අත් වර්ගය අනුව හෙළිවන ඔබගේ ජීවන තොරතුරු

දෙසැම්බර් 8, 2023

හස්ත රේඛා ශාස්ත්‍රය භාවිතයෙන් පලාපල කථනය සඳහා අත්ලේ හැඩය සැලකිල්ලට ගැනීම නිවැරැදි පලාපල කථනය සඳහා ඉතාම වැදගත් වන බව කිව යුතුය. එම නිසා මෙහිදී අත්ලේ හැඩය අනුසාරයෙන් ගොඩනැඟුණු අත් වර්ගයන් සඳහා අවධානය යොමු කළ යුතුය.

පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට අත්ලේ රේඛා සහ අනිකුත් පිහිටිම් සේම අත් වර්ගයේ ස්වභාවයද එකිනෙකට වෙනස් වේ. මෙසේ වෙනස් වන අත් වර්ගයන් අනුසාරයෙන් පුද්ගලයෙකුගේ ආකල්ප ,පෞරුෂත්වය, රුචි අරුචිකම්, මූලික චරිත ලක්ෂණ, කුසලතාවයන් පමණක් නොව ශාරිරික අංග ලක්ෂණද වෙනස් වේ. එම නිසා මේ අනුව පුද්ගලයෙකුගේ මානසික ක්‍රියාකාරිත්වය කුමන ආකාරයෙන් කුමන දිශාවක් ක්‍රියාකරනවාදැයි සොයා බැලීමට අත්ලේ හැඩය උපකාරි වේ.

හස්ත්‍ර රේඛා ශාස්ත්‍රයේදී අත්වර්ග ක්‍රම කිහිපයක් අනුව වර්ග කෙරේ. ඒ අනුව ඉතාම සරල ක්‍රමයේදි පොළව වර්ගය, වායු වර්ගය, අග්නි වර්ගය, ජල වර්ගය වශයෙන් කොටස් හතරකට වෙන් කෙරේ.

පොළව වර්ගයේ අත්ල හතරැස් වන අතර කෙටි ඇඟිලි පිහිටා ඇත. ඔවුන් ප්‍රායෝගිකය. මහන්සි වී වැඩ කිරීමට කැමතිය. නමුත් නිර්මාණාත්මක දක්ෂතාවයක් නොමැත. සුරක්ෂිත රැකියාවක් මිස නව ඉසව් කෙරේ යායුතු රැකියාවක් ඔවුන් කරන්නේ නැත. ශක්තිමත් ශරිරයක් සහ හොඳ බුද්ධි මට්ටමක් ඔවුන් සතුය. සම්ප්‍රදායක චාරිත්‍රවලට බොහෝම කැමැතිය. නවීන පන්නයේ වෙනස්කම්වලට මොවුන්ගේ කැමැත්තක් නොමැත. සමාජ ජීවිතයට එතරම් කැමැත්තක් නැත.කම්කරුවන්,කම්මල් කරුවන්,වැනි රැකියාවන්හි නියුතු බොහෝ අයෙක් මෙවැනි අත් හිමියන්ය.

වායු වර්ගයේ අත්ල ද හරි හතරැස් වන අතර ඇඟිලි දික්ව පිහිටා ඇත. අත්ල බොහෝදුරට පැතලිය. ඔවුහු යහපත් ක්‍රියාකාරි මනසකින් යුතුව කටයුතු කරන්නෝය. පොළව අත්ල හිමියන් මෙන් නොව සම්ප්‍රදායට කැමැති නැත. සංචාරයට විශේෂ කැමැත්තක් ඔවුන් සතුව ඇත. අත්ලෙහි යෝග්‍යතාවය ඉහළය. කථිකත්වයට සහ සන්නිවේදනය මෙන්ම හොඳ ලිවීමේ හැකියාවක් ඔවුන් සතුය. මුදල් යොදවා කරන ව්‍යාපාරවලින් ආර්ථිකය ගොඩනඟා ගැනීමට හැකියාව මොවුන්ට ලැබේ. එසේම අග්නි වර්ගයේ අත්ල ඉතාමත් විශාල වන අතර ඇඟිලි කුඩාවට පිහිටා ඇත. අරමුණු සහගත අත් වර්ගය ලෙසද මේ අත් වර්ගය හඳුන්වයි. මේ අත් වර්ගය හිමියන් බොහෝ උත්සාහවන්තය. ඒ වගේම ක්‍රියාශීලිය. බොහෝවිට තමන්ගේ අරමුණ හඹා යයි. තමන්ගේ අරමුණ වෙනුවෙන් සහයෝගය නොදෙන ඕනෑම කෙනෙක් තමන්ගේ මායිමෙන් ඉවත් කිරිමට කටයුතු කරයි. සරල සාමකාමි ජීවිතයකට එතරම් කැමැත්තක් නොමැත. ඕනෑම අභියෝගයක් ජය ගැනීමට මෙවැනි අත් හිමියා කැපවීමෙන් කටයුතු කරයි. එම තත්ත්වය නිසාම සහ ක්‍රීඩාවට ඔවුන් දක්ෂ නිසා ක්‍රිඩා නායකත්වය සඳහා ඉතාම සුදුසුය. විවිධ මාර්ගවලින් මුදල් ඉපයීමේ හැකියාව අග්නි අත්ල හෙවත් ගිනි අත් හිමියන්ට ලැබෙන හෙයින් ව්‍යාපාරවලින් තම ආර්ථිකය ජය ගැනීමේ හැකියාව ඔවුන් සතුවේ.

