ශාක්‍ය වංශික නේපාල හිමිනමට වෙසක් දා සිදු කළ සෙත් ශාන්තිය

මැයි 24, 2024

 

“මාගේ ඥාතීන් වෙසෙන කිඹුල්වතින් හමා එන සුළඟ පවා මට මහත් සුවයක් ගෙනෙයි” බුදුන් වහන්සේ (මහා පරිනිර්වාණ සූත්‍රය)

වෙසක් පුන් පොහොය එළැඹෙන දිනයේ කොණ්ඩදෙණිය පන්සලේ කොතෙකුත් රාජකාරි කටයුතු රැසක නිරත විය යුතු වුවද ඒ අසල බමුණූුගමෙහි අසාධ්‍ය රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තමන්ට පරිත්‍යාග වශයෙන් දායකයකු ලබා දුන් ජීප් රථයෙන් තම රියැදුරු සමඟ හිමිදිරි පාන්දර එළැඹි බ්‍රහ්ම මුහුර්තයෙන් පිටත් වූවා පමණි.

පෙර දින රාත්‍රියේ සිටම කොණ්ඩදෙණිය ගමේ තරුණ කොල්ලන් සමූහයක් ද දායක සභාවේ තවත් පිරිසක් ද එක්ව වෙසක් පොහොය නිමිති කර කොණ්ඩදෙණිය පන්සල් භූමිය ගොක් කොළ පහන් කූඩු සාදමින්, බෞද්ධ කොඩිවැල්වලින් සරසමින් කුරුම්බා කෝම්බවල පහන් දල්වා එක දිගට සිටුවා එහි ආලෝකයෙන් සැරසිලි කටයුතු යුහුසුළුව කරමින් සිටියේ මහත් උනන්දුවකිනි.

ඒ හිමිදිරියේම එක් විටම කිරිසුදු නවීන බෙන්ස් කාරයකින් විදේශීය ආගන්තුක හිමිනමක් කොණ්ඩදෙණිය පන්සලට වැඩම කළහ.

එකෙණෙහිම ඩිංගිරි බණ්ඩා ඒ දෙසට දිවවිත් විදේශීය හිමිනමගේ රියැදුරා මුණගැසුණි.

“අපේ නායක හාමුදුරුවෝ හදිසි ලෙඩෙකුට පිහිට වෙන්න මේ ළඟපාත ගමකට වැඩම කළා නොවැ,

ආයි එන්න, හෝරා කිහිපයක් වත් යයි මක්කැයි, දැන් කරන්නේ”

“කාරි නැහැ. උන්වහන්සේ හමුවෙන්න නේපාලයේ ඉඳලයි මේ විදේශීය හාමුදුරුවො පැමිණිලා තියෙන්නෙ. ඉතින් මෙහෙ ඉඳල හමුවෙලාම යයි නොවැ.” ආගන්තුක හිමියන්ගේ අතවැසි රියැදුරු පැවසීය.

කිසිවක් නොපවසා ගොක්කොළ විසිතුරු පහන් කූඩු සාදමින් සිටින පිරිස අසලට පියනැඟූ ආගන්තුක හිමියන් ගොක්කොළ කලාවේ තමන් වහන්සේද නිපුණ අයකු බව ක්‍රියාවෙන්ම ඔවුන්ට ඔප්පු කළහ. ඒ පිරිසට උදව් කරමින් එම ගොක්කොළ පහන් අලංකාර ලෙස සකසමින් තරුණයන් සමඟ එකතු වී සැරසිලි සහ කැටයම් කැපීම් කටයුතුවලටද උදවු වූහ.

ආගන්තුක හිමියන් මහව හන්දියේ බේකරියට තම රියැදුරා යවා උණු උණු බනිස් සහ පාන්ද කේක් තැටි කිහිපයක්ද ගෙන්වා තම අලුත් මිතුරන් සැමට බෙදා දීමට ඩිංගිරි බණ්ඩාර භාරදුනි.

හෝරා කිහිපයකට පසුව තමන්වහන්සේ ගිය රාජකාරිය නිමකොට කොණ්ඩදෙණියේ නායක හිමියන් තම ජීප් රථ රියැදුරු සමඟ නැවත කොණ්ඩදෙණිය පන්සලට වැඩම කළහ. කිසිකලෙක නොදුටු ප්‍රතාපවත් හිමි කමක් හා අතවැසියෙක් පන්සලේ ගෙමිදුල අපූරුවට සරසමින් සිටින ආකාරය අප හිමියෝ දුර සිටම දුටහ.

