වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නිවෙසක් ඉදිකරන ඔබ මේ ගැනත් සිතන්න
නිවෙස යනු සෑම කෙනකුටම සැප, නිරෝගී බව, ආයුබල හා සතුට පිරුණු වාසයට සුදුසු ස්ථානයකි. ඒ අනුව ඒ සියලු සැප සම්පත් එක්තැන් වන නිවෙසක් නිර්මාණය වන්නේ වාස්තු විද්‍යානුකූලව නිවෙස ගොඩනැඟුවොත් පමණි. එමෙන්ම කෙනකු නිවෙසක් ඉදිකරන්නේ පරම්පරා කීපයක් වෙනුවෙන් ජීවත්වීම සඳහාය.
සමාජ ක්‍රමය සංකීර්ණ වීමත් සමඟ මිනිසාගේ අවශ්‍යතා ද බහුල වී ඇත. අතීතයේ මෙන් නොව වර්තමානයේ ඉදිවන නවීන නිවෙස් තට්ටු දෙක, තුන තෙක් විහිදී ඇත. නිවාස සංකීර්ණ වෙන විට ඒ පිළිබඳ මතුවන ගැටලු සහගත අවස්ථා වැඩි වනු ඇත.
කෙසේ වෙතත් බාහිර අලංකාරයට නිවාස සැලසුම් කරන විට එය තමාට ගැළපෙන පරිදි වාස්තු විද්‍යානුකූල ලෙස ඉදිකර ගැනීමට සිතා බලා කටයුතු කිරීම තමාගේ මෙන්ම පවුලේ අනාගත දියුණුව වෙනුවෙන් යහපත් වේ. එසේ හෙයින් අද මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔබ අලුතින් ඉදිකරන නිවෙසේ මූලික මෙන්ම අත්‍යාවශ්‍යයෙන්ම සොයා බැලිය යුතු වාස්තු විද්‍යානුකූල කරුණු කීපයක් පිළිබඳ දැනුම්වත් කිරීමටයි.
නිවසක ප්‍රධාන ද්වාරය (උළුවස්ස)
නිවෙසක ප්‍රධාන අවයවය දොරයි. ගෙය පිළිබඳ ආරම්භක ක්‍රියා සියල්ලගේම ප්‍රමුඛත්වය ලැබෙන්නේ ප්‍රධාන දොරටුවටයි. නිවෙසට ඇතුළුවීමේ සිට නිවෙසේ සියලු කරුණු කාරණා සුබ වන්නේ ප්‍රධාන දොරටුව සුබ නම් පමණි.
ප්‍රධාන උළුවස්සේ පිහිටීම සෙසු උළුවහුවලට වඩා උසින් හා පළලින් වැඩි විය යුතුයි. එමෙන්ම ප්‍රධාන උළුවස්ස නිවැසියාගේ උසට වඩා කොට වූ විට පරම්පරාවේ දියුණුවට බාධා ඇති වී පරම්පරාව පිරිහී යයි. ප්‍රධාන උළුවස්ස උසින් හා පළලින් වැඩි වී මල් කැටයම්, ලී කැටයම් සහිත දොරක් නම් ගෙහිමියාට ගෞරවය, ප්‍රසිද්ධිය ලැබී වාසනාව උදා වේ. ප්‍රධාන දොරට ප්‍රමුඛත්වය දෙනවා මෙන්ම නිවෙසින් පිටවීමට දොරවල් තැබීමේදීත් සැලකිලිමත් විය යුතුයි. උතුරට තබන දොර අශුභ බව ජනවහරේ මතයත් පවතී. නමුත් උතුරට ප්‍රධාන දොර තබා ඉදිකර ඇති නිවෙස් අද බොහෝ දක්නට ඇත. උතුරට තබන දොරෙහි දෝෂ භංග වන අයුරින් පසුපස දොරවල් තබන දිශාවන් වාස්තු විද්‍යාවේ විග්රහ කර ඇත. උතුරට දොරක් තබා ඇති නිවෙසක දකුණ, බටහිර හා නැඟෙනහිර දිශාවලට දොරවල් තැබීමෙන් දෝෂ භංග කරගත හැකිය.
නිවෙසක දොර හා ජනෙල්
දොරවල් ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු අතර, ජනෙල් ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුයි. වාස්තු පුරුෂයාගේ මුඛය දොර වශයෙන් ගණන් ගැනෙන අතර, ජනෙල් කන් වශයෙන් ගණන් ගැනේ. නිවෙසක එක කෙළින් ජනෙල් දොරවල් කවුළු පිටතට පෙනෙන පරිදි එක දිගට තැබීම සුදුසු නොවේ. පිටතින් ලැබෙන විශ්ව කිරණ එමඟින් එක එල්ලේම පිටවීම නිසා නිවෙසේ දියුණුව රැඳී නොසිටියි.
නිවෙසක වහලය හා මුදුන් යට ලීය
යට ලීයෙන් නිවෙසක පල වෙන් වේ. පල දෙක එක සමාන නොවිය යුතුය. මුදුන් යට ලීයට මූට්ටු තුනක් සම්බන්ධ වීම අසුබයි. එමෙන්ම මුදුන් බිත්ති තුනකට මුදුන් යට ලී තැබීම ඉතා අසුබයි. එක එල්ලේ කුරුපා තුනක් සම්බන්ධ කිරීම ද අසුබදායක වන අතර එසේ කිරීමෙන් ගෘහමූලිකයාට අපල ගෙන දේ. මුදුන් බිත්ති දෙකක් මත තබා ඇති මුදුන් යට ලීයට බිත්ති දෙක මැදිවන සේ එක කුරුපාවක් තැබීම අසුබ පල ඇති කරයි.
