හිසේ කැක්කුමක් නිසා හඳුනාගත් ගම්මඩුව

පෙබරවාරි 9, 2024

රටේ සශ්‍රීකත්වය ඇතිවීමටත් දෙවියන්ගේ නැතහොත් අම්මාවරුන්ගේ රෝග ලෙස සලකන සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි බෝවන රෝග නිවාරණයටත් සාමය, සමගිය ඇතිවීමටත් බලාපොරොත්තුවෙන් පවත්වනු ලබන ගම්මඩු ශාන්තිකර්මය ගම්බදව හා නගරබදව පවත්වනු ලබන අභිචාර විධියකි.

මේ ශාන්තිකර්මය ශ්‍රී ලංකාවේදී පළමුවරට පවත්වා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේදීය. එයට මූලික හේතුව වී ඇත්තේ ඉන්දියාවේ කේරළයේ කාවේරිපුර සේරමානන් රජුට වැලඳී තිබූ හිසේ කැක්කුමක් සුවපත් කිරීමයි. සේරමානන් රජු මහා අධර්මිෂ්ඨ ගති පැවතුම්වලින් යුක්ත වූ රජ කෙනෙකි. ඒ රජු ගැන කියවෙන බොහෝ කතාවල සේරමානන් රජුගේ එක් සිරිතක් වූයේ දඩයමේ යාමයි.

අනේ දෙවියනේ

දිනක් දඩයමේ යන රජතුමා ගෝණකු දැක මරා දැම්මේය. පණ අදිමින් වැතිර සිටි ගෝණා වේදනාවෙන් රජු දෙස බලමින් කවදා හෝ නුඹේ මොළය මා අනුභව කරන්නෙමියි කියමින් මිය ගියේය. මෙසේ මරණාසන්න අවසන් මොහොතේදී ඇතිකරගත් වෛර සිතිවිලි නිසා මැඬියකු වී ඉපිද රජු ස්නානය කරන විලේ නෙළුම් මලකට වී සිටියේය. ඒ විලට එන සේරමානන් රජු නෙළුම් මල් ගෙන සිඹින පුරුද්දක් ද තිබිණ. සුපුරුදු පරිදි ස්නානය කිරීම සඳහා විලට ආ රජු ඉතා ශෝභමානව පිපී තිබූ නෙළුම් මලක් දැක මහත් පී‍්‍රතියෙන් විලට බැස රජු නෙළුම් මල අසලට ගොස් මල අල්ලා සිම්බේය. ක්ෂණයකින් මැඩියා රජුගේ මොළයට පිවිසියේය. එතනින්ම රජුට මහත් වේදනාවක් ඇති විය. දරාගත නොහැකි තරමේ මහත් හිසේ වේදනාවක්ද හට ගති. ඒ සමඟින් රජුට කියවූයේ අනේ දෙවියනේ යන්නයි.

එදින රාත්‍රියෙහි මහත් වේදනාවෙන් නින්දට ගිය රජතුමා සිහිනෙන් අහසේ සක්මන් කරන සත්පත්තිනි දේවිය දුටුවේය. තමා පෙර දින දුටු සිහිනය පිළිබඳ ඇදුරන් ගෙන්වා තතු විමසුවේය. එහිදී ඔවුන් පවසා සිටියේ සත්පත්තිනි දේවියගේ බැල්ම පවතින රටකට ගොස් ශාන්තිකර්මයක් කරවා ගැනීමෙන් වධවේදනාවට පත් රෝගය සුවපත් කර ගත හැකි බවයි. ඒ සේරමානන් රජු පිළිබඳ එක් කතාවකි. තවත් කතාවකින් කියැවෙන්නේ සේරමානන් රජුට අයත් උයනේ ගැවසෙන ගෝණකු මරා දමන ලෙසට රජුගෙන් නියෝගයක් ලැබුණු රාජ සේවකයෝ ගෝණා පසුපස එළවමින් යද්දී ගෝනා හදිසියේම රජුගේ පොකුණට වැටී මැරේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ ගැබ්බරව සිටි ගෝණෙකි. ගෝණා අවසන් මොහොතේදී රජු කෙරෙහි ඇතිවූ තද වෛරයෙන් මැඬියකු වී එම පොකුණේම ඉපදුනේය.

