වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
හිසතෙල් ගෑමේදී නැතිවම බැරි ඔසුව නුග
මෙවර අවුරුදු උදාවේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකිරීමේදී පයට පෑගීම සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ නුග පත්‍රයි. ආයුර්වේද ද්‍රව්‍ය වර්ගීකරණයට අනුව වනස්පති වෘක්ෂ ගණයට අයත්වන නුග ගස ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකිය. වැඩිපුර දක්නට ලැබෙන්නේ කැලෑ ආශි‍්‍රතව වන අතර, පන්සල්, ආදියේද බොහෝ විට දක්නට ලැබේ.
නුග ශාකයේ ස්වරූපය –
විශාල වෘක්ෂයක් වන නුග ගස සිව් දෙසට විහිදුණු ශාඛාවලින් යුක්ත වෙයි. එම ශාඛාවලින් සිහින් මුල් පොලොවට පහත් වේ. කල්ගතවීමේදි ප්‍රධාන කඳට සමාන පරිදිම එම මුල් විශාල වෙයි. අතුවලින් සහ කඳේ ඉහළින් පහතට ඇද හැලෙන මෙම මුල් නුගගස්වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වෙයි. මේවා නුග, අරළු, නුග ඇටුවන් වශයෙන් හඳුන්වනු ලබයි. තවද එකක් හැර එකක් සේ පිහිටන පත්‍ර දිගින් සෙ.මී. 15ක් පමණ ද පළලින් සෙ.මී. 10ක් පමණ ද වේ. පිහිටා ඇත්තේ ජෝඩු වශයෙනි. කඳටම ඇලී පවතින ගෙඩි උෂ්ණාධික කාලයේදී ඉදේ. ඉඳුණු ගෙඩි පාටින් රතු හෝ කහ පැහැයක් දක්වයි.
ඉන්දියානු දේව කතාවලට අනුව මෙම විශාල ගසේ උපත සිදු වී ඇත්තේ දිව්‍යමය කන්දක් වූ මහාමේරු පර්වතයට යොදුන් එකොළහකට ඈතින් දකුණු දිශාවේ පිහිටි සුපරාවා කඳු මුදුනේ යැයි මතයකි.
නුග පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම
පොදු සිංහල නාමය – නුග වන අතර,
සංස්කෘත බසින්
නාග්‍රෝධ, වට, රක්තවල, ශාංගි, ධ්‍රැව, ක්ෂීරවෛශ්‍රවණවාස,වනස්පති, ජටාල, රෝහිණී, අවරෝහිණී, වීටවි, ස්කන්ධරූඟ, මණ්ඩලී,මහාඡයා, නවඟු, ස්කන්ධජ හා යක්ෂාවාස ආදී නම් රාශියකි.
හින්දි බසින්
බර් හා බර්ගද් යන නාම ද
වංග බසින්
බටහා වට ගාජ් යන නාමද
දෙමළ බසින්
අලමරම් යයිද යෙදේ.
ඉංගී‍්‍රසි බසින් :– Banyan Tree නම යෙදේ.
නුගවල උද්භිද විද්‍යාත්මක නාමය Ficus bengalensis Linn වන අතර, කුලය MORACEAE කුලයවේ.
නුග ශාකයේ ස්වරූපය :–
මුල්,පොතු, අරළු, කිරි ගෙඩි, නොපුබුදු දලු, ශුංග ආදියයි
නුග ශාකයේ රසායනික උපාදාන
පොතු සහ නොපුබුදු දලුවේ 10% ක් ටැනින්ද ඉටිද, ගෙඩියේ තෛල ඇල්බ්‍යුනොයිඩ්, පිෂ්ඨ ධාතු සහ භෂ්ම අන්තර්ගතය.
නුගවල ඖෂධීය ගුණ කර්ම
රසයෙන් කෂාය රස ද ගුණයෙන් ගුරු හා රූක්ෂ වේ. වීර්යයෙන් ශීත වන අතර, විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේදී
නුග සෙම් පිත් සමන ගුණ යුතු අතර, සෙම් පිත් රෝග සඳහා යොදනු ලැබේ
මෙය බාහිර වශයෙන් වේදනා නසන, ව්‍රණ රෝපණ, රක්ත රෝධක, ඉදිමුම්නසන සහ ඇසට හිතකාරි ගුණවලින් යුතු අතර, නුග කිරි, වණ, තුවාල, සන්ධි ඉදිමුම්, ආමවාත, ග්‍රන්ථි ඉදිමුම්, ආදියේ දී ද කර්ණ ශූල, අන්ත්‍ර ශූල, අම් හා අභිෂ්‍යාන්දි යන ඇස් රෝග වලදීද ශුක්ල මංඩලගත නේත්‍ර රෝගවලදී ද ආලේප ලෙස යොදයි.
නුග මුල් අඹරා සැකසූ ආලේප චර්ම රෝග සහ ව්‍රණ රෝග සඳහා ද යොදයි. මේ අතර, අභ්‍යන්තර වශයෙන්ද ශාරිරික ව්‍යුහා ආශි‍්‍රතව හොඳින් ක්‍රියාකරන ද්‍රව්‍යයක් ලෙස නුග හැඳින්විය හැක. නුගවල ඖෂධාංග අඩංගු ඖෂධ යෝග රාශියක් වන අතර, ඉන් කිහිපයක් නම්,
ගර්භස්ථානයට
පුෂ නැකතින් නුග කරටි කඩා අඹරා පෙවීම
ජ්වර දාහයට
නුග කොළ කෂාය හෝ නුග මුල් කෂාය හෝ දීම
ශ්වේත ප්‍රදරයට
1. නුග පොතු කෂාය
2. නුග අරළු කෂාය, ලෝධ්‍ර චූර්ණය සමඟ දෙනු ලබයි.
රක්ත ප්‍රදරයට
නුග දලු කල්ක වශයෙන් සාදාගත් ඍතය
අධෝගත රත්පිතට
නුග අරළු සහ නුගපොතු කිරි කෂාය
රක්තාතිසාරයට
1. න්‍යාග්‍රෝධාදී ඍතය දීම
2. නුග රැහැන් හාල්පානු දියෙන් බීම
දත් කැක්කුමට
1. නුග පොතු තැම්බූ වතුර මුඛය සේදීමට ගනු ලබයි.
2. නුග ගසේ පොත්ත ගැල වූ පසු වෑස්සෙන කිරි ආබාධිත ස්ථානයේ ගැල්වීම
මේ ආදි ඖෂධ යෝග රාශියක් නුගවල ඖෂධාංග සහිතව විවිධ රෝගාබාධ රැසක් සඳහා යොදනු ලබයි.
නුග අඩංගු සංස්කාරික ඖෂධ
චන්දනාස්වය, උගිරාසවය, න්‍යාග්‍රෝධාදී චූර්ණය, න්‍යග්‍රෝධාදි ඍතය, වටශුංග පාණ්ඨය, ආදී ඖෂධයන් කිහිපයක්ම වෙයි. මේ ආදි වශයෙන් නුග යනු රෝගාබාධ රාශියකට (විශේෂයෙන් ස්ත්‍රින්ගේ) ගුණ ගෙන දෙන අගනා ඔසුවක් බව පැහැදිලි වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය, වෛද්‍ය මධුර පරණවිතාන