වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අවුරුද්දට සෙත් පතන පාණදුරේ මඩු ශාන්තිකර්ම
පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.
ගජබා රජුගේ පියා වූ වංකනාසික රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේ ඉන්දියාවේ කාවේරි නදිය හරහා බඳින ලද වේල්ලක වැඩ සඳහා දොළොස් දහසක් වූ සිංහල ජනයා ලංකාවෙන් වහලුන් ලෙස ගෙන යන ලදී. තම පියාගේ ඇවෑමෙන් පසු රජ වූ ගජබා රජතුමා සොළී දේශය හෙවත් කේරළය ආක්‍රමණය කර එම දොළොස් දහසක් වූ සිංහලුන් බේරාගෙන එයට සරිලන වහලුන් ලෙස දෙමළුන් දොළොස් දහසක් කේරළයෙන් රැගෙන ආ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ.
එසේ රැගෙන එන අවස්ථාවේ අතර මඟදී හමු වූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද ලංකාවට රැගෙන විත් එය ස්ථාපිත කොට පත්තිනි දේවාලයක් ඉදි කර ඇත. ඉන්පසු ලංකාව පුරාම පත්තිනි දේවාල බිහි වූ අතර මඩු මංගල්‍යය හා ශාන්තිකර්ම ලංකාව පුරා ප්‍රචලිත විය. පත්තිනි මෑණියන් අපවත්වීමට පෙර මතු බුදු බව ප්‍රාර්ථනා කළ බැවින් පත්තිනි දෙවියන් බෞද්ධ ජනයා සමඟ සහසම්බන්ධ වී තිබේ.
ගජබා රජු චෝල රජු පරාජය කර සොළී රට ජය ගැනීම සිහිවීම පිණිස සහ පත්තිනි දෙවියන්ට ගරු කිරීමක් වශයෙන් ඇසළ පෙරහැර ලංකාවේ ආරම්භ වූ බව ජනවහරේ කියැවේ. රජ කෙනෙකු මූලිකත්වය ගෙන මේ පත්තිනි ඇදහීම ලංකාවේ ආරම්භ වූ නිසා ගජබා රජුගෙන් පසු ලංකාව පාලනය කළ සෑම රජ කෙනකුම මේ ඇසළ පෙරහැර වාර්ෂිකව පවත්වන්නට යුහුසුළු විය. එමෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙන් පසු ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ ආණ්ඩුකාරවරු, අගමැතිවරු, ජනාධිපතිවරු මේ ඇසළ පෙරහැර වාර්ෂිකව අද දක්වා පවත්වති.
දෙවියන්, යකුන් සහ ග්‍රහබල වැනි අදෘශ්‍යමාන බලවේගවලින් වන උවදුරු වළක්වා ගැනීම සඳහා අතීතයේ සිට විවිධ ශාන්තිකර්ම පැවැත් වූ බව උඩරට, පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුනේම පැවසේ. ඒ අතරින් දෙවියන් වෙනුවෙන් පූජෝපහාර පවත්වනු ලබන්නේ මඩු ශාන්තිකර්මයෙනි. ශාන්තිකර්ම නර්තන සම්ප්‍රදායන් තුනටම පොදු වුව ද පහතරට ප්‍රදේශවල පවත්වන ශාන්තිකර්මවලට පමණක් සුවිශේෂ වූ මඩු ශාන්තිකර්ම දැක ගත හැකිය.
කි‍්‍රස්තු වර්ෂ 1521 සිදු වූ විජයබා කොල්ලයෙන් පසු රයිගම් කෝරළය කොටස් කීපයකට කැඩී වෙන් විය. ඒ නිසා පැරණි රයිගම් කෝරළයට අයත්ව තිබූ පානදුරයෙන් තොටමුණ ලෙස වෙනම කෝරළයක් බිහි විය.
මඩු ශාන්තිකර්මවලදි නැටුම් ඉදිරිපත් කරන ශෛලින්, බෙර පද වාදනය කරන ආකාරය සහ ඇඳුම් පැලඳුම් මෙන්ම පහතරට නර්ථන සම්ප්‍රදායන් අනුව බෙන්තර, මාතර සහ රයිගම යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට වර්ග කර තිබේ. එම බෙන්තර, මාතර හා රයිගම ශාන්තිකර්ම අතර නර්ථන මෙන්ම සැරසිලිවලද පැහැදිලි වෙනස්කම් තිබේ. මේ සම්ප්‍රදායන් ති‍්‍රත්වය තුළ ද ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ඇති වූ ප්‍රාදේශීය වෙනස්කම් නිසා පානදුර මඩු ශාන්තිකර්ම සම්ප්‍රදායක් වෙනමම ගොඩනැගී තිබේ. කුමන වෙනස්කම් තිබුණත් මේ සෑම ශාන්තිකර්මයකම පත්තිනි දෙවියන් මූලිකව පුද ලබන බව දැක ගත හැකිය.
