අත ගන්න කලින් අත් ගළපන්න

ජුනි 14, 2024

මිනිසාගේ පැවත්ම ගැන කතා කිරීමේදී නොසලකා බැරි මාතෘකාවක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහය යන්නට සමාජ සම්මුතිය තුළදී නොයෙකුත් අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව විවාහයක සාර්ථකත්වය සඳහා බලපාන සාධක කිහිපයක් ද හඳුනා ගැනේ.

එවැනි සාධක අතුරින් ලිංගිකත්වය හා බැඳුණු පවුල් සම්බන්ධතාවයන් විවාහයේ සාර්ථකත්වය මෙන්ම පැවත්ම සඳහා ද ප්‍රධාන ලෙස ඉවහල් වන අතර ඒ සඳහා අවශ්‍ය සියලු කරුණු ස්භාවධර්මය විසින් මිනිසා නිර්මාණය කිරීමේදි උරුම කර දී ඇත.

එසේම එකිනෙකාගේ සිතුවිලි, අරමුණු, ක්‍රියාශීලිබව, අධ්‍යාත්මික ස්වභාවය, ආදරය බලාපොරොත්තු වන ආකාරය, ආදරය ලබා දෙන ආකාරය අධ්‍යාපන මට්ටම ආදි වු කරුණුත් විවාහයේ පැවත්ම සඳහා බලපෑම් කරන බව ද අමතක කළ නොහැකිය.

අප සියල්ලන්ම විවාහ ජීවිතයට ඇතුළු වන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට අරමුණු පෙරදැරි කර ගෙනය. එහෙත් වර්තමාන සමාජයේ බොහෝ විවාහ ජීවිත සම්බන්ධව දකින්න ලැබෙන්නේ කනගාටුදායක සිදුවීම්ය. එසේ නම් සමාජ මෙහෙවරක් ලෙස විවාහ ගැළපීම් සම්බන්ධව තව දුරටත් අප සිතිය යුතුය. දැනට අප රටේ වැඩි පිරිසක් පෙරදිග සංස්කෘතියට මුල් තැන දෙමින් ඡ්‍යොතිෂමය වශයෙන් විවාහ ගැළපීම් සිදුකර විවාහ ජීවිතයට ඇතුළත් වෙයි. මෙහිදී දස පොරොන්දම්, විසි පොරොන්දම්, ආදි වූ විවිධ ක්‍රමවේදයන් තුළින් ද ක්‍රිෂ්ණමුර්ති ඡ්‍යොතිෂයේදී පාලක ග්‍රහයන් යොදා ගෙන කරන විග්‍රහයන් සහ අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ ද විවාහ ගැළපීම් සිදු කරනු ලැබෙයි.

එසේම එතරම් ප්‍රචලිත නොවුණත් හස්ත රේඛා ශාස්ත්‍රය සහ අංක විද්‍යාව යොදාගෙන කරන විවාහ ගැළපීම් මේ අතර සුවිශේෂි වූ නිවැරදිම ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය. හස්ත රේඛා ශාස්ත්‍රයේදී විවාහ ගැළපීම් සඳහා දෙපාර්ශ්වයේම අත්ල පරික්ෂා කළ යුතු අතර මෙහිදි අත්ලේ සියලු ලක්ෂණ ඒ සඳහා උපයෝගි කර ගනු ලැබේ. අත් වර්ගය යෝග්‍යතාවය රේඛාවල හැසිරීම් මණ්ඩලවල තත්ත්වයන් ආදි වු සියලු අංගයන් සහ අංක විද්‍යාමය කරුණු පරික්ෂාවකින් නිශ්චිත නිගමනවලට ඒමට හැකියාව ඇත. එහිදී විවාහයක සාර්ථකත්වයට බලපාන ලිංගිකත්වය හා බැදුණු කාරණා, එකිනෙකාට දක්වන ආදරය, මමෝභාවයන්, අධ්‍යාත්මික තත්ත්වයන් ප්‍රායෝගිකත්වය ආදීවු සියලු කරුණු අවධානයට යොමු කෙරෙනු ඇත.

