නට හා නැති වන්නට කියා මගේ පිහිටට තිබුණේ ඉදිරිපස වනාන්තරයේ ගස් ගොන්නේ පිළිසරණ පැතීම පමණි. මා සිතුවාට වඩා කෙටි කලක් තුළ කුණාටුව නිම වී අහස පැහැදිළි වුවද, ඒ වන විට රාත්‍රී අන්ධකාරය එළඹී තිබිණි. එහෙත් දෛවයේ මොනයම් හෝ කාරුණික භාවයක් හේතුවෙන් වටපිට දැක බලාගත හැකි පරිදි සඳ එළිය පතිතව තිබිණි.
සයිප්‍රස් හා යූ ගස් අතරින් වැටුණු සඳ එළියෙන් ඉදිරියට ගිය මට පෙනී ගියේ මා සිටින්නේ හුදු වනාන්තරයක් තුළ පමණක් නොවන බව ය. එය කිරි ගරුඬෙන් තැනුණු සොහොන් ගෙයක් ප්‍රධාන කොට ගනිමින් පැතිරුණු වනයෙන් වැසුණු සුසාන භුමියක් වූයේ ය.
(තවත් කොටසක් ලබන සතියේ )
සුප්‍රකට ඩ්‍රැකියුලා නවකතාව රචනා කළ බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ (Dracula’s Guest) කෙටි කතාව ඇසුරෙනි.