ඉගෙනීමට දක්ෂ උත්‍රපල් නැකැත් හිමියෝ

මැයි 17, 2024

 

උත්‍රපල් නැකැතින් ජන්ම ලාභය හිමි අයෙක් නම් කුඩා කල සිටම ඉගනීම් කටයුතුවලට දක්ෂ කෙනෙක් වේ. විවිධ විෂයයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් හිමිය. තරග විභාගවලදී උසස් ලෙස ජයග්‍රහණය කරයි. තරුණ වියට පා තබත්ම උසස් අධ්‍යාපනයක් කරා යොමු වේ. ඉසිවරුන් ලොවට හඳුන්වාදී ඇති ඡ්‍යොතිෂය සහ වාස්තු විද්‍යාවන් ගුප්ත ශාස්ත්‍රයටත් ඇල්මක් දක්වනසුලු ය.

නීතිය පැත්තටද යොමු වේ. සිය එදිනෙදා වැඩ කටයුතුවල නිරත වීමේ දී කිසියම් සැලසුමකට අනුව කෙරෙනු ඇත. දක්ෂතම නිර්මාණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වන්නේ ය. කළමනාකරණයට දක්ෂ නිසා තම ජීවිතයද මැනවින් සැලසුම් සහගත අන්දමට ගත කිරීමට යත්න දරනු ඇත. දියුණුවීමේ අධික ආශාව සිත තුළ ඇත. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම වැඩ කටයුත්තක් බාර ගන්නේ ය.

ජීවිතයේ බොහෝ ජයග්‍රහණයන් හිමි කර ගනී. සමාජයේ කැපී පෙනේ. සමාජයෙන්ද ප්‍රශංසා ලැබේ. තරමක ආඩම්බරකාරයෙක් ද වේ. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ආර්ථිකමය ලාභය සලසා ගනී. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද උසස් තනතුරු හිමි වේ. මහජන සේවයට දක්ෂයි. ජනපි‍්‍රය චරිතයකි. වෛද්‍ය අංශයටද හිතකරයි.

දේශීය පාරම්පරික හෙළ වෙදකම් කිරීමට උත්‍රපල් නැකත් හිමියන් උපතින්ම දක්ෂයි. රසවත් වූ ආහාරපාන වර්ගවලට පි‍්‍රය නිසාම සමහර විට සූප ශාස්ත්‍රයට දක්ෂතා ඇත. තරමක රාගාධික චරිතයකි. ඕනෑම කෙනෙකු තමා වෙත ආකර්ෂණය කර ගැනීමට ඉතාම සමත් වේ. සියල්ලන්ගේම සිත් දිනා ගැනීමට හැකි වන්නේ ය. මකර ලග්නයේ උත්‍රපල් නැකතින් උපත ලද්දේ නම්, තරුණ වියට පාතබත්ම ප්‍රේමය, ආලය, ආදරය, සෙනෙහස, ළෙන්ගතුකම වැඩි නිසා විශාල ලෙස සම්බන්ධතා ගොඩනැඟේ. උත්‍රපල් නැකත් හිමියා හරිම ප්‍රසන්නයි. මනුෂ්‍ය ගණ නිසා සෑම කෙනෙක් සමගම මනාව භක්තියෙන් වැඩ කිරීමට සමත්වන අතර ගව සත්ත්ව ගණයට අයත් වේ. දේවත්වයෙන් සලකන ගවයා මනුෂ්‍යයින්ට විශාල ලෙස පෝෂ්‍ය පදාර්ථ සපයා දෙන්නෙකි. සූර්යයාගේ බල ශක්තිය මුළු ජීවිතය පුරාම පැතිර පවතී. රවි මහ දශාවේදී ජීවිතයේ විශේෂිත සිදුවීම්වලට මුහුණ දෙනු ඇත.

සමාජයේ උස් පහත් භේදයකින් තොරව අන්‍යයන් සමඟ ඇසුරු කරයි. ප්‍රේමයට මෙන්ම සැඟවුණ ආදරය වරින් වර ඉස්මතුවීම නිසා පෙම් සබඳතාවලට බැඳේ. ඇසුරු කිරීමේදී රහස් සඟවා ගැනීමට සමත්ය. ප්‍රේමය ගැන අමුතුවෙන් කිවයුතු නැත. කීපදෙනෙකුටම එකවර පෙම් කරයි. සෑම කෙනෙකු සමඟම රහසේ ඇසුරු කිරීමට අති දක්ෂයි.