පානදුර මඩු සම්ප්‍රදායේ මඩු ශාන්තිකර්ම පහත සඳහන් ආකාරයට බෙදා වෙන් කර ඇත.
(1) දෙවොල් මඩු ශාන්තිකර්මය.
(2) ගම් මඩු ශාන්තිකර්මය.
(3) මල්යහන් මඩු ශාන්තිකර්මය
(4) වාහල මඩු ශාන්තිකර්මය.
(5) තුන්දා ගී මඩු ශාන්තිකර්මය.
(6) සත් දා ගී මඩු ශාන්තිකර්මය.
(7) ගිනි මඩු ශාන්තිකර්මය.
(8) පිදුම් මඩු ශාන්තිකර්මය.
(9) හැල්ලුම් මඩු ශාන්තිකර්මය.
(10) පූනා මඩු ශාන්තිකර්මය.
(11) ගරා මඩු ශාන්තිකර්මය.
උතුරු කළුතර සිට පරණ ගාලු පාරේ මොරටුව පාලම දක්වා මුහුදුබඩ සීමාවත්, පානදුර, වාද්දුව, මැලෑගම, මිරිස්වත්ත, මහබෙල්ලන සහ කෙසෙල්වත්ත ආදි ගම්මාන පානදුර සම්ප්‍රදායේ මඩු ශාන්තිකර්ම පවත්වන ප්‍රදේශ ලෙස නම් කළ හැකිය.
පානදුර තොටමුණ ප්‍රදේශයේ පහත සඳහන් පත්තිනි දේවාල ආශි‍්‍රතව මඩු ශාන්තිකර්ම පවත්වත්වන අතර මේ සෑම පත්තිනි දේවාලයකම පාරම්පරික කපු පරම්පරාවකින් උරුම වූ ප්‍රධාන කපු මහත්මයෙකු විසින් පාලනය කරනු ලැබේ.
(1) පානදුර, ගඟුල, පුරාණ ශී‍්‍ර සුදර්ශන පත්තිනි දේවාලය.
(2) වාද්දුව, වේරගම, පත්තිනි දේවාලය.
(3) පානදුර, පින්වත්ත, මීගහකෝවිල පත්තිනි දේවාලය.
(4) පානදුර, වෑකඩ, කෝවිලගොඩැල්ල පත්තිනි දේවාලය.
(5) පානදුර, කෙසෙල්වත්ත, දියපිට පත්තිනි දේවාලය.
(6) පානදුර, ගොරකපොල පත්තිනි දේවාලය.
(7) පානදුර, ගොරකාන, නාගහවරාය පත්තිනි දේවාලය.
(8) පානදුර, ගොරකාන, අංපිටිය පත්තිනි දේවාලය.
(9) පානදුර, අළුබෝමුල්ල, මිරිස්වත්ත, මූලස්ථම්භ පත්තිනි දේවාලය.
සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම මඩු ශාන්තිකර්ම පැවැත්වීම මේ දේවාල නමයේ විශේෂත්වයයි.
පානදුර, ගඟුල, පුරාණ ශී‍්‍ර සුදර්ශන පත්තිනි දේවාලය වසර 600 කට වඩා පැරණිය. එමෙන්ම මේ දේවාල භාරව සිටින කපු පරම්පරාවල ඉතිහාසය වසර 600 කට වඩා ඈත අතීතයකට නෑකම් කියයි.
එහෙත් රාවණ යුගයේ පුලස්ති ඍෂිවරයාගේ ගෝලයන් 9 දෙනාගෙන් එක් ඍෂිවරයෙක් වන කුරුප්පු නම් ඍෂිවරයා පානදුර ප්‍රදේශයේ උස කඳු මුදුනක දේවාලයක් ආරම්භ කර ජීවත් වූ බව මහාචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසා ඇත. එම ඍෂිවරයා ජීවත් වූ ප්‍රදේශය කුරුප්පුමුල්ල වූ බව පානදුර ජනවහරයේ පවති. වසර 7000 කට වඩා පැරණි එම දේවාලය පානදුර ග්‍රාමයේ උසම ස්ථානය වන පානදුර කැස්බෑව (හිරණ) පාරේ උඩහමුල්ල සහ තන්තිරිමුල්ල අතර ඇති ගඟුල පුරාණ ශී‍්‍ර සුදර්ශන පත්තිනි දේවාල පිහිටි භූමියේ තිබූ බවට පුරාවිද්‍යාඥයින් සැක කරයි. පානදුර හිටපු ප්‍රාදේශීය ලේකම් කේ. තිලකරත්න මහතා ද මේ පිළිබඳව පරීක්ෂණ නිබන්දයක් ද ලියා ඇත.
එම පුරාණ ගඟුල පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන්නේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්ථනාචාර්ය සහ කථිකාචාර්ය මයුර ප්‍රසන්න ඩයස් මහතාය. ඒ රංජිත් ඩයස් (දියේස්) මහතාගෙන් පසුවය.
