විදෙස් ගමන් පෙන්වන හස්ත රේඛා

සැප්තැම්බර් 1, 2023

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ බොහෝමයක් පිරිසක් විදේශ රැකියා සඳහා යාමට පෙලඹී තිබේ. එයින් වැඩි පිරිසක් මෙරට රැකියාවල නිරතව සිට රැකියාව අවදානමට ලක් වූ පුද්ගලයන් වේ. කරුණු එසේ වෙතත් විදේශ රැකියාවලට යාම සඳහා උත්සහයක යෙදෙන සියල්ලන්ටම විදේශ ගත වීමට හැකියාව ලැබී නොමැති බව ද පෙනෙන්නට තිබේ.

එසේම වැඩි පිරිසක් විදේශ ගත වුවත් ඔවුන් අතරින් ද පිරිසක් රැකියා නොමැතිව අතරමංව සිටින අවස්ථාද වර්තමාන සමාජයේ අසන්න දකින්න ලැබේ. එසේම උගත් බුද්ධිමත් සුදුසුකම් සහිත පුද්ගලයන්ටද ඉතාම කටුක සුළු රැකියාවල නිරතවීමට සිදුවු අවස්ථාද නැතිවාම නොවේ. මේ අතර සමහර විදේශගත පුද්ගලයන් නෙයෙකුත් ආකාරයේ අනතුරු නීතිමය ගැටලු සහ රෝගාබාධයන්ටද ලක් වූ අවස්ථා ගැනද සමාජයේ කථාබහට ලක් වේ. මේ අනුව අපට පෙනී යන කරුණක් වන්නේ ඕනෑම පුද්ගලයකුට විදේශගත වී රැකියාවක් කර ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වුවමනාව අවශ්‍යතාවය වගේම ඒ සඳහා වාසනාව සහ භාග්‍ය තිබිය යුතු බවය. නමුත් ඒ බව තහවුරු කර ගන්නේ කෙසේද. මේ සඳහා ඡ්‍යොතිෂයේ නොයෙක් ක්‍රමවේද සේම හස්ත රේඛා ශාස්ත්‍රයෙන්ද අඳුරට එළියක් සේ සාර්ථක මාර්ගෝපදේෂයක් ලබා ගත හැකිය.

පුද්ගලයන්ගෙන් පුද්ගලයාට අත්ලේ රේඛා ලක්ෂණ වෙනස් වන අතර යම් කිසි පුද්ගලයකුගේ දෛව්‍ය රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් (ඒ රේඛාව) එම පුද්ගලයාට විදේශ ගත වීම සඳහා හිමිකම ඇතිබව පෙන්නුම් කෙරේ. එහෙත් දෛව්‍ය රේඛාව මත දුපත් පිහිටා ඇත්නම් ඔහුට එම ගමනේදී බාධක කම්කටුළුවලට මුහුණ පෑමට සිදුවේ. දුපත අවසානයේ දි ගැටළුකාරී තත්ත්වය පහව යන අතර ඉන්පසු රේඛාව ප්‍රබලව ගමන් කරන්නේ නම් විදේශ ගමන සාර්ථක වේ. එහෙත් දූපත අවසානයේ රේඛාව දුර්වල නම් ඔහුගේ ගමන සාර්ථක වන්නේ නැත. එසේම මැණික් කටු රේඛා හෙවත් මනි බන්ධන රේඛාවලින් ආරම්භ වන සිරස් රේඛා අත්ලේ ඉහළට ගමන් කරන්නේ නම් එම රේඛා (ඕ රේඛාව) ලක්ෂණයෙන්ද පෙන්නුම් කරන්නේ එම පුද්ගලයාට විදේශ ගමන් සඳහා අවකාශය ඇති බවය. නමුත් එම රේඛාව කෙලවර කතිර සලකුණක් පිහිටා ඇත්නම් බලාපොරොත්තු කඩවීමෙන් ගමන කෙළවර වේ. එසේම මෙම රේඛාව රවි මණ්ඩලයට ගමන් කර ඇත්නම් ඉතා යහපත් ධනය බලය සංචාරයක් වන අතර එම සංචාරය නිවර්තන කලාපීය රටකට සිදුවේ. මැණික් කටු රේඛාවලින් ඇරඹෙන එම රේඛාව බුධ මණ්ඩලයට ගමන් කර ඇත්නම් රේඛාව ප්‍රබල නම් නොසිතූ විරූ ධන සම්පත් සහ කර්මාන්තවල දියුණුවක් ද පිටරටක පදිංචි වීමටද හැකියාව ඇති බව පෙන්නුම් කෙරේ.( ඛ් රේඛාව) එසේම මැණික් කටු රේඛා හෙවත් මනි බන්ධන රේඛාවලින් චිහිදෙන රේඛා දෙකක් ශනි මණ්ඩලයේදි එකිනෙක හරහා යයි නම් දිර්ඝ සංචාරයක් දෙකක් පෙන්නුම් කරන අතර එක් සංචාරයකින් පසුව ආපසු පැමිණෙන්නෙ නැත. එසේම මැණික් කටු රේඛාවලින් ආරම්භ වන රේඛාවක් හෝ එම රේඛාවේ අතු රේඛාවක් ගුරු මණ්ඩලයට ගමන් කරන්නේ නම් දිර්ඝ සංචාරයක් පෙන්නුම් කරන අතර එයින් උසස් ලැබෙන උසස් ප්‍රතිඵල පෙන්නුම් කරයි (ච් රේඛාව). එහෙත් එම රේඛාව ගුරු මණ්ඩලය අසලදි ශනි මණ්ඩලය දෙසට ගමන් කරයි නම් එම රේඛා යෙදෙන පුද්ගලයා සංචාරයෙන් පසුව ආපසු නොපැමිණේ.

චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන රේඛාවක් දෛව්‍ය රේඛාව දෙසට ගමන් කර ඇත්නම් එම පිහිටිමත් විදේශ සංචාරයන් පෙන්නුම් කෙරේ. (ඡ් රේඛාව) එම රේඛාව දෛව්‍ය රේඛාව හමුවීමෙන් පසු දෛව්‍ය රේඛාව ප්‍රබල නම් එම විදේශගත වීමෙන් දියුණුව සහිතව ජීවිතයේ සාර්ථක ගමනක් පෙන්නුම් කෙරේ. නමුත් එම සංචාරක රේඛාව දෛව්‍ය රේඛාව හමුවීමෙන් පසුව දෛව්‍ය රේඛාව දුර්වල නම් එම විදේශ ගත වීමෙන් ආර්ථික දියුණුවක් ඇති නොවේ. චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණෙන සංචාරක රේඛාව දෛව්‍ය රේඛාව අසලටම පැමිණ එම රේඛාවත් සමඟ ඉහළට ගමන් කරන්නේ නම් එම සංචාරයෙන් පුද්ගලයාට ද්‍රව්‍යමය ලැබීම් පෙන්නුම් කරන අතර සංචාරය නිසා ආර්ථිකය දියුණුවේ. චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන එම සංචාරක රේඛාව ජීවන රේඛාව කපාගෙන සිකුරු මණ්ඩලයට ගමන් කර ඇත්නම් (ට් රේඛාව) විදේශ සංචාරය සඳහා ප්‍රේම සම්බන්ධතාවයක් මුල් විය හැකිය. මෙය ආදරවන්තයාගෙන් වෙන්වීමක් හෝ ආදරවන්තයා හමුවීමක් ද විය හැකිය. එම සංචාරක රේඛාව හමුවීමෙන් පසු ජීවන රේඛාවේ ඉතිරි කොටස්ද සංචාරක රේඛාවේ ඉතිරි කොටස්ද ප්‍රබල නම් සංචාරය සුබ වන අතර රේඛා දුබල නම් සංචාරය අසුබ වේ.