මනා දේහධාරි රන්වන් පැහැයෙන් යුක්ත මේ ආගන්තුක හිමියන්ගේ නීල වර්ණ දෙඇස් ඕනෑම අයකු වශීකෘතභාවයට පත්කරවන්නට සමත් වෙයි. මේ ආගන්තුක හිමියන් තම ගමෙහි කොලු ගැටවුන් සමඟ මිත්‍රව, කුළුපගව වෙසක් සැරසිලි කිරීමට උදව් උපකාර කරමින් ගොක්කොළ පහන් රැසක්ද අති අලංකාර කැටයම් සහිතව නිම කර ඒවා එල්ලමින් සිටි දසුන අප හිමියන්ට විස්මිත දනවන්නක් විය.

කොණ්ඩදෙණිය නායක හිමියන්ගේ සැපැමිණීම දුටු ආගන්තුක හිමියන් සැරසිලි කටයුතු මඳකට නතර කොට පැමිණ වහා බැහැදැක අප හිමියන්ට නමස්කාර කළේද අපූර්ව ලෙසිනි. ඒ හිමියනුත් සිංහල බස කතා කිරීමට සමත්වීම ගැන අප හිමියන්ට විමතියක් දැනෙන්නට විය.

“නායක හාමුදුරුවනේ, අපි දැන් මෙහාට ඇවිදින් හෝරා කිහිපයක් වෙනවා. ඔබ වහන්සේ මුණගැසී කතාබස් කර සෙත් ශාන්තියක් කරගන්නටමයි පැමිණියේ”

“ඩිංගිරි බණ්ඩෝ, ඉක්මනින් ගිලන්පස ලෑස්ති කරල උන්වහන්සේට පිළිගන්වන්න. දවල් දානයත් සූදානම් කරන්න. හිමි අණ වහා පිළිපැදිණි. ගිලන්පස වැලඳීමෙන් පසු කොණ්ඩදෙණිය හිමියෝ විහාර මන්දිරය අබියසදී ආගන්තුක හිමිනම නැවත මුණගැසුණහ.

‘අපේ නායක හාමුදුරුවනේ, මගේ උපන් ගම නේපාලයේ ඒ කියන්නේ එදා කිඹුල්වත්පුරය තිබූ ගමේමයි. අපේ බුදුහාමුදුරුවෝ උපන් ගමේ මම, ශාක්‍ය වංශයේ ලම්බකර්ණ ගෝත්‍රයේ.

මම ඔබ වහන්සේ මෙම රටට කරනා අගනා සේවය ගැන අහල තියෙනවා. ගැටලු කිහිපයක් විසඳාගන්නයි සෙත් ශාන්තියක් කරගන්නයි පැමිණියේ. අද රෑම ගුවන්යානයෙන් නේපාලය බලා පිටත් වෙන්නයි බලාපොරොත්තුව ඉන්නේ.

වෙසක් පොහොය දවසෙ ඔබ වහන්සේගේ වටිනා කාලය මිඩංගු කිරීමට සිදුවීම ගැන නම් මම කනගාටු වෙනවා. මේ දින කිහිපය මට තීරණාත්මකයි. ඒකයි හදිසියේ ලංකාවට පැමිණ ඔබ වහන්සේ මුණගැහෙන්න සිතුවේ.”

“කාරි නැහැ. වෙසක් පොහොය වුණත් පිහිට වෙන අයට පිහිටවීම මගේ යුතුකමනේ.”

බුද්ධ මන්දිරයට පිවිසි ආගන්තුක නේපාලයේ හිමිනම හෝරා භාගයක් පමණ විවිධ මධුර හඬින් යුතු ගාථා කියමින් වන්දනාමාන කරන්නට විය.

මෙවන් අත්දැකීමක් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් ද කලින් අත්විඳ නැත. මේ ආගන්තුක හිමියන්ගේ ක්‍රියාකලාපය සහ දේහ ලක්ෂණ අපූර්වත්වයක් ගෙන දුනි. වෙසක් පුන්ූ පොහෝ දින මේ කටයුතු සිදුවීම තවත් අපූරු සංසිද්ධියක්ම විය.

අපේ බුදුහාමුදුරුවෝ උපන් ගමේ, ඒ උත්තමයාගේම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ රන්වන් පාට පිරිපුන් ඇඟපත කාරුණික නිල්වන් දෙනෙත් යුගල ඒ නෑදෑකම ඇත්ත වෙන්න ඇති හිමියෝ සිතන්නට වූහ.