විවාහ ගැළපීම්වලදී ඉතාම වැදගත් මණ්ඩලයක් ලෙස සිකුරු මණ්ඩලය හැඳින්විය හැකිය. සිකුරු මණ්ඩලයේ ස්වභාවය මත පුද්ගලයකුගේ ලෞකික අපෙක්ෂාවන් හඳුනාගත හැකි අතර ඒ අතරින් විවාහ ජීවිතය පවත්වාගෙන යෑමට ප්‍රධාන සාධකයක් වන ලිංගික අපේක්ෂාවන් සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගත හැකිය. විශාල සිකුරු මණ්ඩලයක් සහිත පුද්ගලයන් වින්දනය යන සංකල්පයෙන් එන ලිංගික සම්බන්ධතා සඳහා වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන අතර කුඩා සිකුරු මණ්ඩලයක් සහිත පුද්ගලයන් එවැනි වූ සම්බන්ධතාවයන් සඳහා වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැත. එහෙත් මෙහිදී ප්‍රබල සිකුරු මණ්ඩලයක් සහිත පුද්ගලයා සල්ලාලයෙක් ලෙස සැලකිය නොහැකි අතර ඒ සඳහා තවත් කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශනය කළ යුතුව ඇත.

තවද ජීවන රේඛාවේ ගමන් මාර්ගයේ හැසිරීම් රටාව අනුව එනම් ජීවන රේඛාව සිරස්ව ගමන් කර ඇතිද නැති ද යන කාරණාව මත පුද්ගලයාගේ අධ්‍යාත්මික ගුණ වගාවන් සැලකිල්ලට ගෙන පවුල් සම්බන්ධතාවල දායකත්වය ද තීරණය කළ හැකිය. එමෙන්ම සිකුරු මණ්ඩලයේ ස්වභාවය මත විවාහ ජීවිතයේ දී ඉතාම වැදගත් ආදරය සම්බන්ධයෙන් දක්වන රුචිකත්වය අන් අය ප්‍රීතියෙන් තැබීමට ඇති වුවමනාව එසේම හැඟීම්බර ස්වභාවය ආදී කරුණු සම්බන්ධයෙන් ද නිශ්චිත නිගමනයන්ට එළඹීමට හැකිය. එනම් යහපත් ප්‍රබල සිකුරු මණ්ඩලය ඉහත කරුණු සම්බන්ධයෙන් යහපත් ගුණාංගත් දුබල සිකුරු මණ්ඩලයක අයහපත් ගුණාංගත් පුද්ගලයා තුළින් ලබාදීම සිදුවේ. එමෙන්ම සිකුරු මණ්ඩලය මත පිහිටි සුවිශේෂි ලක්ෂණ අතර ත්‍රිකෝණය, තරුව, සමචතුරශ්‍රය ආදි ලක්ෂණ යහපත් විවාහයන් සඳහා මෙන්ම තිත, දැල, දූපත වැනි අයහපත් ලක්ෂණයන් නීරස විවාහයන් හෝ ගැටලු සහිත විවාහයන් දායාද කරන බැවින් ඒ ගැන ද අවධානය යොමු කිරීම යහපත් විවාහයක තීන්දුවට වැදගත් වන්නේය. එම නිසා විවාහ ගැළපීම්වලදී සිකුරු මණ්ඩලයේ ස්වභාවය ඉතාම වැදගත් වන අතර එකිනෙක ගැළපීම් නිශ්චිතවම සිදුකළ හැකිය.

විවාහයක සාර්ථකත්වය සඳහා බලපාන සාධක අතුරින් ආදරය කිරීම සහ ආදරය ලැබීම ද ඉතාම වැදගත් සාධකයකි. එම නිසා එම තත්ත්වයන් විවාහ ගැළපීම්වලදී නිෂ්චිතව කීම සඳහා හෘද රේඛාවේ පිහිටීම ඉතාම වැදගත් වන්නේය. හෘද රේඛාවෙන් ලිංගික සම්බන්ධතාවල මානසික පාර්ශ්වය පෙන්වන අතර හෘද රේඛාව ගුරු මණ්ඩලයේ ඉහළින්ම ආරම්භ වී ඇත්නම් එම පුද්ගලයා ආදරය සම්බන්ධයෙන් අන්ධව කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු තම කලත්‍රයාගේ වැරද්දක් නොදකින අතර කලාත්‍රයා අදහනු ඇත. නමුත් එම තත්ත්වයද විවාහයකදී එතරම් හොඳ තත්ත්වයක් නොවන බව ද අවබෝධ කර ගත හැකිය.

