යන යකා කොස් අත්තත් බිඳගෙන ගිය හැටි

ජුනි 28, 2024

සියලු වත්පිළිවෙත් අවසන් කළ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් තම රියදුරු සමඟ මාතර දෙවුන්දර අයකු ගේ ශාන්ති කර්මයක් සිදු කිරීමට තම දායකකාරකාදීන් පරිත්‍යාග කළ ජීප් රථයෙන් පිටත්වීමට සූදානම් වූවා පමණි.

යාබද කඳුබොඩගම ගම්මානයේ සිට ආගන්තුක පිරිසක් හිටිහැටියේම කොන්ඩදෙණිය පන්සල වෙත කලබලයෙන් යුතුව පැවණීහ. එම අමුත්තන් පිරිසේ ප්‍රධානියා මෑතකදී එම ගමේ පදිංචිකරුවකු වූ මනා දේහධාරි අයකු විය. ඔහු යානවාහන අතවැසියන් සමඟ ජීවත්වන සුප්‍රකට ව්‍යාපාරික මහතකු විය.

“මොකද මේ තරුණ මුදලාලි මහත්තයා අරුමැක්කේම හදිසියෙන් වගේ.........” “අවසරයි නායක හාමුදුරුවනේ......” ඔබ වහන්සේ බැහැ දකින්නයි ආවේ.......වැදගත් උදව්වක් බලාපොරොත්තුව මෙන්ම තමයි.......ඔබ වහන්සේ බැහැරක වඩින්නේවත් සූදානම් වෙලාද සිටියේ.......”

“ඔව්......මේ මාතර දෙවුන්දර පළාත් ශාන්තිකර්මයක් කරන්න යන්නයි සූදානම් වුණේ. කාරි නැහැ. හොඳයි........ආපු කාරණාව කීවා නම්”

නායක හාමුදුරුවොත් දන්නවා ඇති අපේ ගම් පළාතේ තියෙන එකම උළුසෙවිලි කළ ගෙදර අපේ ගෙදර විතරමයි. ගෙදර උළුකැට සෙලවෙනවා ඒ සමඟ විකාර මහා ශබ්ද ඇහෙනවා.

අපිට එළිවෙනකම් නින්දකුත් නැහැ. අපේ ගෙදර ඉන්න ගෝල බාලයෝ ටික බය නැතිව වහල් උඩටත් නැගලා බැලුවා.

හැබැයි ඒ වෙලාවට කිසි ශබ්දයක් නැහැ නොවැ. ආයි......ගෙදර ඇතුලට ඇවිත් දොර වැහුව ගමන්ම ගෙදර උළුකැට නැවත හෙල්ලෙන්න පටන් ගන්නවා.

“ගේ වටාපිටාවේ තමුන්ගේ විරුද්ධකාරයා වත් ඉන්නවද?

“අනේ නැහැ........හාමුදුරුවනේ ඒ අසල්වැසි ගෙවල්වල මිනිස්සුන්ට දුකේදී සැපේදී අපි හුඟක්ම උදව් වෙනවා.

මගේ ලොකු දුවත් ළඟදී විවාහ වුණේ දැන් කුළුදුල්ව දරුවා හම්බ වෙන්න ඉන්නවා. ඒ ලැබෙන්න ඉන්න දරුවටත් මේ කරුම දෝෂ බලපායිද? කියල ගෙදර කට්ටිය බයෙන් ඉන්නෙ හාමුදුරුවනේ.

ඔබ වහන්සේට බුදු බව අත්වෙයි මොනව හරි පිළියමක් කරලා අපට පිහිට වෙන්න හාමුදුරුවනේ.” මාතර, දෙවුන්දර ගමන අතහැර දැමී සීලරතන හිමියන් තම අසල්වාසී ගමේ දායක මහත්මයකු පත්ව ඇති හදිසි අකරතැබ්බෙන් මුදවාලීමට කටයුතු සැලසීමට සූදානම් විය.

“මෙන්න මේ බඩු ලැයිස්තුව ලෑස්ති කර ගන්න. හොඳට බෙර පද ගහන්න පුළුවන් බෙරවායකුත් එක්ක හොඳ කට්ටඩි මහත්තයකු ගෙන්වා ගන්න. හැන්දැහි මම ගෙවල් පැත්තෙ වඩින්නම් කෝ.”

හිමි අණ එලෙසම පිළිපැදිණ. රටයකුමට අවශ්‍ය සියලු දේ සූදානම් කර සියලු පිළිවෙත් සපුරා තිබිණි. හිමියන් කට්ටඩියා කැඳවා ඒ ඒ අවස්ථාවල මන්ත්‍ර මතුරන අතරතුර කළ යුතු දේ ගැන උපදෙස් දුන් සේක.

රාත්‍රිය උදාවත්ම මුළු මහත් නිවසම මහා තොවිල් පලක සේයාව දිස්විනි. ප්‍රැට්‍රල් මැක්ස් ලාම්පු කිහිපයක්ද පත්තු වී තිබිණි. ගිණිපන්දම් විශාල සංඛ්‍යාවකින් රාත්‍රී අඳුර පහවී තිබිණි.

