ශාක සාරවලින් මහාමාරිය පැරද වූ ප්‍රංශ අනාවැකිකරු

ජූලි 5, 2024

මෙය 1554 ප්‍රංශයේ මාරේසෙල්ස් නගරයෙහි එක්තරා වීදියකි. පාළුවට යමින් තිබූ වීදිය ඔස්සේ අසීරුවෙන් ඇවිද ආ මිනිසකු තම සිරුරේ මුළු ශක්තියම මුදා හරින අයුරින් කිවිසුමක් පිට කළේය. ඒ සමඟම ක්ලාන්තව බිම ඇද වැටුණු ඔහු එතැනින් ලෙඩ ඇඳටද, ඉන් මිනී වළටද ගමන් කළා විනා ජීවිතය අත් විඳීන්නට යළි දෙපයින් සිට ගත්තේ නැත.

මෙසේ වූයේ බුදුන් දවසේ විසාලා මහනුවර තුන් බිය සිහි ගන්වමින් මේ වන විට යුරෝපය මුළුල්ලේ මහාමාරිය නම් මාරක වසංගතයක් පැතිරී තිබීම නිසාය. යුරෝපයේ ජනගහනයෙන් මිලියන 25 ක් මරු තුරුලට යැවූ මේ වසංගතය ඉදිරියේ සාමාන්‍ය ජනතාව පමණක් නොව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍යය සේවා බල ඇණි ද භීතියට පත්වූහ. රෝගය පැතිරීමේ හේතුව කුමක්ද යන්න හෝ කළ යුතු ප්‍රතිකාරය කුමක්දැයි කිසිවෙකුට නිශ්චිත වැටහීමක් නොතිබූ තත්ත්වයක් යටතේ වෛද්‍යවරයෙකු මාර්සෙල්ස් නගරයේ පැතිරුණ රෝගයට එරෙහිව මුහුණ දීමට එක් වෛද්‍යවරයෙකු ඉදිරිපත්වී තිබේ.

ඒ මිචෙල් ඩි නොස්ට්‍රඩාමුස්ය. මේ මොහොත වන විට වෛද්‍යවරුන් මහාමාරියට මුහුණදීමට සුදානම් වූයේ කුරුල්ලෙකුගේ මුහණනත බඳු වෙස් මුහුණක් පැලද එහි හොටය තුළ ප්‍රබල සුවඳක් සහිත ශාක ඖෂධ තැන්පත් කර ගනිමිනි. වෙස් මුහුණෙහි ශ්වසනය

සඳහා වා සිදුරු වු අතර ඇස් ඉදිරියෙන් වීදුරු කැබළි සවිකර තිබිණි. සමින් කරන ලද ලෝගුවකින් මුළු සිරුරම වසාගත් ඔවුහු අත්මේස් බූට්ස් සපත්තු ආදියෙන් සැරසී සිටියහ. මෙය ඔවුන් දත් පමණින් විෂබීජවලින් ආරක්ෂා වීමට ගන්නා ලද පියවරක් වුවත්, ඔවුන්ගේ දර්ශනයද මේ වසංගතයට බලපාන්නට ඇතැයි යන අදහස නිසා සමහර ස්ථානවලදී වියරු වැටුණු ජනතාවගේ පහරදීම්වලට ලක්වූ බවද වාර්තා වී තිබේ.

එහෙත් මේ ඉතා භයංකාර අවස්ථාවේදී පවා නොස්ට්‍රඩාමුස් හැකිතාක් බුද්ධිමත්ව විද්‍යානුකූලව ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බව පෙනී යයි. ඔහු මේ අවස්ථාවේදී වියළන ලද රෝස පෙති ඉතා සිහින්ව කුඩු කර හලා, එයට සයිප්‍රස් ලී කුඩු, අයිරිස් ඔෆ් ෆ්ලොරන්ස්, කරාබු නැටි, සුවඳ කැවූ කැලමුස් දියර, සහ කෝමාරිකා යුෂ යම් යම් අනුපාතවලට මිශ්‍ර කොට එයින් ලොසින්ජර වර්ගයක් නිෂ්පාදනය කළේය. ඒවා රෝගීන් අතර බෙදා දුන් නොස්ට්‍රඩාමුස් පැවසුවේ ජනතාව හැමවිටම එම ලොසින්ජරයක් දිවයට තබා ගත යුතු බවය. මීට අමතරව උණු වතුරෙන් තම්බා පිරිසිදු කරන ලද ඇඳ ඇතිරිලි, උණු කර නිවා ගන්නා ලද ජලය, ආසාදිත ප්‍රදේශවලින් බැහැර පරිසරයකදී සිදු කරනු ලබන සරල ව්‍යායාම, පිරිසිදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, නිරෝගී පුද්ගලයන් හැකි ඉක්මනින් වෙන් කිරීම, රෝගීන් සඳහා ඔහු විසින් අනුගමනය කරන ලදී. මේ හැරුණු විට මස්මාංශ අනුභවයෙන්ද රෝගියා වැළකී සිටිය යුතු වූයේය.