ගුරු මණ්ඩලයේ මතු පිටින් හෘද රේඛාව ආරම්භ වී ඇතිනම් එනිනෙකාට ගෞරවයෙන් ආදරය කරන, විශ්වාසය රකින පුද්ගලයෙක් බිහිවේ. ඔහු ලබා දෙන්නේ ඉහළ ගුණාත්මක ආදරයකි. එසේම ඔවුන් තමාගේ මට්ටමකට වඩා පහළ මට්ටමකින් විවාහ වන්නේ නැත.

එසේම ගුරු සහ ශනි ඇඟිලි අතුරින් හෘද රේඛාව ආරම්භ වී ඇත්නම් සන්සුන්ව ගැඹුරු ලෙස ආදරය කරන පුද්ගලයකු දැකිය හැකිය. නමුත් ඔවුන් කාලත්‍රයාගේ අහිමිවීමකින් වැළපෙන්නේ නැත. තවද ශනි මණ්ඩලයෙන් හෘද රේඛාව ආරම්භ වන්නේ නම් සරාගික පුද්ගලයකු වන අතර තමාගේ අශාවන් සඳහා ප්‍රමුඛස්ථානයක් දෙන්නකු වේ.

එමෙන්ම ශනි ඇඟිල්ලෙන්ම හෘද රේඛාව ආරම්භ වී ඇතිනම් ඉතාම සරාගීි පුද්ගලයකු බිහිවේ. එසේම ඔහු විවාහයකදි දැඩි අධිකාරි බලයක් ගොඩනගනු ඇත. හෘද රේඛාව ශනි මණ්ඩලයෙන් පටන් ගැනීමේදී දම්වැල් ආකාරයකින් පටන් ගන්නේ නම් ඔහු හෝ ඇය සම ලිංගික සම්බන්ධා ප්‍රියකරන්නකු වේ. එසේම මේ තත්ත්වයන් සේම හෘද රේඛාවේ ස්වභාවය වර්ණය තද බව ආදි ලක්ෂණයන් උපයෝගිතාවයෙන් විවාහයක් තුළදි ආදරය සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය සම්බන්ධව නිෂ්චිත නිගමනවලට ඒමට හැකියාව ඇත.

එසේම ප්‍රායෝගිකව පුද්ගලයන් ක්‍රියාත්මක වන ආකාරයද විවාහයකදී වැදගත් වේ. එනම් ඔවුන්ගේ ජීවිතයේ දිශානතියන්, ආර්ථිකමය තත්ත්වයන් හැසිරවීම්, තීරණවල වේගවත් බව, විරුද්ධ පාර්ශ්වයට දන්වන නම්‍යශීලීත්වය, ප්‍රශ්න තේරුම් ගැනීම, ගැටලු නිරාකරණය කර ගැනීම, නායකත්වය, පෞරුෂ ගුණාංග, සමාජ දැක්ම, බුද්ධිමත් භාවය, අධ්‍යාත්මික ගුණවගාව, ආදි වූ සියලු කරණු සාර්ථක විවාහයකදී ඉතාම වැදගත් වේ. උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රායෝගිකව වේගවත්ව වැඩකරන ස්වාමියකු සහ ඉතා සෙමින් කටයුතු කරන බිරිඳක අතර පවුල් ජීවිතයේ තත්ත්වයන් සියුම්ව අවබෝධ කර ගැනීමෙන් මේ තත්ත්වයන් විග්‍රහ කරගත හැකිය. එම නිසා මේ තත්ත්වයන් පුද්ගලයකුගේ ශීර්ෂ රේඛාව ප්‍රධානව අත් වර්ගය පරික්ෂාවෙන් නිශ්චිතවම අවබෝධ කර ගත හැකිය. තවද බුධ ඇඟිල්ලේ ස්වභාවය මත ලිංගික බෙලහීනතාවය, බුධ මණ්ඩලය මතුපිට පතිත විවාහ රේඛාවල තත්ත්වයන් මත විවාහයක සාර්ථක අසාර්ථක බව, දරු සම්පත් සම්බන්ධයෙන් ද නිගමනයන්ට ඒමට හැකියාව ඇත. එම නිසා ඉහත කරුණු මෙන්ම අනිකුත් කරුණු තහවුරු කර නිගමනවලට ඒමෙන් හස්ත රේඛා ශාස්ත්‍රය භාවිතයෙන් විවාහ ගැළපීම් සිදුකිරීමෙන් සාර්ථක විවාහයක් උරුම කර දිය හැකිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.