ජල වර්ගයේ අත්ල සාපේක්ෂව දිගය. ඒ වගෙම ඇඟිලිද අත්ල සේම දිගය. මෙවැනි අත්ල හිමියන් සංවේදි භාවය උරුම කරගත් පුද්ගලයන් වේ. එම නිසාම මනෝ ලෝකවල ජිවත් වීම ඔවුන්ට ප්‍රිය වේ. ප්‍රායෝගික ලෝකයේ ගැටලු මතු වූ විට ලෝකෝත්තර සුවය පතා ආගමික කටයුතු කෙරෙහි මොවුන් ඇදි යා හැකිය.කඩිසරකම මේ පුද්ගලයන්ගෙන් දැකිය නොහැකිය. ඔවුන්ගේ කටයුතු සිදුවන්නේ සෙමිනි. යම් කිසි ප්‍රශ්නයකට තනිව තීරණයක් ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැත. දක්ෂ සංගිතඥයන් කලාවේදීන් ගායක ගායිකාවන් කවි කිවිඳියන් නළුනිළියන් බොහෝ දෙනෙකු මෙවැනි අත් හිමියන්ය.

එසේම ඉහත සඳහන් අත් වර්ග කිරීම තව දුරටත් කරුණු විග්‍රහ කිරීමේ පහසුව සඳහා ස්පැටියුලාකාර, කේතු ආකාර, සමචතුරස්‍රකාර, චෛතසික, දාර්ශනික,මිශ්‍ර, මූලික වශයෙන් අත් වර්ග හඳුනා ගත හැකිය.

ස්පැටියුලාකාර අත් වර්ග දෙකක් හඳුනාගත හැකිය. එනම් අත්ලේ මැණික් කටුව ප්‍රදේශයට වන්නට පටුවට සහ ඇඟිලි සවිවන කොටස පළලට පිහිටි අත් සහ මැණික් කටුව ප්‍රදේශය පළලට සහ ඇඟිලි මුල ප්‍රදේශය පටුවට පිහිටා ඇති අත්ල වශයෙනි. නව අදහස් ඇති පුද්ගලයන් නිර්මාණශිලි පුද්ගලයන් ස්පැටියුලේට් අත් හිමියන්ය. නව නිෂ්පාදන ලෝකයට හදුන්වාදෙන මොවුන් විශේෂයෙන් ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ දැකිය හැකිය. මේ අත්ල හිමියන් ගේ අත්ල බොහෝ තදය. යෝග්‍යතාවයෙන් ඉහළ අත්ලක් බොහෝදුරට ඔවුන්ට හිමිය. සම්ප්‍රදායිකත්වය මොවුන් ප්‍රිය කරන්නේ නැත. පෞද්ගලිකත්වය මුල් තැනේ ලා සලකන අතර අන්‍යයන්ගේ බහට අවනත වීමේ ප්‍රවණතාවය අඩුය. වැඩි කල්පනා ශක්තියක් සහ උසස් අදහස් බලාපොරොත්තුවලින් යුක්තය. බොහෝ අවස්ථාවල ඉවසිලි රහිතව කටයුතු කරන අවස්ථාවන් දැකිය හැකිය. සෑම කටයුක්තකදි පිළිගැනිමක් ඔවුන් බලාපොරොත්තු වේ.

කේතු ආකාර අත්ලකදි ඇඟිලි මුල පළලටත් නිය පුරුක දක්වා යන විට ක්‍රමයෙන් පටුවි ඇති කේතු ආකාරයක් ගනී. ඇඟිලි සිනිදුව එනම් ඇඟිලි පුරුක් මහත නොවි දිගැටිව අලංකාරව පිහිටයි. මොවුන් සෞන්දර්යට කැමැතිය අවංකය. සෘජුගතිගුණ ඇත. කලබලකාරී ස්වරූපයක් ගනි. විශිෂ්ට බුද්ධියකින් යුක්තය නමුත් සෑම විටෙකම සුඛෝපභෝගි දිවියක් ගෙවීමට කැමැතිය. වැඩකටයුතුවලට උදාසීනය. තනිවම වැඩකිරීම මොවුන්ගේ ක්‍රමය නොවේ. අනුත් සමඟ වැඩ කිරීමෙන් දියුණු විය හැකිය. අනුන්ට අන කිරීමේ ශක්තියක් ඔවුන්ට නැත. එසේද නොකරයි. එසේම අන්‍යයන් විසින් තමාට අන කරනු ලැබීමට කැමැති නැත. ආත්මාර්ථකාමිය. නමුත් එසේම ත්‍යාගගීලි බවක් දකින්න ලැබේ. ඇසුරු කරන්නන් අනුව මොවුන් හොඳ හෝ නරක පුද්ගලයන් වේ.

ඉතිරි අත් වර්ගයන් ලබන සතියේ කතා කරමු.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.