බාල්ක සහ කුරුපා යට නිදා ගැනීම අසුබද?

දෙසැම්බර් 13, 2024

වාස්තු ශාස්ත්‍රයේදී නිවෙසක වහලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී වහලයේ යොදා ඇති යට ලී, පරාල, රීප්ප, බාල්ක ආදිය සකස් කර ඇති ආකාර මෙන්ම ඒවා එකිනෙක සම්බන්ධ කර ඇති ආකාරය පිළිබඳවත් සැලකිල්ලක් දක්වන බව පෙනේ. එහිදී මූට්ටු නැතහොත් සන්ධි කිරීමේ ක්‍රම ආදිය පිළිබඳ සංකීර්ණ විශ්ලේෂණ ඇතත් අද භාවිතයට ගතහැකි සරල භාවිතාවන් සමාජයට හඳුන්වා දීම වඩාත් ප්‍රතිපලදායක බව මෙහිදී අවධාරණය කළ යුතුය.

ඈත අතීතයේ පැවති ඉදිකිරීම් මෙවලම්, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදියේ ස්වභාවය මෙන්ම එයින් හැඩගැසුණු ඉදිකිරීම් මාදිලි සලකා බැලීමේදී පෙනී යන්නේ, විශේෂ ප්‍රභූ නිවෙස්වල හැර සාමාන්‍ය ඉදිකිරීම්වල පවත්නා වහලය උසින් ඉතා අඩු බවත්, වර්තමානයේ සෑම ඉදිකිරීමක්ම පාහේ යම් පමණකට උසින් වැඩි බවත්ය. මෙය ඉතා හොඳ ප්‍රවණතාවකි. එහිදී සිදුවන්නේ කුමක්ද ? වහලය තනා ඇති සියලුම ලී දඬු විසින් අශුභ ( එනම් නිවැසියන්ගේ ශක්ති ශරීරය වියවුල් කරවන) ශක්ති ක්ෂේත්‍රයක් ඇති කරන නිසා ඉතා උසින් අඩු වහලයකදී එකී අශුභ ශක්ති ක්ෂේත්‍රය නිවැසියන්ගේ ශක්ති ශරීරයට හානි කරන බැවින් මේ තත්ත්වය හට ගනියි. මෙහිදී වැඩිම බලපෑම ඇති කරනුයේ වහලය හා සම්බන්ධ බාල්කවලින් ය. බාල්කයක් යට යම් අයකු නිදාගත්තේ නම් හා බාල්කය පිහිටා ඇත්තේ ඉතා උසකින් නොවේ නම් මේ තත්ත්වය වඩාත් බරපතළ වෙයි. මෙවැනි බාල්කයක් නිවෙසක දොරට ඉහළින් පිහිටා ඇති විට ඒ දොර හරහා ගමන් ගන්නා අයට, ආකාර ගණනාවකින් අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකිය. දොර උළුවස්සේ පවත්නා රාමුව මඟින්ද යම් අහිතකර ශක්ති ක්ෂේත්‍රයක් ඇති කරයි. ඒ උළුවස්සට ඉහළින් පරාලයක් සවි වී ඇත්නම් එහි ඇතිවන අශුභ ශක්ති ක්ෂේත්‍රය සමඟ උළුවස්සේ ශක්ති ක්ෂේත්‍රය අධි ස්ථාපනය (super position)  වීම නිසා බරපතළ හානිකර තත්ත්වයක් උදාවේ.

බාල්ක මට්ටමටම නොවූවත් පරාල ආදියෙන්ද යම් අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් මෙහිදී සටහන් කළ යුතුයි. එසේම ඒවායේ මූට්ටු යෙදී ඇති තැන්වලදී සිදුවන්නේ ශක්ති ක්ෂේත්‍රයේ පවත්නා සමාකාර ගුණය ඉවත් වී ශක්ති කැලඹීමක් ඇතිවීමයි. මෙවැනි කැලඹීමක් හේතුවෙන් වඩාත් හානිකර තත්ත්වයක් ඇතිවන බව අපට උපකරණ ආශ්‍රිතව ලද අත්දැකීම්වලින් පැවසිය හැකිය. එබැවින් මූට්ටු පිහිටුවීමේදී නිවැසියන් නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන මඟහැර දැමීම වඩාත් උචිත වේ.

