වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
භූ විෂමතා අනුව පොදුවේ වෙනස්වන වාස්තු බලය
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන් ද යන්න පිළිබඳ විචාරන අවස්ථා එතරම් දක්නට නොලැබේ. එබැවින් පුරාතන වාස්තු ග්‍රන්ථයන්, නූතන වාස්තු විද්‍යාවත් තුලනාත්මකව විමසා බලමින් එබඳු විවරණයක් සිදුකිරීම ඵලදායී යැයි හැඟේ.
නිදසුනක් ලෙස වෙරළාසන්න ප්‍රදේශයන්හි පවත්නා පාරිසරික ශක්තීන්ගේ ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්න විමසීම ඉතා වැදගත් වේ. එසේම වෙරළින් ඔබ්බට යමින් මැදරට කඳුරට ආදියට පිවිසීමේ දී මේ තත්ත්වය කෙබඳු වන්නේ ද යන්න අතිශයින් වැදගත් වේ. මෙහිදී ඒ ඒ නිවසේ ඒ ඒ භූමියේ විශේෂතා පිළිබඳ විමසීමක් සිදු නොකොට පොදුවේ විග්‍රහයක් කළ යුතු බැවින් එය දැවැන්ත ශක්ති ප්‍රවාහයක ක්‍රියාකාරීත්වයක් සමස්තයත් ලෙස ගෙන කෙරෙන පොදු විවරණයක් බව ප්‍රමුඛව අවබෝධ කර ගත යුතුව තිබේ. එසේ වුවත් මෙහිදී යොදා ගනු ලබන වාස්තු සිද්ධාන්ත සියල්ලම පෙර ඒ ඒ කුඩා ඒකකයන් (ඉදිකිරීම්) සඳහා යොදා ගත් ඒවාම වේ.
මේ අනුව උතුර, ඊශාන හා නැඟෙනහිර වෙරළ ආශි‍්‍රතව පවත්නා ප්‍රදේශයන්ගේ වාස්තුමය ස්වභාවය හඳුනා ගැනීමට උත්සාහ කරමු. මෙහිදී මේ ප්‍රදේශ පොදුවේ බෑවුම් වන්නේ උතුර, ඊශාන හා නැඟෙනහිර දිශාවන් වෙතට බව පැහැදිලිව කිය හැකියි. එවිට ඊශානයෙන් සාක්ෂර වශයෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය උපරිම වශයෙන් භූ ගත වන බවත් එයින් යම් සංරචකයක් (ඛ්චථනචපචදබ) උතුරෙන් හා නැඟෙනහිරෙන් ගලා විත් භූගත වන බවත් වටහා ගත හැකියි. එබැවින් භූ ශක්තිය බලවත් වන දිශාවන් වන බැවින් උතුර, නැඟෙනහිර හා ඊශාන දිශාගත ප්‍රදේශවල ලෞකික ආරක්ෂාවන් අතිශයින් බලවත්වීම ස්වභාවයයි.
අපේ රටේ පවත්නා ස්වභාවය අනුව බැලීමේ දී උතුරු හා නැඟෙනහිර පළාත්වල එතරම් ආර්ථික හා සමාජීය සාර්ථකත්වයක් දක්නට නොලැබුණ ද ඔවුන්ගේ ලෞකික අපේක්ෂාවන්ගේ බලවත් බවට මේ තත්ත්වය හේතු වන්නට පුළුවන. ජාතික මට්ටමෙන් සලකා කෙරෙන නගර නිර්මාණ ආදියේ දී මේ තත්ත්වය උපරිම වශයෙන් යොදා ගැනීමෙන් මේ ස්වභාවයන් යම් පමණකින් මෙහෙයවීමට හැකි බව අපගේ අවබෝධයයි.