දිනක් උයන්කෙළියේ ගිය රජු පොකුණේ පිපී තිබූ මල් අතරින් වඩාත්ම ලස්සනට තිබූ මලක් දැක සතුටට පත්ව එම මානෙල් මල අසලට ගොස් මල කඩා සිම්බේය. එසේ මලේ සුවඳ සිඹිනවිට මලේ සැඟවී සිටි මැඬියා ක්ෂණයකින් රජුගේ නාසයට ඇතුළු වී මොළයට ගියේය. මින් රජුට ඇතිවූ අධික හිසරදය නිසා රජු මහත්සේ පීඩාවට පත් විය. හිසරදයෙන් රජු මහත් වේදනාවෙන් පසු වන අතර දිනක් රෑ සිහිනෙන් රූමත් කාන්තාවක් අහසේ පාවෙන හැටි දුටුවේය. ඉන් කලබලයට පත් සේරමානන් රජු උදේ අවදිවූ සැණින් පුරෝහිත බමුණා ගෙන්වා ඒ ගැන විමසා සිටියේය. එහිදී පුරෝහිත බමුණා රජුට සැලකර සිටියේ රජතුමා සිහිනෙන් දැක ඇත්තේ පත්තිනි දේවිය බවයි.

 

සිහිනය

රජු එවැනි සිහිනයක් දැකීමෙන් පෙන්වන්නේ මහත් ශාපයක් ඇතිවී ඇති බවත් ඒ සඳහා සතර මහා දේවාල පිහිටි රටකට ගොස් ශාන්තිකර්මයක් කරවා ගැනීමෙන් රජුගේ සියලු දොස් දුරු වී සෙත ලබා ගත හැකි බවත් පවසන ලදි. ඒ ගැන සිත යොමු කළ රජතුමා දිවයිනට පැමිණ රුවන්වැල්ලට ගොස් දෙවොල් මඩුවක් හා ගම්මඩුවක් පැවැත්වීමට පියවර ගන්නා ලදි. සේරමානන් රජු සතර දේවාල සහ නිර්මල බුදුදහම පවතින රටක් ලෙස මෙරටට පැමිණ පළමුකොට කැලණි විහාරයට ගොස් පින්දහම් කොට දුගී මගී යාචකාදීන්ට දන්දෙමින් සිට නවගමුවේ පත්තිනි දේවාලයට ළඟා විය. එහිදී පත්තිනි දේවාලයට පුද පූජා පවත්වා රජුගේ හිසේ ප්‍රමාණයට රත්රන් අඹයක් සාදා පූජාකොට අනතුරුව සීතාවක රජු වෙත ගිය සේරමානන් රජු රුවන්වැල්ල දේවාලයට පුද පූජා පැවැත්වීය.

එහිදී සේරමානන් රජු පළමුවන ගම්මඩුව පැවැත්වීමට කටයුතු යොදන ලදි. ගම්මඩුවක් පවත්වනු ලබන්නේ කෙම්මුර දිනයකදීය. විශේෂයෙන් ඒ සඳහා යොදාගනු ලබන්නේ සෙනසුරාදා දිනයකි. මෙහිදී ගම්මඩුව වෙනුවෙන් කප් සිටුවීම කරනු ලබන්නේ මාස තුනකට පෙරය. හත් රියනක් දිග කිරිගහක් තෝරාගෙන ගහවටේට ගොක්වලින් සරසා, කප මැදට සිටින සේ පුවක්මලක්, පොල්මලක් හා ලෙලිත් සමඟ පොල්ගෙඩි දෙකක් , බැඳ මුසුත් නැවුම් කළයක් මුණින් අතට තබා බුලත් හතක් , පඬුරු හතක් පහතින් තියා ගැටගසා භාර වේ. ගම්මඩු යාගයේ අනුපිළිවෙළ අනුව තෙරුවන් වැඳීම සහ පේ කිරීම පහන් දැල්වීම, දලුමුර පූජාව, මඟුල් කප සිටුවීම වන දින අමුකිරි ආහාර බුද්ධ පූජාව, දේවදානය ශාන්තිකර්ම විධි පස්වරු හතරයි තිහේ සිට පසුදා දහවල් දක්වා තෙරුවන් වැඳීම මිල්ල කැපීම පත්තිනි දේවිය මැවූ ගිනිකඳු තරණය කිරීම, ගිනි පෑගීම සඳහා මිල්ල ගස කැපීම ද වේ.

