වැදි මනාළිය ගිනි හූනියමෙන් බේරාගත් හැටි

පෙබරවාරි 23, 2024

එදා හිමිදිරියේ කොණ්ඩදෙණිය පන්සලට අමුත්තන් රැසක් එන බව කලින්ම සංඥා කළේ සැතපුමකට එහා සිටම ඇසෙන තඩි බලු රෑන් සේනාවේ බිරුම් හඬිනි. “බණ්ඩෝ” අද නම් කවුරුන්හෝ කණ්ඩායමක්ම පන්සලට එන හැඩයි. “කෝකටත් පන්සල් වත්තේ වැඩ අහවර කරල දේව මන්දිරය ඇරල සූදානම් කරන්නකෝ”

නොබෝ වේලාවකින් උඩුකය නිරුවත් පොරෝ කෙටි උරහිස් මත තබාගෙන කැති, මුගුරු රැගත් වැදි කණ්ඩායමක් දිස්වන්නට විය. වැදි කණ්ඩායම පෙරටු කොට පැමිණි බලු නඩය කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් පන්සල් ගේට්ටුව අසලට වැඩම කළ වහාම බිරුම් හඬ නවතා වලිග වනා විසිර යන්නට විය.

“අවසරයි නායක හාමුදුරුවනේ” “අපි මහ ඔයෙන් එහා බින්තැන්න පත්තුවේ ඉඳලයි ඔබ වහන්සේ මුණගැහෙන්න ආවේ.”

“හොඳයි” ඔය ඇත්තෝ ඉස්සෙල්ලාම පහළ වැවෙන් නාලා පිරිසුදු වෙලා වැවෙන් නෙලුම් මල් ටිකකුත් කඩාගෙන විහාරගෙටත් ගොඩ වෙලාම එන්නකෝ”.

“බණ්ඩෝ මේ ඇත්තන්ට උදේට සප්පායම් වෙන්ට ඔය කුරක්කන් තලප එක්ක හොඳි වෑංජනයක් හනික හදලා ගන්න.”

“බුලත් කහට රැඳි දත් ඇති ඔවුන් සිනාසුණේ බයාදු අයුරින්. වැදි ජනයා කැටුව පැමිණි සුදු ජාතික ඇඳුමින් සැරසී සිටි නිල්ඔබ ඉස්කෝලෙ උගන්වන මුල් ගුරුවරයා දයානන්ද මහතා වැදි බසින් තේරුම්, බේරුම් කර දීමෙන් පසු ඔවුන් හිමියන්ගේ අණට කීකරු විය.

සිත්සේ නා පිරිසුදුව ගමන් මහන්සිය නිවාදැමූ එම කණ්ඩායම උදේ ආහාරය ද ගෙන පසුව අප හිමියන් පාමුල වැඳවැටී නමස්කාර කළහ. උන්දැලට වෙච්ච ඇබැද්දිය විස්තර කළේ දයානන්ද ඉස්කෝලේ මහත්මයාමය.

“අපේ නායක හාමුදුරුවනේ ඔය ඉස්සරහින්ම ඉන්න “ගෝඝරා” ඇත්තෝ ලොකු කරදරේක පැටලිලයි ඉන්නේ. “

“මේ අය අදහන්නේ කන්දෙ දෙයියො යක්ෂයායි”

කන්දෙ දෙවි යක්ෂයාට මොනතරම් යාග හෝම කළාද? “කිරි කොරහත් නැටුවා” වැඩක් වුණේ නැහැ නොවැ. ඒත් උන්දැලටත් බැරි වුණා. මේ අයව ගොඩදාන්න. බැරිම තැන තමයි අපේ හාමුදුරුවන් හොයාගෙන ආවේ. ශාන්තිකර්මයක්වත් කරගන්න බලාගෙන.

“හොඳයි, මොකද වුනේ කියල කෙටියෙන් කීවා නම්”

හාමුදුරුවන්ට පිළිවදන් දුන් දයානන්ද මහතා සිදු වූ ඇබැද්දිය විස්තර කරන්නට විය.

“මේ ගෝඝර ඇත්තෝ මේකා ළඟදී සහේට ගත්ත කෙළි පොඩිත්තියක් එක්කර ගෙන යන්න ලෑස්ති වුණා නොවැ...” ඉතින් සනුහරේ නෑයෝ එකතුවෙලා අලුත හැදූ පැල් කොටේ මඟුල් ගෙයකුත් ගත්ත ජයටම. මඟුල් ගෙදරදීම මනාලිය ඇඳගෙන හිටිය ඇඳුම ඉබේ ගිනිගත්ත නොවැ. බොහෝ අමාරුවෙන් දඟලලා තමයි යන්තම් ගිනි නිවාගත්තේ. තුන් සැරයක්ම මේ විදියට ඉබේ ගිනි අරගත්තා. අර ඇඳුම වුනා දැම්මා විතරයි ඒක සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු බවට පත්වුණා. මේ සංගෙඩියේ දී සනුහරේ නෑදෑයොත් කෑමොර දෙන්න වුණා. එතන එකම ගාල ගෝට්ටියකුයි වුණේ.

දවස් තුනකින් පස්සේ මනාල යුවළ ආපසුඑන ගමනේ දී මහඔය පිටාර ගලමින් තිබුණා. ඉතින් අහල ගම් හතකින් ආපු නෑඳෑ මයිලන් “තමන්ගේ හපන්කම් - අලුත් නෑයන්ට පෙන්නන්න ගිහින් අපරාදේ ගඟටම බිලිවුණා.” එතනත් මළ විජ්ජුම්බරයයි සිදු වුණේ....”