රංජිත් ඩයස් කපු මහතා ලංකාවේ නමගිය සුප්‍රසිද්ධ කපු මහත්මයෙකි. ඔහුගේ ශාන්තිකර්ම නිසා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය යටිකුරු උඩුකුරු වී ගියේය. 1992 වර්ෂයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අපල දුරු කිරීම සඳහා කතරගම වැඩිහිටිකන්දේ කතරගම දේවාලය අසල පවත්වන ලද ආන්දෝලාත්මක පුනා මඩු ශාන්ති කර්ම දෙක පවත්වන ලද්දේ රංජිත් ඩයස් කපු මහතාය. එය දිවි පූනාවක් යොදාගෙන කරන ලද ශාන්ති කර්මයයි.
එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය, ජවිපෙ සහ නාඳුනන තුවක්කු කරුවන්ගේ භීෂණය හමුවේ රට කරගෙන යාමට අවශ්‍ය වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අපල උපද්‍රවවලින් මිදීම සඳහා රටටත් ඔහුටත් සෙත් පතා මේ පූනා මඩු ශාන්ති කර්මය සිදු කිරීමට යොමු වූ බව කියැවේ. පූනා මඩු ශාන්ති කර්මය මීට පෙර කර ඇත්තේ ලංකාවේ රජ කළ පඬුවස් දෙව් රජතුමා විසිනි. විජය රජතුමා විසින් කුවේණියට කරන ලද දිවුරුම කඩ කිරීම නිසා කෝප වූ කුවේණිය විසින් විජය රජතුමාට, ලංකාවේ රජ පෙළපතට සහ ලංකා භූමියට කරන ශාපය විජය රජතුමාගෙන් පසු පත් වූ පඬුවස් දෙව් රජුට වැදිණි. එම දිවි දෝෂය දුරු කිරීම සඳහා පඬුවස් දෙව් රජතුමා විසින් පූනා මඩුව පැවැත් වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.
පේ‍්‍රමදාස ජනපතිවරයාට කළ පූනා මඩුව සඳහා භාවිත කළ දිවි පූනාව සවි කිරීමට සාදන ලද දිවි යකාගේ පිළිරුව සහිත ඡායාරූප තවම ගඟුල පත්තිනි දෙවාලය සතුව තිබේ.
ඒ ශාන්තිකර්මය පිළිබඳ කටකතා රාශියක් රට පුරා ප්‍රචලිත වූයේ පුවත්පත්වල සිරස්තල මවමිනි. කන්‍යාවන් 37 දෙනෙකු විසින් ඒ මහතාව නාවන ලද කතාව සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුටුවල ඉන්දියාවෙන් ගෙන්වන ලද මතුරන ලද තෙල් වර්ගයක් ආලේප කළ කතාව ඉන් කීපයකි. .
පානදුර ගඟුලේ කපු පරම්පරාවට අයත් පත්තිනි දේවාලය කි‍්‍රස්තු වර්ෂ 1412 කෝට්ටේ යුගයේ 4 වන පැරකුම්බා රජු සමයේ පටන් පැවතෙන කපු පරම්පරාවකි.
ගඟුල පත්තිනි දේවාලයේ දැනට සිටින කපු පරම්පරාව මීට ශත වර්ෂ කීපයකට පෙර ආරම්භ වී ඇත්තේ පානදුර කෙසෙල්වත්තේ පදිංචිව සිටි හල්පෙවත්තගේ සීමන් පීරිස් කපු මහතාගේ දියණියන් පස් දෙනාගෙන් වැඩිමහල් දියණිය වන අනෝ හාමිගේ දරුවාගෙනි. එම කපු මහතාට පිරිමි දරුවන් නොමැති නිසා දියණියගේ ස්වාමි පුරුෂයාගේ පෙළපත් නාමයෙන් ගඟුල දේවාල කපු පරම්පරාව ආරම්භ වී තිබේ. ඒ අනුව,
(1) මහමක්කල පටබැඳීගේ ඕදිරිස් දියෙස් (ඩයස්), බස්තියන් දියෙස්, හරමානිස් දියෙස්, කරොලිස් දියෙස්, ලියොනිස් දියෙස්, දානියෙල් දියෙස්, ටයිමන් දියෙස්, රංජිත් දියෙස් මයුර ප්‍රසන්න දියෙස් යන පිරිස පෙළපතට අයත් වේ.
මඩු ශාන්තිකර්මවල ගැයෙන පානදුර සම්ප්‍රදායට අයත් කවි ඇතුලත් පැරණි පොත්පත් සහ පුස්කොල පොත් සහ පැරණි වෙද පොත් සහ මන්තර පොත් ද ගඟුල කපු පරම්පරාව සතුව තිබේ. ගඟුල පත්තිනි දේවාලයේ තුළ ඉපැරණි කතරගම, සමන්, දැඩිමුණ්ඩ යන දේව රූප මෙන්ම පැරණි පත්තිනි හළඹ ද දක්නට ඇති අතර වර්තමානයේ සාදන ලද බලි රූප එහි තිබේ.