සමහර නිවාසවල වහලවලින් නිවැසියනට සිදුවන බරපතළ අහිතකර ප්‍රතිඵල සැලකීමේදී ඒවා මඟහැර දැමීමට කබර හෝ ක්‍රමවේදයක් යොදා ගැනීමට සිදුවන බව වැටහෙයි. මෙහිදී සාර්ථකම ක්‍රමය වන්නේ වහලය නිවැසියන්ගෙන් වෙන් කරවන පරිදි සිවිලිමක් සකස් කිරීමයි. මෙහිදී සිවිලිම සකස් කළ යුතු ක්‍රමය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. මෙහිදී පරාල පිටතට පෙනෙන පරිදි මෑතක සිට හොඳීන් භාවිතයට පැමිණි, වහලයේ හැඩයටම යෙදෙන සිවිලිමක් වෙනුවට තිරස් සරල සිවිලිමක් යොදා ගැනීම අතිශයින් හිතකර බව කිව යුතුයි. එහිදී වහලයෙන් ඇතිවන හානිකර බලපෑම් පහළට දැනෙන ප්‍රමාණය මුළුමනින්ම වාගේ ඉවත්වන බව සැලකිය යුතු වේ.

මෙසේ එකී වාස්තු වියවුල ඉවත් කිරීම සඳහා අමතර වශයෙන් සීලිමක් යෙදීම මිල අධික හා කරදරකාරී කටයුත්තක් ලෙස සිතන්නේ නම් ඊට වඩා සරල, වියදම් අඩුවූත් සාර්ථක ක්‍රමයක්ද අද භාවිතයට ගෙන තිබේ. එය නම් පිරමීඩ භාවිත කර පෙර කී වාස්තු වියවුල ඉවත් කර දැමීමයි. පිරමීඩ භාවිතයෙන් මෙකී වාස්තු දෝෂ ඉවත් කිරීම සිදුකරන විට වියදම අඩුවීමත්, කරදරකාරී බව ඉතා අඩුවීමත් පමණක් නොව වැඩි අන්තරීක්ෂ හා භූ ශක්ති ප්‍රමාණයක් නිවෙස අභ්‍යන්තරයට ඇතුළත් වීමක් සිදුවන බව සැලකිය යුතුයි. මේ අනුව නිවසේ අන්තරීක්ෂණ ශක්ති තීව්‍රතාව ( cosmic energy intensity)  වැඩිවීම නිසා නිවැසියන්ගේ ශක්ති ශරීරය (Aura) බලවත් වීමත් ජීවිතවල ක්‍රියාකාරීත්වය ශීඝ්‍ර වීමත් සිදු වේ. එබැවින් මෙහිදී ද වාස්තු දෝෂ නිවාරණය සඳහා පිරමීඩ භාවිත කිරීම උචිත ක්‍රමය බවට පත්ව තිබේ.

පෙර කී බාල්ක පිහිටි අවස්ථාවකදී එය යට යම් අයෙකුට සිය සයනය (නිදන ඇඳ) පැනවීමට සිදුවූයේ නම් බාල්කය දිගේ පිරමීඩ සවිකිරීම හෝ බිත්තියට බාල්කය සවි වන තැනට යටින් දෙපසේ පිරමීඩ සවි කිරීමෙන් බාල්කයෙන් වන දෝෂය සපුරා ඉවත් කළ හැකියි.

පරාල මූට්ටුවකදී ශක්ති කැලඹීමක් නිසා සිදුවන හානිය ඉවත් කිරීම සඳහා මූට්ටුව ඇති තැනට එක් පිරමීඩයක් යෙදීම ප්‍රමාණවත් වෙයි.

යම් කුරුපාවක් යොදා ඇති තැනකින් නිරතුරු ගමන් කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවකදී කුරුපාවේ යටි පැත්තේ පිරමීඩයක් සවිකිරීමෙන්, මෙතෙක් තිබූ අහිතකර ශක්තිය වෙනුවට ශක්ති ශරීරය බලවත් කරවන ක්‍රියාවලියක් පිරමීඩයෙන් නිකුත් වන බව වටහාගෙන භාවිතයට ගත හැකියි.

මේ ආකාරයට විවිධාකාර වහල දෝෂ ඉවත් කර ගැනීමක් මිස වහලයේ වෙනස් කිරීම ඔස්සේ වහලයේ දෝෂ ඉවත් කිරීමට යෑම නුවණැති ක්‍රියාවක් නොවන බව අවධාරණය කළ යුතුව ඇත.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.