සිකුරු නෙප්චූන් ග්‍රහ සටන කෘෂිකාර්මික සංවර්ධන රැල්ලක සමාරම්භයක්

පෙබරවාරි 17, 2023

පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය ද වෘෂභ  සිංහ වෘශ්චික කුම්භ රාශි හතරට සස යෝග බලය ද රාශි දොළොසටම අඟහරු දීප්ත යෝගය ද රාහු කේතු අර්ධ කාල සර්ප යෝගය ද උදා කරමින් පහළොස්වැනි දා බුධ දා පස්වරු 05.57 ට බ්‍රාහ්මණ වංශික රසකාමී සිකුරු ග්‍රහයා වරුණ නාමධාරී විපරිත නෙප්චුන් සමඟ සටන් වැදුණි. එම ග්‍රහ සටනින් සිකුරු පරදා නෙප්චූන්  සිංහාසන ගත විය.

නැගෙනහිර සිතිජයෙහි චන්ද්‍රයා හිමි කටක රාශි උදාවෙහි කේතු සතුරුව 4 වැන්නේද චන්ද්‍රයා නීච ව පස්වැන්නේ ද ඥානකාරක බුධ සමව ප්ලූටෝ සතුරුව හත් වැන්නේ ද රවි සතුරුව ශනි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව නැප්චූන් සමව සිකුරු මිත්‍රශීලීව අට වැන්නෙහි මෘත්‍යූශීලීගතව ද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව නම වැන්න වූ භාග්‍යස්ථානගතව ද රාහු සතුරු ව යුරේනස් සමව කර්මස්ථානය වූ දහ වැන්නේ ද අයස්ථානය වූ එකොළොස්වැන්නේ හි අඟහරු සමව කුජ දීප්ත යෝග බලැතිව තැන්පත්ව විශ්වය පුරාවට ශුභාශුභ මිශ්‍රව මෙකී සිකුරු නෙප්චුන් සටනෙහි ප්‍රතිඵල උදා වී යන්නේ ය. බුද්ධිය මූලික කර ගනිමින්  අධිභෞතික ඥානධාරවන් විශ්වය පුරාවට විහිදුවමින් ඇතැම්විට ප්‍රචණ්ඩකාරී ලෙසත්  කුමන්ත්‍රණශීලී ස්වභාවයෙන්  නෙප්චූන්ගේ ක්‍රියාකාරකම් මෙම කාලසීමාවේ සිදුවනු ඇත. මේ කාලපරාසයේ දී චින්තකයන් දාර්ශනික අදහස් ඇත්තවුන් ගවේෂකයන් සමාජයෙන් යටපත්ව යයි. නිසරු, අමනුෂ්‍ය, ත්‍රස්ත බලපෑම් ක්‍රියාත්මක විය හැකි කාලයකි. සත්ත්ව වසංගත රෝග පැතිරිය හැකි කාලයකි. සමාජයේ කැරලි කෝලාහල අර්බුද ගැටුම් උග්‍ර විය හකි වකවානුවකි.  වනිතාවන්ට මෙන්ම ලාබාල දරු දැරියන් ආරක්ෂා කර ගතයුතු කාලයකි. කාලගුණික දේශගුණික බලපෑම් ද බහුල කාලයකි.

පෙබරවාරි මස අවසන් සතියෙහි පොදු මහජනතාව කෙරෙහි යම් මානසික  පීඩාකාරී බවක් නිර්මාණය වීමෙහි ලා ඇති ඉඩකඩ වැඩිය. නීතිය අධ්‍යාපනය, සාරධර්ම ආගමික නැඹුරුව යම් ආකාරයක පසුගාමී බවකට පාත්‍ර කෙරෙයි. අධ්‍යාත්මික පසුබිම මෙසේ සිදුවෙක් දී ආර්ථික හා කෘෂිකාර්මික, කාර්මික, භෞතිකමය හා තාක්ෂණික සංවර්ධන රැල්ලක සමාරම්භය සිද්ධවීමෙහි ප්‍රවණතාවය සමාජයේ කැපී පෙනෙයි.

මෙම ග්‍රහ යුද්ධය ඔබේ ලග්නයට බලපාන අයුරු

මේෂ ලග්නය

තැන්පත් ධනය දේපළ වස්තුව සමඟ පවුල් ජීවිතයෙහි යම් යම් කරුණු කාරණා යටපත් වන සැඟවෙන බවක් පෙනී යන්නේය. එමෙන්ම රැකියා ආදායම් මාර්ග අධ්‍යාපනය සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන් හි හැලහැප්පිලි බාධක අවහිර දුෂ්කරතා පෙන්නුම් කෙරෙන සුළු බවක් පෙනේ. රැකියා ආදායම් මාර්ගයන්හි නිර්නාමික නාමික සොර සතුරු බලවේග ක්‍රියාත්මක වන කාලයකි.

වෘෂභ ලග්නය

බලාපොරොත්තු සාර්ථක කෙරෙන කාලයකි. පදිංචි ස්ථානයේ යම් යම් බාධක අවහිරතා මතුවිය හැක. රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම තැන්පත් දේපළ වස්තු අරබයා නීතියේ පිහිටාධාර ලැබීමෙහි අවස්ථාවක් උද්ගත විය හැක.