ඉන්පසු විදේශ ආගන්තුක හිමිනමත් සමඟ දේව මන්දිරයට පිවිසි නායක හිමියන් දේව ප්‍රතිමාවලට මල්මාලා පලන්දවා, පහන් දල්වා, සුවඳ දුම් අල්වා පතුරුවා කපුරු සහ හඳුන්කූරු දල්වමින් කටයුතු කරත්ම එක් විටම මුළු දේව මන්දිරයම ඒකාලෝක වන්නට විය. බලගතු මන්ත්‍ර කිහිපයක් ජීවම් කළ හිමියන් හෝරා කිහිපයක් සෙත් ශාන්තියක් පවත්වන්නට විය.

නේපාල හිමියන් රැගෙන ආ රන් සුරයකට සිංහ තෙල් දමා පිරිත් නූල් කෑල්ලක්ද එහි බහා ආගන්තුක හිමිනමට පිරිනමන ලදි. ඒ හිමියන් පැතූ ප්‍රාර්ථනාව දින කිහිපයකින් ඉෂ්ට සිද්ධ වන බව අප හිමියන්ට සක්සුදක් සේ තහවුරු වූයේ මුළු දේව මණ්ඩලයම මොහොතක් සලිත වීමත් සමඟය. ඒ හිමියන්ට නායක පිරිත් දේශනා කොට උන්වහන්සේගේ නළලේද සිංහ තෙල් බිඳුවක් ගෙන පිරිමැද සෙත් ශාන්තිය අවසන් කළහ.

පිරිත් දෙසුම අවසන් වත්ම පන්සලේ ගේට්ටුව සොලවමින් මහා ශබ්දයක් ඇසෙන්නට විය. ඒ පිටතින් ඇසෙන ශබ්දය පිළිබඳව විමසිලිමත්ව දොරටුව දෙසට හිමියන් දෙපළ ගොස් බැලූ සේක.

අඩි හතරක් පමණ උස ඇති අලි පැටියෙක් පන්සල තුළට ඒමට පාරම්බාමින් සිටිනු දක්නට ලදුව, හිමි අණ පරිදි ඩිංගිරි බණ්ඩා වහා දිව ගොස් ගේට්ටුව ඇරියා පමණි.

හුරතල් දරුවකු මෙන් අලි පැටවා හිමි දෙපළට දෙදණ බිම තබා හොඬවැල උස්සා නමස්කාර කොට මහත් හඬින් කුංචනාද කොට ගල් දෙබොක්කාවක් දෙසට දිව ගියේය.

නේපාල හිමියන්ද මේ අපූර්ව සිද්ධිය දැක ගැනීමෙන් කුතුහලයටත්, විමතියටත් පත්විය. දහවල් දානය පිළිගැන්වීමෙන් පසුව ආගන්තුක හිමියන්ට සමුදුනි. ඒ හිමියන් එදින රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපළින් නේපාලය බලා පිටත් වූහ.

වෙසක් සතිය අවසන් දින එළඹෙත්ම නේපාල හිමියන් නැවත ශ්‍රී ලංකාවට සැපැත්ව, යළිත් කොණ්ඩදෙණියට පැමිණියේ තමන් වහන්සේගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවීම ගැන සොම්නස් සිතිනි.

ඒ තමන් වහන්සේට කළ උපකාරයට කෘතවේදීව සඳුන් ලීයෙන් සම්පූර්ණයෙන් නිමවුණු සිදුහත් කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම යාම ඉතා මනරම් ලෙස කැටයම් කළ විශාල පෙට්ටගමක්ද රැගෙනය. එය චීනයේ නිර්මාණය වූවකි. පෙට්ටගමේ පියන විවර කර මොහොතක් ගතවෙත්ම මුළු දේව මන්දිරයම හඳුන් සුවඳින් පිරී ඉතිරී ගියේය.

මේ වන විට කඩම්බාවේ අනුරුද්ධ හිමියන් තම කිරිඅප්පා වූ සීලරතන හිමියන් තමන්වහන්සේ වෙත දායාද කළ මේ අපූරු හඳුන් පෙට්ටගම අදත් කොණ්ඩදෙණිය පන්සලේ තම කාර්යාල කාමරයේ සුරක්ෂිතව තබා ආරක්ෂා කර ඇත. අද ද එය විවෘත කළ විට සඳුන් සුවඳ වහනය වෙයි. එය දැකීමට හා විඳීමට පිනක් මට ද තිබුණි. වෙසක් සතිය අනුරුද්ධ නායක හිමියන් ප්‍රමුඛත්වය දී ඇත්තේ ප්‍රතිපත්ති පූජාවටය. දාන, ශීල, භාවනා වැඩසටහන් රැසක් වෙසක් සතිය තුළ උන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරෙයි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.