පිරිවැද්දුම්
එක් බාල්කයක පිරිවැද්දුමක් තවත් බාල්කයක පිරිවැද්දුමක් වෙත එල්ල නොවිය යුතුය. එසේම එම පිරිවැද්දුම් දොර, උළුවහු ජනෙල් වෙත එල්ලවීම ද අසුබදායකයි. මුදුන් යට ලීය මිනිසකුගේ උසට වඩා දිගින් වැඩි විය යුතු වේ. එසේ කියවෙන්නේ අඩි 6 ට වඩා දික්විය යුතු බවයි. මුදුන් යටලීයේ හරි මැදට පරාල නොගැසිය යුතු අතර, එසේ වුවහොත් සිදු වන්නේ බ්‍රහ්මපාදයට වේද දෝෂයක් එකතුවීමයි. මුදුන් යටලීය පිරිවැද්දුම් මත හෝ පරාලවල පිරිවැද්දුම් වෙත පරාලයක් නොගැසිය යුතුය. මුදුන් යට ලීය හරි කෙළින් බටහිරට දිශානුගත වීම සුබදායක නොවේ.
බාල්ක තැබීම
නිවෙසක බ්‍රහ්ම පාදයට උඩින් බාල්ක නොතැබිය යුතුය. උළුවස්සක් මත බාල්කයක් දමා එම උළුවස්ස මතට බාල්ක දෙකක් පිරිවැද්දුමක් වුවහොත් ගෙහිමියාට අපල ගෙන දේ. ප්‍රධාන උළුවස්සට හෝ වෙනත් උළුවස්සකට එල්ල කර බාල්ක නොතැබිය යුතු අතර, බාල්කය තනි ලීයෙන් තැබීම ඉතාම සුබදායක වේ.
වාස්තු පුරුෂයා
ගෙබිමක සැලැස්මක් නිර්මාණය කිරීමේදී වාස්තු විද්‍යානුකූල ප්‍රධාන මිම්ම වන්නේ වාස්තු පුරුෂයායි. වාස්තු පුරුෂයාගේ ස්වරූපය හෙවත් වාස්තු නර චක්‍රය අනුව නිදන කාමර, ගබඩා කාමර, මුළුතැන්ගෙය, වැසිකිළි ආදිය කිනම් කොටස්වල පිහිටිය යුතු ද නිගමනය කර ගත යුතුය. වාස්තු පුරුෂයා ඊසාන දිශාවට හිස හා නිරිත දිගට පය දමා සැතපෙයි. නිවෙසක සැලැස්මක් නිර්මාණය කිරීමේදී ද එම වාස්තු පුරුෂයාගේ ස්වරූපය අවබෝධ කරගෙන නිවෙසේ වැඩකටයුතු සැලසුම් කර ගැනීම ඉතාම සුබදායක වේ.
වාස්තු පුරුෂයා අංග හීන වීමෙන් නිවෙසට ලැබෙන ප්‍රතිඵල
නිවෙසක් ඉදිකර ගැනීමේදී වාස්තු පුරුෂයාගේ අවයවවලට හැකි තරම් හානි නොවන ලෙස නිවෙස ඉදිකර ගත යුතුයි. සෑම විටම නිවසක හැඩය චතුරස්රාකාර වීම ඉතාම වැදගත් වේ. නිවෙසේ ඊසාන කොටස අංග හීන වූ විට බුද්ධිය හීනවීම මෙන්ම ගුණධර්ම සෞඛ්‍ය තත්ත්වය මෙන්ම සම්පත් පිරිහීමට බලපානු ඇත.
ගිනිකොන කොටසේ අඩුවක් ඇතිවූ විට ධන හානි, ගෘහයේ වසන ස්ත්‍රීන් නිසා කරදර ඇති කරයි. නිරිත දිශාව කොටසේ අඩුවක් ඇත්නම් මිල මුදල් නිකරුනේ නාස්ති වනු ඇත. දේපළ විනාශය මෙන්ම දරුවන්ට දුක්පීඩා සිදුවන අතර, ස්ත්රීන්ට අසුබ ඵල අත්කරයි. අඹුසැමි මතභේදවලට තුඩුදෙන කරුණු ඇති වීමට ද ඉඩ ඇත.
දකුණු දිශා කොටසේ අඩුවක් ඇත්නම් ගෙහිමියාට දුක් කරදර ධන හානි ගෙනදීමට ඉඩ ඇති අතර, තමාගේ ගෞරවයට ද හානි ඇති කරයි. නැඟෙනහිර දිශාව අගහිඟකම් පවුලේ සහයෝගය අඩු වීම, මෙන්ම සබඳතා බිඳීයාමට ඉඩ ඇත. උතුරු දිශාව අංග හීන නම් රැකීරක්ෂා ආදායම් මාර්ගවලට හානි පමුණුවයි. වයඹ දිශාව නම් අසල්වැසියන් හා සහයෝගයෙන් සිටීමට බාධා ඇති කරයි. බටහිර දිශාව අංග හීන වීමෙන් දූදරුවන් පිළිබඳ ගැටලු මතුවීමට ඉඩ ඇති අතර, නිතර දරුවන්ගේ කරදර නිසා මානසික අසහනය ඇති කරයි.
උපදෙස් වාස්තු විද්‍යාවේදී, වාස්තු විද්‍යා උපදේශක සුනිල් කුමාර වත්තගේ
සාකච්ඡා සටහන ධම්මිකා රාජපක්ෂ