පහන් දැල්වීම හා දලුමුර පූජාව බිසෝ කප පිහිටුවීම සේරමානන් රජුගේ හිසේ ඇතිවූ රෝගය සඳහා සඳුන් ලීයක් ගෙන බිසව විසින් සිටුවන ලද මුල්කණුව නම් වන්නේ බිසෝකප ලෙසයි. ඒ සඳහා කෙසෙල් ගසක් අලංකාරවත් ලෙස ගොක්වලින් සරසා තොරණ සමීපයේ සිටුවා පහන් දල්වා ආලෝකමත් කොට පඬුරු ඔප්පු කරති. බිසෝ කණු එම සැරසිල්ලට පහන් පත්තු කිරීම හා දලුමුර පූජාවටයි. ගම්මඩු ශාලාවේ නැඟෙනහිරට පත්තිනි තොරණයි. දැඩිමුණ්ඩ කතරගම වාහල දෙවොල් දෙවියන් සඳහා මල්යහන් හතරක් වෙන වෙනම සාදති.

 

දෙවොල් යාගය

දෙවොල් යාගයට අවශ්‍ය තෙල් වෙන වෙනම සිඳගනී. එම තෙල් දේව මඩුවට වැඩම කරනු ලබන්නේ ශබ්ද පූජා පවත්වමිනි. බෙර සක්හඬ මධ්‍යයේ එය සිදු කරනු ලබන්නේ පහන් ආලෝකය ආතුර විසින් සිදු කරද්දීය. ආලෝකය පතුරවා හැරීම සඳහා කාල පන්දමක්ද දල්වයි. පුවක් ගසක් සුද්ධ පවිත්‍රකොට ගොක්කොළවලින් සරසා පන්දමක් පුවක්ගස මුඳුනේ බඳිනු ලැබේ. එම අවස්ථාවේදී බෙර වාදනය කරමින් පූජා පවත්වති. තොරණ යාගය පඬිරට සේරමානන් රජුගේ රෝගයට මඩුපුරයේ කරනු ලැබූ තොරණක් යාගයට අනුව ඉදිරිපස ඇති කඩතුරාව ඉවත් කිරීමෙන් පසු රූප දැක්වීම් සිදු කෙරේ. මල්යහන්වලට සුවඳදුම් දී කොතල පදය නටා දෙවියන්ට යහන්වලට වඩින ලෙස ආරාධනා කෙරේ. දේවාභරණ වැඩම කරවීම පත්තිනි දේවිය හා පාළඟ තොරණට වැඩම කරවීම උඩුවියන් පාවාඩ සමඟින් සිදු කරන්නේ දේව වරමිනි.

ඉන් අනතුරුව සිදු කරන්නේ මඟුල් බෙර පූජාවයි. තෙල්මේ නැටීමේ පත්තිනි සළඹ ගෙන පවන්සලා ලෙඩ රෝග දුරුකිරීම, මහණකම් යකුන් පිදීම, වාහල නැටීම, වාහල අඩුක්කු පූජාව දොළහ පෙළපාළිය දෙවොල් නැටීම කුරුම්බර පූජාව, ගරායක් නැටීම, කිරි ඉතිරවීම දේවදානයෙන් පසු පින්දීමෙන් සෙත් ශාන්තිය නිමාවේ.

ගම්මඩුව

 

ගම් මඩු ශාන්ති කර්මය යම් යම් වෙනස්කම්වලින් යුක්තව සමහර ප්‍රදේශවල පවත්වයි. සමහර ගුරුකුලවල වත් පිළිවෙත් අනුව ගම්මඩු ශාන්තිකර්මය ඒ ඒ ප්‍රදේශවලට අනුව පවත්වයි. ගම්මඩුව ආරම්භ කරුනු ලබන්නේ රාත්‍රි හතයි තිහට පමණකි. තෙරුවන් නැමදීම සඟල පේ කිරීම පහන් දැල්වීම හා දලුමුර පූජාව, මඟුල් කප සිටුවීම දෙවන දින අලුයම කිරි ආහාර පූජාව දේවදානය, තෙරුවන් නැමදීම මිල්ල කැපීම පහන් දැල්වී පේ බත දානය බිසෝකප සිටුවීම සැන්දැ සමයම යකුන් පිදීම කාලපන්දම පූජාව තෙල්මේ නැටීම යකුන් පිදීම වාහල නැටීම කුරුම්බර පූජාව ගරායක් නැටීම, කිරි ඉතිරවීමට පසු පින් අනුමෝදන් කිරීම එහි අවසානයයි.

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

මොරටුවේ

තිස්ස මහානාම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.