මෙසේ චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණෙන විදේශ ගමන් සහිත රේඛාව මැණික් කටුව දෙසට ගමන් කරන්නේ නම් එම විදේශ ගමන අවාසනාවන්ත සංචාරයක් වනු ඇත. (ධ් රේඛාව) මෙසේ ආරම්භ වන සාචාරක රේඛාවක් ශීර්ෂ රේඛාවට ඇතුළු වි එහි තිතක් දුපතක් හෝ කැඩීමකට තුඩු දෙන්නේනම් ඉන් කියවෙන්නේ හිසට සිදුවන අනතුරකි. එසේත් නැතිනම් සංචාරයෙන් සිදුවන අසනීප තත්වයකි. ජීවන රේඛාවෙන් අතු ශාඛාවක් චන්ද්‍ර මණ්ඩලයට ගමන් කර ඇත්නම් එයද විදේශගත වීමත් පෙන්වනු ලබන අතර බෙහෝදුරට එම සංචාරය අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමක් විය හැකිය. (ම් රේඛාව) එසේම සිකුරු මණ්ඩලයෙන් සිරස්ව රේඛාවක් ඉහළට ගමන් කරන්නේ නම් ජීවන රේඛාවේ එම වයසේදි පුද්ගලයාට විදේශ ගමනක් පෙන්නුම් කරයි. (ඹ් රේඛාව) තවද එම රේඛාවට කුඩුම්බ රේඛාවක් සම්බන්ධ වන්නේනම් එවිට විදේශ ගත වන්නේ අත්ල හිමි පුද්ගලයා නොව ඔහුගේ කාලාත්‍රයාය.

සංචාරක රේඛා පැහැදිළි ගැඹුරු රේඛා නම් එම පිහිටීම් සහිත පුද්ගලයන් ගවේෂණ චාරිකා මුහුදු ගමන් වැනි සංචාරවල යෙදේ. අපැහැදිලි දිග රේඛා නම් වැදගත් සංචාර ඇතැත් එම සංචාරයන් සිදුවන්නේ දුෂ්කරතා මධ්‍යයේය. දුර්වර්ණ සංචාරක රේඛා වැඩි ගණනක් පිහිටා ඇත්නම් රැකියාවලට ව්‍යාපාරවලට විදේශගත වුවත් එතරම් සාර්ථකත්වයක් පෙන්වන්නේ නැත.ඕනෑම සංචාර රේඛාවක දුපතක් පිහිටීම නිත්‍යානුකූල විදේශ ගමනක් පෙන්නුම් කරන අතර දුපතෙන් පසු සංචාරක රේඛා ප්‍රබල නම් එම සංචාරයෙන් අවැඩක් සිදු නොවේ. එසේම විදේශගත රේඛාවක අග කතිරයක් පිහිටා ඇත්නම් එම සංචාරය හෝ විදේශ ගමනේ බලාපොරොත්තු කඩ වේ. එසේම රේඛාවේ තරු සලකුණක් පිහිටා ඇත්නම් ගමනේදි මාරාන්තික හදිසි අනතුරු සිදුවේ. සංචාරක රේඛාවල හරස් රේඛා ඛණ්ඩ පිහිටා ඇත්නම් විදේශ ගමන්වලදි බාධා ඇතිවේ. නමුත් හරස් රේඛාවලින් පසුව රේඛාව ප්‍රබලනම් බාධක මැඩගෙන සංචාරයේ අරමුණ ඉටුකරගැනීමට හැකියාව ලැබේ. සංචාරක රේඛාවේ සම චතුරස්‍රයක් පිහිටා ඇත්නම් විදේශ ගමනේදි සිදුවන අනතුරකින් කරදරයක් නොමැතිව බේරෙන බව පෙන්වන සලකුණකි.

කරුණු එසේ වුවත් අපගේ අරමුණ යහපත් ජීවිතයක් ගත කිරිමය. එම නිසා ආර්ථික දියුණුව වෙනුවෙන් ඉතාම කෙටිකාලයක් තුළ මුදල් යහමින් ඉපයීම සිදුකල යුතුය. ඒ වෙනුවෙන් විදේශ රැකියා තිරණය කිරිමේදි ඔබගේ හිමිකම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය.එවිට අනවශ්‍ය ලෙස මුදල් හෝ කාලය අපතේ නොයවා අරමුණ සපල කර ගත හැකිය. ඒ සඳහා හස්ත රේඛා ශාස්ත්‍රය මාර්ගෝපදේශයක් වනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.