මෙහි ප්‍රතිවිරුද්ධ දිශාවන් ලෙස ගැනෙන දකුණු නිරිත හා බස්නාහිර වෙරළාසන්න ප්‍රදේශයන්ගේ පවත්නා බෑවුම් ස්වභාවය ඒ දිශාවනටම වූවකි. මෙහි නිසැක ප්‍රතිඵලය වන්නේ ඊශානයෙන් සාපේක්ෂ වශයෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය මැනැවින් භූගත නොවීමයි. එබැවින් භූ ශක්තිය බලවත් නොවීමෙන් ලෞකික අපේක්ෂාවන් ඵල නොදරන බවත් දක්නට ලැබේ. එසේ වුවත් ඊශානයෙන් ගලා එන පෙර කී අනන්තරීක්ෂ ශක්ති ධාරාව නිරිතේ තැන්පත්වීම නිසා භූ ශක්තියෙන් අඩුවක් පැවතියද අන්තරීක්ෂ ශක්තියේ යම් ප්‍රබලත්වයක් ඇති වේ. මෙසේ බලවත් වන අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව එකී පෙදෙස් වැසියන්ගේ ශක්ති ශරීරය පොදුවේ බලවත් කරන බැවින් සියලු පාර්ශ්වයන්ගෙන් වන සමස්ත සාර්ථකත්වයක් අත්දැකීමට හැකියාව උදා වේ.
වෙරළාසන්න ප්‍රදේශයන්හි තත්ත්වය මෙසේ පොදුවේ සරල ලෙස දැක්විය හැකි වෙනත් කඳුකර ප්‍රදේශයන්හිදී මේ තත්ත්වය වඩ වඩාත් සංකීර්ණ ලෙස වෙනස් වේ. නිදසුන් ලෙස පොදුවේ ඉතා හොඳින් අන්තරීක්ෂ ශක්තියට මුහුණ දෙන ඊශාන ප්‍රදේශයක පිහිටි කඳු ගැටයකින් නිරිත බෑවුමට එතරම් හොඳින් අන්තරීක්ෂ ශක්තිය නොවැටේ. එසේම නිරිත දිශාවේ පිහිටි කන්දක නිරිත බෑවුමට අන්තරීක්ෂ ශක්තිය නොවැටුණත්, එහි අනෙක් ප්‍රතිවිරුද්ධ මුහුණක් පිහිටි නිවාසවලට පොදුවේ ඉතා හොඳින් අන්තරීක්ෂ ශක්තිය හිමි වේ. මේ තත්ත්වයන් පිළිබඳ පොදු සංස්කෘත අත්දැකීම ලබා ගැනීමෙන් අනතුරුව අප විසින් ප්‍රදේශයේ පවත්නා ආර්ථික හා සමාජීය ප්‍රගතිය වැඩිදියුණු කර ගැනීම සඳහා මේ වාස්තු සිද්ධාන්ත ද අවබෝධ කර ගැනීම යහපත් වේ. ඒ සඳහා කළ යුත්තේ ප්‍රදේශයේ සංවර්ධන ක්‍රියාවලිය මෙවැනි සිද්ධාන්ත සමඟ මැනැවින් ගළපා ගනිමින් සිදුකිරීමයි.
කඳුකර ප්‍රදේශවලදී විශේෂයෙන් සැලකිය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පවත්නා දිය ඇලි, ගංගා, ඇළ, දොළ ආදියත් සමඟ ගොඩනැගෙන පාරිසරික ශක්ති විශේෂයන්ගේ පොදු බලපෑම අවබෝධ කර ගැනීමයි. මෙහිදී මෙවැනි ජල ගලා යෑම්වල දිශාව ඊශාන, උතුර හා නැඟෙනහිර දිශාවනට සිදුවේ නම් ප්‍රදේශයේ සාර්ථකත්වයට ශක්තිමය සහනයක් හිමි වන බව පැහැදිලි කර ගත හැකියි. එහිදී ජලයට උරා ගත් ශක්තිය ගලා යන දිශාව හා අන්තරීක්ෂා ශක්තිය ගලා එන දිශාව ප්‍රතිවිරුද්ධවීමෙන් ඇති වන ගැටීම විසින්ද ප්‍රදේශයේ ස්ථාවර ශක්ති තීව්‍රතාවක් ඇති වේ.
මෙයට අමතරව කඳු, ද්‍රෝණි, නිම්න ආදී විවිධ භූ විෂමතාවන් අනුවද පාරිසරික ශක්තීන්ගේ වෙනස්වීම් අධ්‍යයනය කිරීමෙන් ප්‍රාදේශීය වශයෙන් ඇතිවන සාර්ථක අසාර්ථක භාවයන් පිළිබඳ නිගමනය කළ හැකියි. මෙයින් පැහැදිලි වන්නේ ප්‍රාදේශීය වශයෙන්ද වාස්තුමය වශයෙන් විශේෂත්වයක් පවත්නා බවයි.
සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න