නොස්ට්‍රඩාමුස් ගැන පසු කාලීනව කෙරෙන විමසා බැලීම්වලදී පෙනී ගොස් ඇත්තේ ඔහුගේ ශාක ප්‍රතිකාරවල විශේෂ ගුණයක් තිබෙන බවය. වසර දහස් ගණනක් පැරණි චීන ශාක ඖෂධීය ප්‍රතිකාර ක්‍රමයේ දියුණුව ගැන සලකා බලන විට නොස්ට්‍රඩාමුස්ගේ ශාක සාර මිශ්‍රණය හේතුවෙන් වයිරසයට මුහුණ දීම සඳහා ජනතාවට යම් ශක්තියක් සැලසෙන්නට ඇතැයි සිතිය හැකි බවය.

වෛද්‍ය විශේෂඥයන් විසින් පවසන ලද පරිදි වමනයට හා පාචනයට කෝමාරිකා යුෂ භාවිත වේ. බැක්ටීරියාවලට එරෙහි සටනේදී කරඳමුංගු විෂබීජ නාශකයක් ලෙස පෙරමුණ ගනී. මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් වෛද්‍ය කේෂ්ත්‍රය තුළ එකල නිර්දේශිතව නොතිබුණි. එහෙත් ඔහු අනුගමනය කළ ක්‍රමවේදය විද්‍යානුකූලය. උණු වතුරෙන් තම්බා පිරිසුදු කරන ලද ඇඳ ඇතිරිලි හේතුවෙන් ආසාදනය ගෙන එන මැක්කන් විනාශ වේ. මස්මාංශ අනුභවය නැවතීම නිසා නරක් වූ මාංශ රෝගියාට ලැබීමේ අවදානම ඉවත්ව ගියේය. පිරිසිදු වාතය විසින් රෝගීන්ගේ රුධිරය පිරිසිදු වන්නට ඇත. පෙනහලු නීරෝගී වන්නට ඇත.

එදා නොස්ට්‍රඩාමුස් අනුගමනය කළ පිළිවෙත වත්මන් සෞඛ්‍ය සේවාව තුළද අනුගත කරුණුය. මේ ආකාරයට මාර්සෙල්ස් නගරයේ වසංගතය මැඩ පැවැත්වීමෙන් පසුව විශේෂ දූත පිරිසක් විසින් ඔහුව අයික්ස් එන් ප්‍රයික්ස් නගරයට කැඳවාගෙන යන ලදී. එහි තිබූ වසංගත තත්ත්වය මැඬ පැවැත්වීම නිසා විශාල ත්‍යාග මුදලක් පමණක් නොව විශ්‍රාම වැටුපක්ද ඔහුට ලබා දීමට එහි සිටි ධනවත්හු කටයුතු යෙදූහ. ගැලිලියෝ විසින් සූර්යයා වටා පෘතිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය භ්‍රමණය වන බව පවසන්නට ශත වර්ෂයකට පෙර ඒ බව ප්‍රකාශ කළ විශිෂ්ටයා වූයේද නොස්ට්‍රඩාමුස්ය. 1503 දී ප්‍රංශයේ උපත ලද ඔහු පසුව විවිධාකාර විෂයයන් ගණනාවක් කෙරෙහි හැකියාවන් පෙන්වූ පුද්ගලයකු වුවද හෙතෙම අද වන විට ලෝකයාගේ මතකයේ රැඳී ඇත්තේ සුපතළ අනාගත වක්තෘවරයෙකු වශයෙන් පමණි.