මිථුන ලග්නය

සමාරම්භක කටයුතු මෙන්ම වර්තමාන සිතැඟියාවන් සියල්ල ඉටුකර ගැනීමෙහි භාග්‍ය වාසනාව උදා කෙරේ. බාහිර රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරේ. ලැබීම් මාර්ගයන්හි කඩාකප්පල්කාරීබවක් හෝ යටපත් වීමක් සිද්ධ වෙනු පෙනී යයි. මේ සියල්ල යටපත් කරගනිමින් අභිමානනීය ජීවිතයක් ගතකරන විජයග්‍රාහී ගමන් මගකට අවස්ථාව උදාවනවා ඇත.

කටක ලග්නය

දිගු කාලීනව පැවැති අරමුණු සිතැඟියාවන් ඉටු වන බවක් පෙනී යයි. නව ජීවන ගමන් මඟකට අවශ්‍ය වූ අරමුණු රැසක් මතු කෙරෙනු ඇත. තමා තුළ පවතින නිර්මාණශීලී බලාපොරොත්තු රැසක් ඉටු වෙනු ලබයි. ලැබීම් අංශයන්හි යම් මන්දගාමී බවක් ද මතු කෙරෙනු ඇත.

සිංහ ලග්නය

පදිංචිය ආශ්‍රිතව නිතර නිතර සිත ආකූල ව්‍යාකූල බවක් නිර්මාණය කෙරෙනු ඇත. පවුලෙහි සමගිය සමාදානයට ද බාධක අවහිරතා දුෂ්කරතා මතු විය හැක. රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම අනාගත අරමුණු ආශ්‍රිතව යම් යම් බාධක සිදුවිය හැක. ප්‍රමාද දෝෂයන් ද මතු කෙරෙනු ඇත.

කන්‍යා ලග්නය

උත්සාහය උනන්දුව අල්ප කෙරෙන ස්වභාවයකි. තැන්පත් ධනය දේපළ වස්තුව ආශ්‍රිතව යම්  අවදානමක් නිර්මාණය විය හැක. උසස් ප්‍රභූ ජනයා ඇසුරින් නව චින්තනයන් සමඟ දියුණුවෙහි නව ගමන් මගකට එළඹිය හැකි බවක් පෙන්නුම් කෙරෙයි. යටපත්ව තිබූ රෝගාබාධ සතුරු එදිරිවාදිකම් කලඑළි බැසිය හැක.

තුලා ලග්නය

බොහෝදුරට ගෙදර දොර ආශ්‍රිතව රැකියා ආදායම් මාර්ග පිළිබඳ යම් යම් බාධක අවහිරතා දුෂ්කරතා මතු විය හැක. දූ-දරු අධ්‍යාපනික ප්‍රශ්න ජීවන ගමන් මඟෙහි අසීරුතාද මතුවිය හැක.

වෘශ්චික ලග්නය

නිතර නිතර මානසික ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් විය හැක. උත්සාහය උනන්දුව ආශ්‍රිතව අවහිර බාධක දුෂ්කරතා මතු කෙරේ. සමගිය සමාදානය  කෙරෙහි වෙනදාට වඩා සිත යොමු කළ යුතුය. නාමික නිර්නාමික සොර සතුරු බලවේග මතු වීමට ඇති ඉඩකඩ වැඩිය.

ධනු ලග්නය

ඉදිරි ජීවන ගමන් මාර්ගයට අවශ්‍ය කටයුතු නව මුහුණුවරකින් යුතුව ආරම්භ කරනු ලබයි. ඒ සඳහා සුහදශීලී සාකච්ඡා කරුණු කාරණා අප්‍රමාදව ක්‍රියාත්මක කරනු ලබයි. වෙනදාට වඩා වෙහෙසකාරී බවක් පෙන්නුම් කරනු ලබයි. ආගම දහමට නැඹුරු වෙමින් මානසිකත්වය සුබවාදී පැතිකඩකින් ශක්තිමත් කරගැනීම ද සිතනු ලබයි. සමාරම්භක කටයුතු සඳහා තම සමීපතමයන්ගේ හිතමිතුරු ඇසුරුකම් ප්‍රයෝජනයට ගනු ලබයි.

මකර ලග්නය

ජීවන කටයුතු ක්‍රමවත්ව කර ගැනීමට හැකි වෙයි.  ඒ සඳහා අවශ්‍ය නිර්මාණශීලී අදහස් ගලා එයි. තමා සතු උසස් සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වෙයි.

කුම්භ ලග්නය

සෑම ආකාරයකම සිතුවිලි උසස් භාවයකට පාත්‍ර කර ගත හැකි කාලයකි. ජීවිතය පුරාවටම අදාළ වන අධ්‍යාපනික ආදායම් මාර්ග සඳහා නව ජයමාවතකට ප්‍රවිෂ්ට විය හැකි කාලයකි.

මීන ලග්නය

  ජීවන රටාව උසස්ම තත්ත්වයකට නැඹුරු කර ගැනීමේ ප්‍රවණතාවය බොහෝ දුරට සාර්ථක කෙරේ. ජීවිතයෙහි උදාරතම ක්ෂේත්‍ර ගණනාවකට මෙකී ග්‍රහ චාරය ඉතාම ප්‍රබල වේ. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.