“ඒ විතරක් නම් කමක් නැහැ හාමුදුරුවනේ” තවත් වින්නැහියක් ඒ පවුලේ අයටම වුණා නොවැ”

මේ අනිත් මනුස්සයාගේ ලොකු කොල්ලා බෙහෙත් කොටන තුවක්කුවකින් එල්ලය අල්ලලා තඩි වඳුරකුට වෙඩි තිබ්බා. ඌ මැරිල බිම වැටුණා. ඒත් ටික වේලාවකින් ඌට ආයිත් පණ ඇවිල්ලා දුවන්න පනින්න ගත්තා. කොටන තුවක්කුවේ බටෙන් ගහල ඌ මරන්න හදනකොටම තුවක්කුව පත්තුවෙලා කොල්ලා එතනම මළා. ඉතින් පැල්කොටේ තිබිල මිනිය එළියට ගන්න හදද්දි කිසිදු හුළඟක්වත් නැතිව ඉස්සරහ තිබූ දැවන්ත දොඹ ගහේ විශාල අත්තක් බිමට මකබෑවෙලා අවමඟුලට ආපු ගොයියෝ රැසකට තුවාලත් වුණා.

මේ අඳෙීනාව සාවධානව අසා සිටි කොණ්ඩදෙණිය නායක හිමියෝන් මඳ වේලාවක් කල්පනා කරල හඬ අවදි කළහ.

“මේක මෙහෙ ඉඳල ශාන්තිකර්මයක් කරල ගොඩ දාගන්න බැරි පාටයි පෙනෙන්නේ”

“අපි බිංතැන්නෙ ඒ පැල් කොටේටම ගිහින් බලන්නම වෙනව. මට ඉතින් දෙනෝ දාහකගේ වැඩ රාජකාරි පිරිල තියෙනව“ ඒත් මක්කරන්නද? ඔහෙලගේ කාරණයත් ඉෂ්ට සිද්ධ කරල දෙන්න ඕනනේ.”

තම අතවැසියන් කැඳවූ උන්වහන්සේ

“පන්සල හොඳට බලාගනින්” මම දින තුන හතරකින් තමයි ආපහු එන්න වෙන්නේ බණ්ඩෝ මතක ඇතිව බුදු පහනයි දේව මන්දිරයේ පහන් ටිකයි වෙලාවටම දල්වන්න ඕනැ” එහෙනම් අපි දැන්ම පිටත් වෙමු.”

කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ වැදි පිරිස සමඟ වැදි ගම්මානය බලා පිටත් වූහ.

මහඔය නගරයේ සැතැපුම් කිහිපයක් වාහනයෙන් පිරිස කැටුව වැඩි හිමියෝ මහඔය ගංගාවේ ජලය අඩුව තිබූ නිසා පාගමනින් පොල්බැද්ද හරහා බින්තැන්නට වැඩම කරන ලදී. අතර මඟදී කුළු මී හරකුන් වගවලසුන් මුණ ගැසුණු අවස්ථා රැසක් වුවත් හාමුදුරුවන්ගේ මන්ත්‍ර බලයෙන් ජප කිරීමෙන් සියලු උපද්‍රව මඟහැරිණි. වගවලසුන් ඇතුළු කුළු මීහරකුන්ගෙන් කිසිවකුට හානියක් නොවීය.

හිමියන් හෝඹිරාගේ පැළට ගම්මුන් කැඳවාගෙන ගියේ මහත් සතුටකිනි.

සනුහරේ ජනයාට වී ඇති උවදුර වටහාගත් අප හිමියන් පැල්කොටය හැමතැනම පියනැඟූහ. එක් තැනකදී හිමියන්ට අමුත්තක් දැනිති. “වහා ඇවිත් මෙතන හාරන්න හිමියෝ අණ කළහ.” ඔවුන් පිරිස හිමියන්ගේ අණට කීකරු විය. ගතවූයේ සුළු මොහොතකි. තඹපතක් සමඟ හිසකෙස් රැසක් හමු විණි.

එම හිසකෙස් තම දියණියගේ බව එහි සිටි ගැහැනියක බෙරිහන් දුණි. තඹපත ගිණි ගොඩක් ගසා පුළුස්සා එහි අළු ද ඈත ගලා බසින දොළකට දැමීමට අණ ලැබිණි. එය එලෙසම ඉටුවිය.

තමන් මහත් ව්‍යසනයකින් මිදුණා යයි වැදි පිරිස නොසෑහෙන්නට සතුටු විය. පී‍්‍රති ප්‍රමෝදයට පත් නෑදෑ හූරන් ද සමඟ එදින රාත්‍රියේ කිරිකොරහා නැටුමක්ද නටා පී‍්‍රතිය පළ කෙරුණි. කොණ්ඩදණිය හිමියන්ද අප්‍රමාණ සතුටින් පසුදිනම කොණ්ඩදෙණිය බලා පිටත්වන්නට වූහ.

කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමිපාණන් ද මෙවැනිම හූනියම් සිය ගණනක් ගොඩගෙන ජනී ජනයාට සෙත ශාන්තිය සදාලන බව දන්නේ ටික දෙනෙකු පමණි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.