සිකුරු සෙනසුරුගේ භවනට ලග්න හයකට ඉසුරු සම්පත්

දෙසැම්බර් 20, 2024

සිකුරාදා - සෙනසුරාදා සුබ වැඩ අරඹන්න

විෂ්ණු-ලක්ෂ්මි-පත්තිනි දෙවිවරුන්ට පහනක් දල්වන්න

වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ ලග්නවලින් උපන් ජන්මීන්ට සුබපල දෙන ශනි සිකුරු යෝගය උදාකරමින් 28 වැනිදා ඉරිදා රාත්‍රී 11.40ට ග්‍රහ ලොව මනාලිය වන සිකුරු ග්‍රහයා කුම්භ රාශිගත වෙයි.

මෙකී ශනි, සිකුරු යෝගය ඇතැම් ලග්නවලට මිශ්‍රපල දෙන මුත් ඉහත ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සහ ත්‍රිකෝණ ස්ථානවලට හිමිකම් කියන යෝගකාරක සහ අර්ධ යෝගකාරකත්වය උසුලන ග්‍රහයන් වන හෙයින්, එම ලග්නවලින් උපන් ජන්මීන්ගේ කේන්දරවල මේ ග්‍රහ යුවළ උත්්පත්තියේ දී 1, 2, 4, 5, 9, 10, 11 යන භාවයක යෙදී ඇති විටෙක එම ග්‍රහයන්ගේ මහ දශා, අන්තර් දශා ද ලබා ඇත්නම් සහ උත්පත්තියේදී මේ යෝගය යෙදී තිබුණේ නම් ශනි, සිකුරු යෝගය ගෝචර ගමනේ දී සක්‍රීය වීමෙන් සුබපල ලැබෙන්නේය. අන්‍ය ලග්නවලට එනම් මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලින් උපන් ජන්මීන්ට මෙකී යෝගයෙන් සුබ බලයක් බලාපොරොත්තු විය හැක්කේ ඔවුන්ගේ ජන්ම ලග්නය නැතිනම් චන්ද්‍ර ලග්නය වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නයක් වී ශනි හෝ සිකුරු මහ දශා, අතුරු දශා ලබා ඇත්නම් පමණි.

ඉහත විග්‍රහ කළ අයුරින් ශනි සිකුරු යෝගයක් යෙදී ඇති ජන්මීන්ට සිකුරු ග්‍රහයා තම උච්ච රැස වන මීනයට ලබන වසරේ ජනවාරි මස 28 වැනි අඟහරුවාදා උදේ 07.01 ට සංක්‍රමණය වන තෙක් කාලසීමාව තුළ සෙනසුරාදා, සිකුරාදා දිනවල එම හෝරාවල සුබ වැඩකටයුතුවල යෙදීමෙන් තමා සිතුවාටත් වඩා හොඳින් එම කටයුතු සාර්ථක වන්නේය.

ඒ අනුව ශනි අතුරු දශාවක් ලබා ඇත්නම් නිල් පැහැති වස්ත්‍රයකින් සැරසී විෂ්ණු දෙවියන්ට පහනක් තබා සෙනසුරු හෝරාවේ මුල් මිනිත්තු 4 තුළ පවතින සෙනසුරුගේ සූක්ෂම කාල හෝරාවෙන් බටහිර බලා සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න. සිකුරු ග්‍රහයාට අයත් අතුරු දශාවක් ලබා ඇත්නම් විචිත්‍ර වර්ණයකින් හෝ සුදු වර්ණයකින් යුත් වස්ත්‍රයකින් සැරසී පත්තිනි - ලක්ෂ්මී වැනි දේව මාතාවකට පහනක් දල්වා සිකුරුගේ කාල හෝරාවේ මුල් විනාඩි 4 තුළ පවතින සිකුරුගේ සූක්ෂම කාල හෝරාවෙන් උතුර බලා සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න. මෙහිදී සුබ වැඩ කටයුතු ආරම්භ කරන දිනයේ උදාව පවතින නැකත තම ජන්ම නැකතට සීහෙන නැකතක් විය යුතු අතර හෝරාව ලිතක් බලා ඉර උදාව සමඟ ගැන ගත යුතුය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.