මේ තොවිල් පවිල් බැලීමට අවට ගම්වාසීන් විශාල පිරිසක් හුළු අතු දල්වාගෙන රාත්‍රියේ පැමිණ තිබිණි. යන එන්නන්ට ගෙහිමියා ද හොඳින් සංග්‍රහ කරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය.

මේ අතරතුර දරුවකු කුස දරා සිටි ගෙහිමියා ගේ දියණිය කැඳවූ අප හිමියන් කරුණු කරනා විමසා වදාළේය.

“අනේ අපේ නායක හාමුදුරුවනේ රැයක් දවාලක් අතොරක් නැතිවම කවුදෝ නොපෙනෙන රුදුරු කණ්ඩායමක් විවිධ ශබ්ද නගා මාව බය කරනවා. ඒ අතරතුර සැරින් සැරේ සිහිනැති වේගෙන යනව වගේ දැනෙනවා. අපේ නැන්දා කෙනෙක් නිතරම මගේ ළඟම ඉන්න හින්දා. ටිකක් හරි සහනයක් තියෙන්නේ. මට ලැබෙන්නට යන දරුවට මොනව හරි කරදරයක් වත් වෙයිද කියලා හරි බයෙන් ඉන්නෙ හාමුදුරුවනේ.”

“හරි හරි මම ඒ සියල්ල බලාගන්නම් කෝ.....මම ඒකට ලෑස්ති වෙලයි අද වැඩියේ.” කිසිලෙසට සියලු තොවිල් පවිල් වැඩ හිමිගේ අණ පරිදි සිදුවිය. අලුයම වෙත්ම ඒ සියල්ල නිම විය.

කලින් දී ඇති උපදෙස් පරිදි ගෙයි මැද සාලයේ කඩිමුඩියේම කිරිමුට්ටියක් ඉතිරවීමට සැලස්වීය. ඒ සමඟම කිසිදු සුළඟක් නැති තිබුනද ගේ අසල පිහිටි විශාල අමු කොස් අත්තක් හිටිහැටියේ මහත් හඬ නංවමින් කඩා වැටුණේ අනපේක්ෂිතවය.

හැඩි දැඩි තරුණ අයකුවූ ගෙහිමියා කැඳවූ සීලරතන හිමියන් කිරි ඉතිරූ මුට්ටිය ගෙන ගේ උඩින් එහා පැත්තට විසිකරන්නට අණ කළ සේක. හිමිගේ අණ වහා ක්‍රියාත්මක විය.

“දැන් ගිහිල්ලා බලනවා මොනවද කිරිහට්ටියට වෙලා තියෙන්නෙ කියලා.”

“අවසරයි, හාමුදුරුවනේ, වළන් තටු කෑලි එකතු කරගෙන එන්නද? කියන්නේ.”

“කමක් නැහැ ඉතුරු වෙච්ච දේ අරගෙන එනවාකෝ” ගෙහිමියා ඇතුළු පිරිස සිදුවී ඇත්දේ බැලීමට යුහුසුළුව ගියහ.

පුදුමයක මහත, පසුපස කොස් ගසේ වැදී බිම පතිත වී තිබුනද කිරිමුට්ටියට හානියක් සිදුවී නොතිබිණි. එහෙත් අඩක් පමණ කිරි අතුරුදහන්ව පැවතුනි. ඒ දැක තුෂ්නිම්භූත වු ඔවුහු කිරිමුට්ටිය හිමියන්ට පිළිගන්වා වැද නමස්කාර කළහ.

“මහත්තයෝ ඔන්න මගේ වැඩ අහවරයි. තමුන්ගේ දියුණුව බලන් ඉන්න අකමැති කෙනෙක් බන්ධනයක් කරල තියෙනවා. දැන් ඒවා සියල්ල අහවරයි. මහත්තයාගේ ලොකු කෙලීට හෙට අනින්දා පින්වන්ත කොලු පැටියෙක් ලැබෙයි. දරුවාගේ දකුණු කම්බුලේ මැද උපන් ලපයක් ඇති.” යයි වදාළ සේක. ඉන්පසු හිමියන් කොණ්ඩදෙණිය පාසලට වැම කළ සේක. හිමියන් වදාළ පරිදි සියල්ල සිදු විය. ගෙහිමියාගේ සියලු කරකරදර අවසන් විය.

මාස තුනක් ඉක්මවීමත් සමඟම කුළුදුල් පුතු සමඟ එම මවද, ගෙහිමියාද කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන් මුණ ගැසුනි. දුවේ පිරිමි දරුවාගේ දකුණු කම්බුලේ උපන් ලපයක්ද දිස්විණි.

පරණ ආවාස ගෙය වෙනුවට අලුතින් ආවාස ගෙයක් තනවා ගෙහිමියා හිමියන්ට පරිත්‍යාග කිරීමට අමතක නොකළේය.

කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ට මෙවැනිම සිද්ධීන් රැසක අත්දැකීම් විඳීමට සිදුවී තිබිණි. රටේ විවිධ ප්‍රදේශවල දායක කාරකාදීන්ට මෙබඳු ගැටලු විවිධ බන්ධනයක් සිදුකර තිබූ අවස්ථා රැසක්ම විය.

ඒත් අනුරුද්ධ නායක හිමියන් එම ගැටලු කරුණු කාරණා නිරාකරණය කර ගැනීමට මහා පරිමාණ තොවිල් පවිල් කිරීමට උත්සුක නොවී හෝරාවක් වැනි කාලයක් ගත කොට පුංචි ශාන්තිකර්මකින් ඇප නූලක් ජපකොට දැමීමෙන්, ජීවම් කළ පිරිත් නූල් බැඳීමෙන්, යන්ත්‍රයක් කර පැළඳවීමෙන් පහ සුවෙන් එම බන්ධනයන්ගෙන් මිදීමට අවකාශ සලස්වා දී ඇත. මේ මා දුටු එවන් අවස්ථාවකි.

පොඩි අප්පුහාමි මහතා කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියන් මුණගැසීමට උදෑසනම පැමිණියේ රත්නපුරයේ සිටය.

ඒ වන විට නායක හිමියන් උදෑසන දේවමන්දිරය තුළදී තම කිරිඅත්තාගෙන් කාලයක් තිස්සේ ප්‍රගුණ කළ යන්ත්‍ර මන්ත්‍ර ජපකිරීම් කටයුතු ඉටුකර අවසන් වූවා පමණි.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ. මට විශාල විනාශයක් සිදුවන්න පෙරනිමිති තියෙනවා. ඒ හින්දයි උදේ පාන්දර ඔබ වහන්සේ බැහැදකින්න පැමිණියේ. මගේ ගෙදර උළුකැට හැමදාම කවුදෝ බිදිනවා. හිටිහැටියේ උළුකැට වෙව්ලන්න වගේ යනවා. මහ භයංකර ශබ්දත් රෑ දිවා නැතිව හිටිගමන් ඇහෙනවා. අනේ අසරණ මට පිහිටවන්න හාමුදුරුවනේ. ගෙදර දුවා දරුවන් අට දෙනෙක්ම ඉන්නවා. ඒ අය පුදුම බයෙන් ජීවත්වන්නෙ”

“තමන්ට සතුරු අය යාබද ඉන්නවාද?”

“අනේ නැහැ හාමුදුරුවනේ. එහෙම විශේෂයෙන් සඳහන් කළ යුතු හතුරෝ මට ඇත්තේම නැහැ.”

“හොඳයි අපි දේව මන්දිරයට යමු”

අනුරුද්ධ හිමියන් පොඩිඅප්පුහාමි උපාසක මහතා ද කැටුව දේව මන්දිරයට පිවිසියහ.

“හොඳයි උපාසක මහත්තයා, මේ දේව මණ්ඩලයේ පිළිමවල නේත්‍රා බලාගෙන වැඳගෙන සිටින්න” අනුරුද්ධ නායක හිමියන් ප්‍රබල මන්ත්‍රයක් හෝරාවක් තිස්සේ ජපකොට උපාසක මහතාගේ උරහිසට ජපකළ පිරිත් නූල පැලඳ වූ සේක. එසේම ගෙදර සියලු දෙනාටම පිරිත් නූල් රැසක් දී ඒවා පසුදිනම තම දරුවන්ටත් බිරිඳගේත් අතේ බඳින ලෙස පවසා ජීවම් කළ පුංචි වැලි මුට්ටි 4ක් පොඩි අප්පුහාමිගේ සුරතට පත් කළ සේක.

ඒවා තමා පදිංචි වී සිටින නිවසේ මුළු හතරේ වළලන ලෙසට උපදෙස් දුන් සේක. හිමිගේ අණ එපරිදිම ක්‍රියාත්මක කිරීමට පොඩි අප්පුහාමි යුහුසුළු විය.

මහා තොවිලයක් නටා විශාල වියදමක් දරා කළ යුතු ශාන්ති කර්මයක් ජප කළ පිරිත් නූල් පොටවල් කිහිපයකින් සිදුකිරීමට අනුරුද්ධ හිමියෝ සමත් වූහ.

එදා මෙදා තුර නිවසේ උළුකැට සෙලවීමක් හෝ ශබ්දයක් නොඇසුණු බව පොඩි අප්පුහාමි සතුටින් පැවසුවේය. එය ඔහුගේ ළඟම ඥාතියකු කළ බන්ධනයක ප්‍රතිපලයක් බැව් හිමියන් පැවසුව ද එය කළ පුද්ගලයා පිළිබඳ හෙළි නොකර සිටීමට වගබලා ගත්තේ නෑදෑකම් බිඳ දැමීමට ඇති අකැමැත්ත නිසාය.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.