කුඩා කාලයේ සමහර විට විවිධ කායික සහ මානසික පීඩාවන්ට ගොදුරු වූවත් මැදිවිය වන විට ආර්ථිකමය දියුණුවක් සලසා ගන්නේය. විදේශගත සබඳතාවලට යොමු වේ. විදේශගතව රැකියා කිරීමට අවස්ථාව නොසිතූ අන්දමට ලැබේ. උපතින්ම වාසනාවන්ත චරිතයකි. දෙමාපියන් සතු දේපළ ඉඩකඩම් ආදියේ භාරකාරත්වයද හිමිකම් කියැවේ. එහෙත් කල්ගතවත්ම ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවන බැව් පැහැදිලිය. ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව සියල්ලම උඩුයටිකුරු වන තැනටද පත්වේ. ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමට ශක්තිය ඇති නිසා පරාජය සිදුවූවත් එය සතුටින් බාරගෙන එය එසේ වීමට මූල හේතුව සොයා ක්‍රියා කරනු ඇත. උත්‍රපල් නැකත් හිමියා උපතින්ම අතිදක්ෂ කළමනාකරුවෙකි. කිසි විටෙක අත්තනෝමතිකව ක්‍රියා නොකරයි. තුන්කල් බලා වැඩ කරන්නෙකි. මුදල් සෙවීමටත් එය වියදම් කිරීමටත් අති දක්ෂයි. තමාගේ බැංකු තැන්පතුව ඉහළම තලයට ගෙනයෑමට උපක්‍රමශීලී වේ. අතමිට මිල මුදල් නැති කෙනෙකු සේ අන්‍යයන්ට පෙන්වයි. ණය ගැනීමත් ණය දීමත් සිදු නොකරයි. එයින් වන පාඩුව දනී.

කාන්තාව උත්‍රපල් නැකත් හිමිකාරියක් නම් ඉතාම ප්‍රසන්න රූමත් හැඩකාර අන්‍යයන් වශී කරන කටහඬකින් සහ බැල්මකින් යුක්ත වන්නීය. ඇයට ඕනෑම කෙනෙකු තමා වසඟයට ගැනීම සඳහා උපක්‍රම ඇත. කිසියම් මානසික සබඳතාවයක් ගොඩනැඟුණහොත් උත්‍රපල් හිමි කතගෙන් ඈත්වීම ඉතාම අපහසු වේ. ඇය නැතිවම බැරි තැනට පත්වේ.

සමහර විට ඉනාවක් විය හැකිය. රහස් සබඳතා සහ හමුවීම්වලට අතිදක්ෂයි. කාමය අධික නිසා සමහර විට යුගදිවියේ ගැටලු ඇති කර ගනී. මකර ලග්න හිමිකාරියෙක් නම් විශේෂයි. පිරිමින් තමා වසඟයට හසු කරගන්නේ මුදල් පමණක් ලබා ගැනීමටයි. අධිකම ආත්මාර්ථකාමියෙක්ද වේ. අතිදක්ෂ සූපවේදිනියකි. ශරීර සෞඛ්‍යයද ඉහළම තැනක තිබේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ උසස් රැකියාවක් කිරීමේ වාසනාව ඇත්තේ ය. විදේශ සබඳතා ඇතිකර ගනී. යුගදිවියේ යම් යම් ගැටලුවටද මුහුණපෑමට සිදුවේ. එසේ වන්නේ තදම ආත්මාර්ථකාමිත්වය නිසාමය. පවුල් දිවියේ සමහර විට රහස් පැතිකඩක් ද අනුගමනය කරන බැව් පෙනේ.

උත්‍රපල් නැකතේ පළමු පාදයෙන් උපන්නේ නම් යහපත් යුග දිවියක් ගත කරයි. වාසනාවන්ත පිරිමි දරුවන් ලබයි.

දෙවැනි පාදයේ නම් විවාහය තරමක් ප්‍රමාදවිය හැකිය. එහෙත් උගත් ධනවත් කෙනෙකු සමඟ යුග දිවිය ගෙවයි.

තුන්වැනි පාදයේ නම් විවාහය පෙම්සබඳතාවයකින් සිදු වේ. සමහර විට ගැටුම්ද පැන නගී.

හතරවැනි පාදයේ නම් ඉතාම සාර්ථක යුග දිවියක් ගෙවයි. ධනය අත්පත් වේ.

උත්‍රපල් නැකතට හිමිව මල්වර වූයේ නම් ඉතාම වාසනාවන්තයි. පංචමහා සම්පත්තියම හිමිවේ. විවාහය අතිසාර්ථක වේ. පවුලේ විශාලතම දියුණුව ඇතිවේ.

ළිං කැපීමට සුදුසු නැකතකි උත්‍රපල් නැකත

උත්‍රපල් නැකත - රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, අස්විද, මා, මුල, පුවපල්, පුවසල යන නැකත් ඉතාම සුබයි. ගැළපීම් ඇත. මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී අසුබයි. උත්‍රපල් නැකත් හිමියන් සිය ජීවිතයේ සැඳෑ කාලයේ ඉතාම සතුටින් ජීවත්වීමට තරුණ වියේ සැලසුම් කරනු ඇත. එයට මුල් වන්නේ ආර්ථිකය මූල්‍ය පැතිකඩයි. සෑහෙන ධනවතෙක් සේ අවසන් කාලයේ දිවිය ගත කරන උත්සාහවන්ත වාසනාවන්තයෙක් වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.