නමුත් නොස්ට්‍රඩ්‍රාමුස් යනු කිසිසේත්ම එවැනි ගුප්ත බලයක් සහිත පුද්ගලයෙකු ලෙස පමණක් ලඝූ කළ යුතු අයෙකු නොවේ. ඔහු ඊට වඩා ශාස්ත්‍රීය දැනුම් සම්භාරයකින් පිරිපුන්, විශේෂයෙන් උපාධිය සහිත වෛද්‍යවරයකු විය. දර්ශනවාදය හා ස්වභාව විද්‍යාව මෙන්ම ඡ්‍යොතිෂයද විෂයයක් වශයෙන් හැදැරූ අයෙකි. ඊට අමතරව විවිධ ජීව විද්‍යාත්මක පර්යේෂණයන්හිද නියළුණු විද්‍යාඥයෙකි.

ඔහුගේ පියාගේ මූලික අභිප්‍රාය වූයේ තම වැඩිමහල් පුතු දක්ෂ වෛද්‍යවරයකු බවට පත් කිරීමය. ඒ හේතුවෙන් මොන්ටිපෙලියර් නම් රටේ කීර්තිමත්ම වෛද්‍ය විද්‍යාලයට ඔහුව ඇතුළත් කරනු ලැබිණි. ඒ වන විට එනම් 1376 දී මේ වෛද්‍ය විද්‍යාලයට මළ සිරුරු විච්ඡේදනය කිරීමේ අවසරයද ලැබී තිබූ හෙයින් ශිෂ්‍යයින්ට මිනිස් සිරුර අරභයා අංග සම්පූර්ණ අධ්‍යයනයක් ලැබීමේ අවස්ථාව උදාවිය.

මිචෙල් ඩී නොස්ට්‍රඩෑම් යනු ඔහුගේ සම්පූර්ණ නමය. මිචෙල්ගේ මවගේ පියාවන ජින් ජෙරමි වෛද්‍ය වෘත්තියේ නියැළුණෙකි. ඒ හැරුණු කල ඔහු ඡ්‍යොතිෂ විද්‍යාවේද ප්‍රාමාණිකයකු වූයේය. ඔහුට ගුප්ත විද්‍යාත්මක කටයුතු කෙරෙහිද දැනුමක් වූයේය. මිචෙල් හැදුණේ වැඩුණේ ඔහුගේ සෙවණ යටතේය. මිචෙල් නොහොත් නොස්ට්‍රඩාමුස්ගේ මවගේ පියා මෙන්ම, පියාගේ පියා වූ පියරේ ඩි නොස්ට්‍රඩාමුස්ද ඇත්ත වශයෙන්ම යුදෙව් ජාතිකයෝ වුහ.

පසු කාලීනව ඔවුන් රෝමානු කතෝලික ආගම වැලඳ ගන්නට හේතු වූයේ 1488 දී මඪඪඪ වන චාල්ස් රජු විසින් ඔවුන්ට එරෙහිව පනවනු ලැබූ දරදඬු නීතියකි. ඉන් නියෝග කරනු ලැබුවේ කිතු දහම වැලඳ නොගන්නා යුදෙව්වන්ගේ සියලු වස්තු රාජසන්තක කරන බවය. නමුත් දහතුන්වැනි සිය වසේදී පමණ රචනා කරන ලදැයි පැවසෙන යුදෙව්වන්ගේ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත ඇතුළත් අගනා කෘතියක් වන ක්වබලාන් ග්‍රන්ථය ඔවුන් දෙදෙනාම මැනවින් අධ්‍යයනය කර ඇති බව පෙනේ.

එහෙත් මේ යුගයේදී ගුප්ත විද්‍යාත්මක කටයුතු මෙන්ම අනාවැකි පැවසීම වැනි කාරණාද පල්ලිය විසින් තහනම් කර තිබීම නිසා නොස්ට්‍රඩාමුස් විසින් තමා එවැනි අධ්‍යයනයක් ලැබූ බව ලොවට හෙළිකර නැත. ඔහු පවසා ඇත්තේ යහපත් මනුෂ්‍යයෙක් වූ තම සීයාගෙන් මානව දයාවද, ග්‍රීක් හා ලතින් යන භාෂා දැනුමද, ගණිතයද ඉගෙන ගත් බව පමණි. ඒ ඔස්සේ ඔහු විසින් ප්‍රකාශිත විස්මිත අනාවැකි ගැන ලබන සතියේ කතා කරමු.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.