වාස්තු දෝෂ නිසා ඇතිවන රෝග

අගෝස්තු 18, 2023

පුරාතන වාස්තු ශාස්ත්‍රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්‍රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි කිරීමක් දක්නට ලැබේ. මේ පවත්නා සාම්‍යයන් විසින් වාස්තු ශාස්ත්‍රය හා රෝගාබාධ කෙරෙහි පවත්නා බලපෑමට කදිම ප්‍රවේශයක් සලසා ගත හැකියි. ඒ අනුව වන සෘෂි ආචාර්ය සම්ප්‍රදායයන්ගේ විකාශනය අනුව අද මේ විෂයයන්ගේ පවත්වනා සෘජු සම්බන්ධතාවන් හඳුනා ගැනීම අපහසු නොවේ.

ඊශාන දිශාවට අදාළ ධාතුව වන්නේ ආපෝ හෙවත් වැගිරෙන සුළු ගුණයයි. තේජෝ ධාතුව උණුසුම සිසිලස දනවමින් ගිනිකොනට අදාළත්වයක් දක්වයි. නිරිත පවතිනුයේ තද බව හෙවත් පඨවි ස්වභාවයකි. වයඹ චලනය වන හමා යන ගුණයක් වන වායෝ ස්වභාවයකට අදාළ වේ.

මෙසේ ධාතූන්ගේ පවත්නා සතුරුවීම්වල ප්‍රතිඵලයක් විසින් දෝෂ කෝප වීම් සිදුවන බව වටහා ගැනීමෙන් වාස්තු දෝෂ විසින් ඇති කරන රෝග තත්ත්වයන් සෘජුව හඳුනාගත හැකියි. මෙහිදී සාම්ප්‍රදායික වාස්තු දෝෂයක් ලෙස හඳුනා ගන්නේ ස්වභාවික ධාතුමය අදාළත්වය වියවුල්වීම ලෙස වටහා ගැනීමේ ද කිසිදු වරදක් නොමැත.

මේ තත්ත්වය පුළුල්ව විමසා ගොඩනංවා ගත හැකි ස්වභාවයන් ත්‍රිදෝෂයන් සමඟ ගළපා ගත්විට වාස්තු දෝෂ ත්‍රිදෝෂය බලවත් කරන අයුරු ගම්‍ය කර ගැනීම අපහසු නොවනු ඇත. ඒ අනුව ඊශාන දිශාවේත්, ගිනිකොන දිශාවේත් යම් වාස්තු දෝෂ තත්ත්වයක් හට ගැනීම නිසා පිත් රෝගත්, ඊශානයේ හා නිවෙස මධ්‍යයේ දෝෂ විසින් සෙම් රෝගත්, වයඹ හා නිරිතේ දෝෂ විසින් වාත රෝගත් හට ගන්නා බවත් න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවත් පැහැදිලිව පෙන්වා දිය හැකියි.

මෙහිදී ඊශානයේ විය හැකි දෝෂ ලෙස මුළුතැන්ගෙය, වැසිකිළිය, ප්‍රධාන නිදන කාමරය, ගරාජය හෝ පඩිපෙළ ඊශානයේ පිහිටීම දැක්විය හැකි අතර ගිනිකොන දෝෂ ලෙස ජල ධාරක පිහිටා තිබීමත්, ළිප වැනි රත්වන යමක් ගිනිකොන නොතිබීමත් පෙන්වාදිය හැකියි. නිරිත ඊශානයට වඩා පහතින් පිහිටා තිබීමත් ළිං හෝ වැසිකිළි වළවල් පිහිටා තිබීමත් ජලය රඳනා ස්ථාන බහුල වීමත් නිරිතේ වේ නම් නිරිත දිශාව දෝෂ සහිත බවත්, වයඹ උසින් පිහිටා තිබීමත්, ගස් කොළන්වලින් වදුලක්ව තිබීමත් වයඹෙහි වන දෝෂයන් ලෙසත් පෙන්වා දිය හැකියි.

මේ අනුව දිශාගත දෝෂ විසින් මූලිකව ත්‍රිදෝෂ කෝණ වී බරපතළ රෝග තත්ත්ව වැලඳිය හැකි අතර පුද්ගල ව්‍යාධි ශමත්වය (ප්‍රතිශක්තිය) ආදී කරුණු නිසා මේවායේ යම් වෙනස්කම් සිදුවිය හැකියි. මෙයට අමතරව පවත්නා ග්‍රහ ගෝචර තත්ත්ව, දශා කාල ආදිය අනුවත් සැමට එකම අයුරක් නොවන ප්‍රතිඵල අත්විය හැකි බවද සැලකිය යුතු වේ.

මේ රෝගයනට අමතරව නිවෙසේ මධ්‍යයට බිත්තියක්, අත්තිවාරමක්, බරැති ගෘහ භාණ්ඩ, කණුවක්, ගින්දර, ජලය ආදිය පිහිටා තිබීමෙන් නිවෙසේ මධ්‍යය පීඩා වේ. මෙසේ මධ්‍යය පීඩා වීමෙන් මධ්‍යයෙන් නිරූපණය කරන හෘදය ආශි‍්‍රත රෝගාබාධවලට ඉඩකඩක් සැපයීමට ඉඩ තිබේ. එහිදී හෘදය ආශි‍්‍රත රෝග තත්ත්වය රුධිර පීඩනය වැඩිවීම රුධිරයේ සීනි හා අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම වුව සිදුවිය හැකියි. මේ නිසා නිවෙසේ මධ්‍යය හැකිතාක් සරලව විවෘතව හා හිස්ව තබා ගැනීම නම් අතිශයින් වැදගත් බව කිව යුතුයි.

නූතන වාස්තු විද්‍යාවට අනුව සැලකීමේ දී නිවෙසේ නිරිත දිශාවට වැරන්ඩාව, සාලය හෝ වෙනත් විවෘත ස්ථාන පිහිටුවා ඇත්තේ නම් නිවෙසේ අභ්‍යන්තර අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව අඩුව යෑමෙන් අක්‍රිය, පසුගාමී නිවැසියන් සහිත තත්ත්වයක් පවා ඇතිවිය හැකියි. එවැනි පෞරුෂ හීන තත්ත්වයකට නිවැසියන් පත්වන්නේ නම් ඔවුනට හිමි දියුණුව, උද්‍යෝගය හා ජවය අහෝසි වනු ඇත.

උතුරට හිස දමා නිදා ගන්නකු නිරන්තරයෙන් විවිධ ශාරීරික රෝග තත්ත්වයනට ගොදුරු වන බව පෙන්වාදිය හැකියි. මෙසේ නිදා සිටීම වාස්තු විෂයයේ දී බස්නාහිරට හිස දැමීමට වඩා මහත් සේ අවදානම් බව අවධාරණය කළ යුතු වේ. මෙයට හේතුව වන්නේ පොළොවේ පවත්නා බලවත් චුම්භක ක්ෂේත්‍රයට නොගැළපෙන ලෙස ශාරීරික චුම්භක ක්ෂේත්‍රය සකස් කර ගැනීම නිසා ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීමයි. ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා සමස්ත ඉන්ද්‍රිය පද්ධතීන් සියල්ලේම ස්වභාවික පැවැත්ම වියවුල් වීම නිසා නොසිතූ විරූ රෝගාබාධ වැලඳීමට පටන් ගැනීමත් සුව වීමට කල්ගත වීමත් සිදු වේ.

ඊට අමතරව ශරීරයේ පවත්නා විද්‍යුත් විචලතාවන් අනුව ගොඩනැඟී ඇති නිල පද්ධතිය වියවුල් වීමට පටන් ගනී. එවිට ස්වභාවික චර්යාවන්ගෙන් වන අතුල් පතුල් තෙරපුම් ආදියෙන් ශරීරයට නිබඳව ඇතිවන සුවවීමේ හැකියාවන් අඩුවන්නට පටන් ගනී. මේ අනුව ප්‍රතිකාර විධීන්ගේ සාර්ථකත්වයද අඩු වේ. මේ නිසා කවර හේතුවක් මත හෝ උතුරට හිස දමා නිදා ගැනීම නම් සිදු නොකළ යුත්තකි.

අප විසින් භාවිත කරන මෙවලම් තනා ඇති ද්‍රව්‍යයන් ද අපට මහත් සේ බලපාන අතර ඒවායේ ප්‍රමාණ පිළිබඳව පවා පුරාතන ශාස්ත්‍රයන්හි බොහෝ කරුණු ඇතුළත් වේ. වෛජයන්ත තන්ත්‍ර නම් කෘතියේ ඔටුන්නේ සිට පන්හිඳ දක්වා බොහෝ දේවල ප්‍රමාණ පිළිබඳ නිර්දේශයක් අන්තර්ගත වේ. විශේෂයෙන් යකඩ භාවිතය අවම කරගත යුතු අතර එසේ යකඩෙන් කළ භාණ්ඩ භාවිතයට ගත යුතුම නම් ඒවා භාවිත කළ සැණින් දුරින් රඳවා තැබිය යුතු වේ.

චුම්භක හෙවත් කාන්දම් බලය ඇතිකර ගත හැකි යකඩ භාවිතය නිසා උතුරට නිදා ගැනීමේ දී ශරීරයේ වන ප්‍රතිවිරුද්ධත්වයටත් වඩා බරපතළ විකෘතියකට ශරීරය පත්වේ. විශේෂයෙන් යකඩ ඇඳවල නිදා ගැනීම රෝගී ශරීරයකට හේතු වන බව නිසැකයි.

මීට පෙරත් භූ ව්‍යාධි තත්ත්වවල බලපෑම නිසා ශරීරයෙන් හට ගන්නා අසාධ්‍ය රෝග පිළිබඳවද දීර්ඝ කරුණු විමසා ඇත්තෙමු.

මෙබඳු තත්ත්වයන් සලකා නොබලා වාස්තු ශාස්ත්‍රය ගතානුගතිකව භාවිත කිරීමෙන් මෙවන් අනර්ඝ විෂයක ප්‍රයෝජනය සමාජයට ලබාගත නොහැකිය. එබැවින් රෝගාබාධයනට ඖෂධමය ප්‍රතිකාරවලින් නොනැවතී වාස්තුමය බලපෑම් පිළිබඳවත් අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.